Breaking News

ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…

 සුමිත් චාමින්ද

“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..”
චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ තරුණියන් අතර ජනප්‍රියය. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දැන්වීම් පුවරුවල ඉහත වැකි නිරන්තරයෙන්ම දක්නට ලැබේ. ගිම්හානය නිමා වී වසන්තය පැමිණීම ගැන වූ කතාව යෞවන යෞවනියන් අතින් ලියැවෙන ෆේස්බුක් කවිවල පටන් ශිෂ්‍ය දේශපාලනයේ සටන් පාඨ දක්වා පරාසයක ප්‍රතිරාව නැංවේ. අන්ධකාරය නිමා වී ආලෝකය උදා වීම ගැන කතාව අප කොතෙක් අසා තිබේද?
මා සිතන්නේ වසන්තයේ පැමිණීමක් ගැන වූ ඒ කතාව එක්තරා යුගයක සමාජ චින්තනයට අයත් වූවක් බවයි. එසේම, ඒ යුගය දැන් වේගයෙන් අවසන් වෙමින් පවතින බවයි. ඇතැම් විට, එය දැනටමත් අවසන් වී පවතිනවා විය හැකිය.

නූතනත්වය සහ වෘද්ධිය
හෙට දවස වඩා යහපත් වූවක් වනු ඇතැයි මිනිසුන් පරිකල්පනය කරන්නට පටන් ගත්තේ කවදාදැයි දන්නා කෙනෙකු නැත. නමුත්, අපගේ සමකාලීන සමාජ චින්තනය තුළ වඩා යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාව හැඩ ගැසී ඇත්තේ නූතනත්ව ව්‍යාපෘතියේ අංගයක් ලෙසින් බව පැහැදිලිය. ලිබරල්වාදීන්, ජාතිකවාදීන් සේම මාක්ස්වාදීන්ද එම නූතනත්ව ව්‍යාපෘතියේ නිර්මාණයන් වේ. නූතනත්වය තුළ මිනිසුන් ප්‍රගතිය විශ්වාස කරන්නට පටන් ගත්හ. එම ප්‍රගතියේ මාවත වැටී ඇත්තේ වෘද්ධිය (growth) ඔස්සේ යැයි විශ්වාස කරන්නට පටන් ගත්හ. වෘද්ධිය මූලික වශයෙන් අර්ථ දක්වන ලද්දේ ආර්ථික වෘද්ධිය ලෙසයි. ඒ අනුව නාගරීකරණය, කාර්මීකරණය සහ තාක්ෂණිකකරණය සමාජ ප්‍රගතියේ නොහොත් ආර්ථික වෘද්ධියේ මාවත තුළ මුණ ගැසෙන දේය.

මාක්ස්වාදී කතිකාව තුළද වෘද්ධිය පිළිබඳව පැවතියේ සුබවාදී ආකල්පයකි. ධනවාදී වෘද්ධියේ ප්‍රතිපලයක් ලෙසම එය බිඳ වැටීමට ලක් වී සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය වනු ඇතැයි මාක්ස්වාදීන් විශ්වාස කළහ. ගිම්හානය නිමා වී වසන්තය උදා වීමේ කතාව තරුණ සමාජවාදීන්ගේ ජනප්‍රිය යෙදුමක් බවට පත් වීමේ න්‍යායික පසුබිම වන්නේ එයයි. සිසිර සෘතුව (ලංකාවේ නම් ගිම්හානය) නිමා වී වසන්තය පැමිණීම අනිවාර්යයක් වන්නේ යම් සේද, එපරිදිම ධනවාදය නිමා වී සමාජවාදය ගොඩ නැගීමට නියමිතය යන්න එම න්‍යායික විශ්වාසයෙන් තහවුරු කෙරිණ.

හෙට දවස වඩා සුබදායී එකක් වීමට නියමිතය යන විශ්වාසය කාලාන්තරයක් මුළුල්ලේ අප සමාජවල පොදු ජන අවබෝධයක් (common sense) බවටද පරිවර්තනය වී තිබේ. පුද්ගලික ජීවිතය ගැන මිනිසුන් දකින සිහින පවා ආකෘතිගත වී තිබෙන්නේ දියුණුවේ නැතිනම් වෘද්ධියේ කතා ආඛ්‍යානය මගිනි. එය අනාගතයේ පොහොසතෙකු වීමේ සිහිනය සම්බන්ධයෙන් සේම අනාගතයේ ජනප්‍රිය දේශකයෙකු වීමේ සිහිනය සම්බන්ධයෙන්ද එකසේ අදාළ වේ.

දැනුමේ සර්ව-අසුබවාදය
නමුත්, මා දැන් කියන්නට යන්නේ අසුබවාදී කතාවකි. එනම්, වසන්තයේ පැමිණීම අනිවාර්යයක්ය යන විශ්වාසය සැකයට ලක් වන යුගයකට අප දැන් අවතීර්ණ වී සිටින බවයි. එක් අතකින් ධනවාදයෙන් පසුව සමාජවාදයේ පැමිණීම අනිවාර්යයක් වේය යන න්‍යායික විශ්වාසය දැන් බරපතල ලෙස ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ. අනෙක් අතින්, ධනවාදී වෘද්ධිය විසින් ප්‍රගතිය උදා කෙරෙනු ඇතැයි යන විශ්වාසය සැකයට ලක් කෙරෙන පරිදි අතිශය ව්‍යසනකාරී පාරිසරික විනාශයක් සහ කාලගුණ විපර්යාසයක් නිර්මාණය වී තිබේ. මිනිස් වර්ගයා වත්මන් වෘද්ධි මාවතේ තව දශක කිහිපයක් ඉදිරියට ගමන් කළ හොත්, තවදුරටත් පෘතුවිය සත්ව වාසයට සුදුසු තැනක් නොවනු ඇත. අප දැන් සිටින්නේ මහා ව්‍යසනයක ආරම්භක ලක්ෂ්‍ය තුළයි. 2015 පැරිස් පාරිසරික සම්මුතියේ ඉලක්ක පවා දැන් අපෙන් ගිලිහෙමින් තිබේ.

ඇතැම් විට, කොරෝනා වයිරස් වසංගතය ඉදිරි මහා ව්‍යසනයක අනතුරු හැඟවීමක් පමණක් විය හැකිය. වසංගතය තවත් කොතරම් කලක් පවතීදැයි දන්නේ කවුද? වයිරසයේ වඩා භයානක නව ප්‍රබේධ හමුවේ එකම විසඳුම වැක්සීනයයි යන විශ්වාසයද දැන් සැකයට ලක්වෙමින් තිබෙනවා නොවේද?

දුක්මුසු දකුණු ආසියාව
ලෝකයේ අප වෙසෙන ප්‍රදේශය දෙස බැලූ විට ඉදිරි අනාගතය පිළිබඳ අඳුරු චිත්‍රය දෘෂ්‍යමාන වන්නේ වඩාත් දුක්මුසු ලෙසය. දකුණු ආසියාව මිහිතලයේ වඩාත් දොම්නස් සහගත කලාපයක් බවට පරිවර්තනය වීමේ ගමන දැන් වේගවත්ව ඇරඹී තිබේ. ඉන්දියාව රාම් රාජ්‍යයක සිහිනය ඔස්සේ මරණ-දේශපාලනයේ (necropolitics) කෙම්බිමක් බවට පත්ව තිබේ. අප රටේද ඉදිරියට එන්නේ සාගින්නේ, විරැකියාවේ, ප්‍රචණ්ඩත්වයේ සහ අරාජකත්වයේ යුගයකි. ඉදිරි වර්ෂය තුළ ආහාර අර්බුධයක් ඇති වීමේ අවධානමක්ද පවතී.

වසංගතයේ ව්‍යසනකාරී බලපෑම් පැටවෙමින් ඇත්තේ කම්කරුවන්, ගොවීන්, ධීවරයින් සහ මාසික ස්ථිර වැටුප් නොලබන පහළ මධ්‍යම පන්තිකයින් මතය. ඒ අතර, ධනවාදය තුළ ඉවතලන ජීවිතද වැඩි වෙමින් තිබේ. බැංකු ක්‍රමය බිඳ වැටුණහොත් විශාල මධ්‍යම පන්තිකයින් පිරිසකගේද පුද්ගලික දියුණුවේ සුබ සිහින බොඳ වී යනු ඇත. ආර්ථික බංකොලොත්භාවයක දේශපාලන ගම්‍යයන් කවරාකාර වනු ඇත්දැයි කිසිවෙකුටත් පුරෝකථනය කළ නොහැකිය. අනාගතය ගැන අපේක්ෂා රඳවාගත නොහැකි තරුණ පරම්පරාවකගේ දේශපාලන චර්යාවන් කවරාකාර වනු ඇත්ද යන ප්‍රශ්නය ගැන අප රටේ ශාස්ත්‍රාලීය ප්‍රජාව තවම සිතන්නටවත් පටන්ගෙන නොමැත.

බලාපොරොත්තු විරහිතභාවයේ ධෛර්යය
බොහෝ තද සීත සුළං ඉදිරියේදී හමනු ඇත. හිම කැටි සමග මහ නපුරු සුළි සුළං හමනු ඇත. නමුත්, ඉන්පසුව වසන්තය එනවා සත්තයි කියා පවසන දුයිෂෙන් කෙනෙකු දැන් සිටී නම්, ඔහු මහා බොරුකාරයෙකු විය යුතුය.

ඒ වෙනුවට, ශිෂෙක් පවසනවා සේ ඇතැම් විට අඳුරු බිම් ගේ ඈත කෙළවරින් පෙනෙන ආලෝකය වනාහී අනෙක් පසින් එන දුම්රියක එළිය වීමටද හැකිය. ඒ දුම්රියට අපව යට වී යාමට හොඳටම ඉඩ තිබේ. දැන් අපට වැඩ කරන්නට සිදුව තිබෙන්නේ ඔහුගේ වචනයෙන් කිව හොත්, බලාපොරොත්තු විරහිතභාවයේ ධෛර්යය (courage of hopelessness) සමගය. “දැනුමේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන ග්‍රාම්ස්චිගේ උදෘතය අන් කවරදාටත් වඩා අදාළ වන්නේ දැන්ය.

සුමිත් චාමින්ද

 

leave a reply