Breaking News

නීල-හරිත පොප්කෝන් රාජ්‍ය ප්‍රතිපත්ති වලින් අපි දැන් බැහැර විය යුතුයි.

අපේ රටේ බොහෝ දෙනෙක්ට තවමත් පාරිසරික ව්‍යසන සහ ආපදා අවස්ථාවලදී පෙර සූදානම් වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති බව ආචාර්ය කල්ප රාජපක්ෂ කියයි. දිගින් දිගටම පාරිසරික ව්‍යවසන ඇති වන තත්ත්වයක් තුළ රජයේ ප්‍රතිපත්ති පිළිබඳවම විශ්වාසය තබා බලා සිටීමේ ප්‍රයෝජනයක් නැති බවත් බිම් තලයේ පාරිසරික සහ ප්‍රජා අයිතීන් වෙනුවෙන් සමාජය නව වටයකින් සාමුහිකත්වය සොයා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. මෙම කාරණා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ දේශපාලන ආර්ථිකය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කල්ප රාජපක්ෂ සමග “අරුණ” කළ සාකච්ඡාවකි මේ.

2025 කියලා කියන්නේ ආර්ථික, දේශපාලනික, සමාජයීය වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත් සුවිශේෂී සංසිද්ධි ගණනාවක් ඇතිවුණු වර්ෂයක්. පසුගිය වර්ෂය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔබ පැවසූ ආකාරයටම පසුගිය වර්ෂය පුරාම ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් සුවිශේෂී සිදුවීම් ගණනාවක් වුණත් පසුගිය වසරේ වූ පාරිසරික සංසිද්ධි කෙරෙහි මේ සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම ඔබ ඇසූ ප්‍රශ්නය සඳහාත් පාරිසරික කාරණා පමණක් අදාළ කරගෙන පිළිතුරක් දෙන්නම්. ලංකාව කියන්නේ සුනාමිය වගේ දරුණු ව්‍යසනයකට මුහුණ දුන් පිරිසක් ජීවත්වන රටක් වුණත් තවමත් අපේ රටේ ජනතාවට පරිසර ව්‍යසන ඇතිවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි මට්ටමක අවබෝධයක් නැහැ. ඒ නිසාම ජනතාව පාරිසරික ව්‍යසන සඳහා වන සූදානමත් ඉතාම අඩුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාවට යම් දැනුම්වත් කිරීමක් අවශ්‍යයි කියලා මම හිතනවා.

හොඳයි.එහෙනම් දැන් අපි පසුගිය වර්ෂයේ ඇති වූ පාරිසරික ව්‍යවසන ගැන කතා කරමු…

2025 වර්ෂය කියන්නේ කාලගුණ විද්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන ඉතාමත් සුවිශේෂී වර්ෂයක්. මොකද ඒ වර්ෂයේ දේශගුණක විපර්යාසයන් සම්බන්ධයෙන් තිබෙන මානයන් වල උපරිම සීමාව ඉක්මවා ගියා. උෂ්ණත්වය, වර්ෂාපතනය, සාගර උෂ්ණත්වය, සාගර ජල මට්ටම ආදී වශයෙන් විශාල පරාසයක් පුරා විහිදෙන ලෝකයේ පිළිගත් මානයන් ගණනාවක් තියෙනවා. කාලගුණ විද්‍යාඥයින් 2025 අවුරුද්ද හඳුන්වන්නේ මේ සෑම මානයක්ම උපරිම වූ අවුරුද්දක් හැටියටයි.
මෙහිදී අනෙකුත් සියලුම දර්ශකවලට ඉතාමත් වැදගත් දර්ශකයක් වන උෂ්ණත්වය උදාහරණයට ගනිමින් ඔවුන් එම කාරණාව පිළිබඳ පැහැදිලි කරනවා. කාර්මීකරණ අවදියේ පැවැති උෂ්ණත්ව මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 කට වඩා වැඩි නොවී පවත්වා ගැනීම කියන කාරණයට ඔවුන් විශේෂ අවධානයක් යොමු කරනවා. නමුත් පසුගිය 2024 සහ 2025 වසර දෙක තුළ එම සීමාව ඉක්මවා ගිහින්. තවත් විදිහකට කියනවා නම් ලෝක උෂ්ණත්වයේ සාමාන්‍ය අගයේ වර්ධනය සෙල්සියස් අංශක 1.5 ඉක්මවා ගිහින් තියෙනවා.
මේ විදිහට ලෝක උෂ්ණත්වය ඉහළ යාම කලාප විශාල ප්‍රමාණයකට බලපානවා. උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධානතම සාධකය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ යාමනේ. එය දැවැන්ත පදාසයක පාරිසරික වෙනස්කම් සඳහා බලපානවා.

කර්මීකරණයටට පෙර තිබුණු අගයට වඩා කාර්මීකරණයෙන් පසුව ලෝක උෂ්ණත්වය ඉහළ යන්න හේතුව මොකක්ද?

අසීමිත ආර්ථික වර්ධනය එහෙමත් නැත්නම් අසීමිත කාර්මීකරණය නිසයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. තවත් විදිහකට කියනවා නම් අද වෙද්දි ලෝකයේ තියෙන කෑදර ආර්ථිකය නිසා යම් යම් පාරිසරික තත්ත්වයන් වෙනස් වෙලා. පසුගිය වසරේ ලංකාවේ ඇතිවුණු දිට්ටා සුළි කුණාටුව පමණක් නොවෙයි, යුරෝපය පුරා අසාමාන්‍ය ශීතාධික කාලගුණයක් මේ වෙද්දී ඇතිවෙලා . ලංකාවට සමගාමීව ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල් පවා කාලගුණ විපර්යාස නිසා ඇතිවුණු දැඩි ගංවතුර තත්වයන්ට මුහුණ දුන්නා. මෙම කාරණා පිළිබඳව පිළිබඳව ලාංකිකයන් වන අපිත් මේ මොහොතේ ඉතාමත් සංවේදීව කටයුතු කළ යුතුයි .

ලෝකයේ ඇති වී තිබෙන කාලගුණ විපර්යාස වලින් ලංකාවට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද?

ඇත්තටම ලංකාව කියන්නේ විශාල කාලයක් දේශගුණ විපර්යාස සහ කාලගුණය හරහා ඇතිවන බලපෑම් පිළිබඳව අවතක්සේරු කළ රාජ්‍යයක්. මොකද අපේ මිනිස්සු බොහෝ දෙනෙක් රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා. සමහරු ව්‍යාපාර වලට කාලය වෙන් කරලා. වගේම සංවර්ධනයේ නාමයෙන් අපි මේ වන විට පාරිසරික වශයෙන් සිදු කර තිබෙන විනාශය අසීමිතයි. බොහෝ දෙනෙකුට බොහොම ආරක්ෂිතව ඉන්න පුළුවන් කියලා හිතෙන වාසස්ථාන තියෙනවා කියන පූර්ව නිගමනයේ හිටියා. පහුගිය සුළි කුණාටුව ඒ අදහස වෙනස් කළා. රාජ්‍යක්, සමාජයක් විදිහට අපේ පොදු අනාගතය දැන් වෙනස්වෙලා බව අපි පිළිගත යුතුයි. මේ ප්‍රශ්නය තවත් කල් දැමිය නොහැකි, දෙවැනි තැනට දමා කටයුතු කළ නොහැකි එකක් බව පොදු මහජනතාව තේරුම් ගත යුතුයි.

අපේ රටේ ජනතාවගේ පොදු අනාගතය වෙනස් වෙලා කිව්වේ මොකක්ද?

තවදුරටත් ලංකාවේ කිසිම කෙනෙක්ගෙ ජීවිත හිතන තරම් ආරක්ෂිත නැහැ කියලා පහුගිය දිනවල ඇතිවන ස්වභාවික ආපදා අපිට තේරුම් කරලා දුන්නා. මේ කාරණාව පිළිබඳව අපි සියලු දෙනාම අලුතෙන් හිතා බැලිය යුතුයි කියලයි මම යෝජනා කරන්නේ. මිනිසුන්ට ආහාර, ඖෂධ , ඇඳුම් පැළඳුම්, ආරක්ෂාව, ආදී මූලික අයිතිවාසිකම් මොනතරම් අවශ්‍යද, සාමාන්‍ය තත්වයකදීත් ඒවා ලබා ගැනීම කොතරම් අසීරුද කියලා දිට්වා කුණාටුවෙන් පසුව බොහෝ දෙනෙක්ට තේරුම් යන්න ඇති. සමාජය තිබුණු දුප්පත්කමේ, අසමානතාවයේ, බලයේ සහ ආධිපත්‍යයේ සීමා සුළිකුණාටුව අලුතින් ඇන්දා. එවැනි තත්ත්වයක් තුළ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් හැටියටත් අපි මැදිහත් වෙලා අපි යම්තාක් දුරකට හෝ ජනතාවගේ ඒ මූලික අවශ්‍යතා සපුරාදීම වෙනුවෙන් අපි පහුගිය දිනවල ලොකු වැඩ කොටසක් කළා. ඇත්තටම පුද්ගලිකවත් ඒ සඳහා දායක වුණා. විශේෂයෙන්ම මහනුවර, කොත්මලේ, ගම්පොළ, හන්තාන, නිල්ලබ, ලූල්කදුර, දෙල්තොට වැනි ප්‍රදේශවල ජනතාව අතරට අපි ගියා. දිට්වා වැනි ව්‍යසනයකින් ආහාර, ඖෂධ සහ ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතා සැපයීමේ පවතින සැපයුම් දාමයන් ඉතා ඉක්මනින් බිඳ වැටෙන ආකාරය අපි ඇස් දෙකෙන්ම දැක්කා. එහිදී ඇත්තටම මේ පාරිසරික ව්‍යවසනයේ සැබෑ විනාශයට මුහුණ දුන්නේ කවුද කියලත් අපි හඳුනාගත්තා.

පාරිසරික ව්‍යවසනයේ සැබෑ විනාශයට මුහුණ දුන් පිරිස යන්නෙන් ඔබ අදහස් කළේ මොකක්ද?

ඇත්තටම අපේ රටේ පහුගිය දිනවල ඇතිවුණු පාරිසරික විනාශයෙන් සැබෑ විනාශයට මුහුණ දීලා තියෙන්නේ දුප්පතුන්. අපි ඒ පන්තිය හඳුනා ගන්න ඕන පාරිසරික-නිර්ධනයන් විදිහට. කෑදර ආර්ථික ක්‍රමයකින් බැටකාලා අන්තිමට පරිසර විනාශයන්ගෙනුත් කෙලින්ම බැටකන පිරිස විදිහට. මේ සමාජයේ සිටින ඉතාම පහළ ජීවන මට්ටමක් සහිත, දේපළ අයිතිය ඉතාම අඩු, එදිනෙදා රැකියාවෙන් ජීවිකාව ගෙනයන, පාසල් යන වයසේ දරුවන් සිටින පිරිස තමයි ඒ පාරිසරික ව්‍යවසනයෙන් විශාල වශයෙන් පීඩාවට ලක් වුණේ. මේ තත්ත්වය සමාජ පංතියක් හැටියට පැහැදිලි කරනවා නම් නිර්ධන පංතියේ ජනතාවයි ව්‍යසනයට විශාල වශයෙන් ගොදුරු වුණේ. ඒ බව සනාථ කරන්න පහුගිය දිනවල නිකුත් වූ වාර්තා කිහිපයක් උදාහරණ හැටියට ගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ලක්ෂ 11 කට ආසන්න දුප්පතුන් පිරිසක් මේ ව්‍යසනයට සෘජුවම මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාව අනුව තුන් ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න රැකියා ප්‍රමාණයක් මිනිසුන්ට මේ ව්‍යසනය නිසා අහිමිවෙලා තියෙනවා. මේ පන්තිය අපි සමාජයේ තවමත් නිහඩ බහුතරය.

කාලෙන් කාලෙට අපේ රටේ ඇතිවන ස්වභාවික උවදුරු නිසා විශාල දේපල සහ ජීවිත හානි ප්‍රමාණයක් වෙනවා.ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ඇත්තටම බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ නිසිලස සැලසුම් නොකළ හෝ ජනාවාසකරණයට නුසුදුසු ප්‍රදේශවල වීමයි ඔබ ඔය කියූ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව. කොතැනක හෝ තිබෙන කුඩා ඉඩම් කෑල්ලක් ණය වෙලා හරි අරගෙන නිවසක් ඉදිකර ගැනීමයි අද බොහෝ දෙනෙක්ගේ හීනය.
ඇත්තටම කිව්වොත් අපේ රටේ ජනාවාස සැලසුම් කිරීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අද බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ ඉතාම අවදානම්කාරී ප්‍රදේශවල. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉඩම් නොමැති මිනිසුන් ආරක්ෂිත බිම්බල අලුතෙන් පදිංචි කිරීමේ සැලසුමක් අවශ්‍ය යි කියලා මම හිතනවා. විශේෂයෙන්ම නුවරඑළිය ආශ්‍රිත වතුකරයේ ජනතාව ඉන්නේ ඉතාමත් අනාරක්ෂිත ස්ථානවල.

ජනාවාස සැලසුම්කරණයේදි රජයක වගකීම මොකක්ද ?

මේ වෙලාවේ ජාතික ජන බලවේගය ආණ්ඩුවට අපේ රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් පැවරිලා තියෙන්නේ අත්හළ නොහැකි වගකීමක්. වරින් වර ඇතිවන ස්වභාවික ව්‍යසන නිසා දුප්පත්කම, ණයගැතිභාවය සහ දරුවන්ගේ පෝෂණ ප්‍රශ්න විශාල වශයෙන් වැඩි වෙලා. ඒත් ඒ හැමදේම දැන් නිවැරදි කරලා තියෙන්නේ කියලා රජය මාධ්‍ය මෙහෙයුමක් මගින් පෙන්නන්න උත්සාහ කළත් එවැනි නිවැරදි වීමක් වෙලා නෑ . මේ වන විටත් ඉතාම සංකීර්ණ බෙදීම් සහ ප්‍රශ්න ගණනාවක් සමාජයේ ඇතිවෙලා. මාධ්‍ය පිරුවටවලින් වැසීමට උත්සාහ කළත් අනිවාර්‍යෙන්ම නැවැත මේ ප්‍රශ්නය ඇතිවෙනවා. නැවැත මේ වර්ගයේම ව්‍යසන තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන් කියලා ජාත්‍යන්තර විද්‍යාඥයින් පවා අනතුරු අඟවනවා. ඒ නිසා වගකීම් සහගත රජයක කාර්යභාරය විය යුත්තේ දිගුකාලීන වැඩපිළිවෙළක් දක්වා ගමන් කිරීම මිස යුහුසුළුව මේ තත්ත්වය නිවැරදි කළා යැයි පැවැසීම නොවෙයි. මෙහි පදනම මීට වඩා ගැඹුරු විය යුතුයි කියලයි මම හිතන්නේ. ඒ කියන්නේ නවලිබරල් කෑදර රාජ්‍යය වෙනුවට හරිත සමාජවාදී මුලධර්ම මත ගොඩනැගුනු නිර්ධනපාන්තික රාජ්‍යයක අවශ්‍යතාව ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා අනිවාර්යතාවක්.

ඔබ ඔය කියන කාරණය සම්බන්ධයෙන් තවත් පැහැදිලි කළොත්?

මගේ නිරීක්ෂණ අනුව අපේ නිෂ්පාදන ආර්ථිකය සහ පරිසරයත් සමග තිබෙන ගනුදෙනුව අපි සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුව තියෙනවා. ඇත්තටම එහිදී මිනිස් වාසයෙන් ඉවත් කරලා සමහර ප්‍රදේශ පරිසරයටම දෙන්න වෙයි. කර්මාන්ත, නගර, ජනාවාස, මහාමාර්ග සමහර තැන්වලින් ඉවත් කරන්න වෙයි. ඒ විතරක් නොවෙයි අපිට වාරිමාර්ග වාරිමාර්ග පද්ධතිය, බලශක්ති ජනනය සහ ජල ආර්ථිකය ගැනත් අලුතෙන් හිතන්න වෙනවා කියලා මට හිතෙනවා. මේ සියලු කටයුතු සඳහා අවුරුදු දහයකවත් ඉලක්කයක් අවශ්‍යයි.

පහුගිය දිනවල ජනාධිපතිවරයා වන වගාවක් සම්බන්ධයෙනුත් අදහස් ඉදිරිපත් කළානේ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

අඩි 5000ට ඉහළ ප්‍රදේශ වනාන්තර කරනවා කියලා ජනාධිපතිතුමා කියන කතාව ගැනත් විද්‍යාත්මකව ගැඹුරින් සොයා බැලිය යුතුයි. යටත්විජිත යුගයේදීත් ඇතැම් බ්‍රිතාන්‍ය ජාතික පාරිසරික විද්‍යාඥයන් සහ සැලසුම්කරුවන්ට වතු ආර්ථිකය සම්බන්ධයෙන් විශාල විවේචනයක් තිබුණා. ලංකාවේ තිබුණු සදාහරිත වනාන්තර විනාශ කරලා, සත්තු ඝාතනය කරලා, වනාන්තර සම්පූර්ණයෙන්ම විනාශ කරලා කෝපි සහ තේ වැනි වතු ආර්ථිකයකට ගමන් කරද්දී ඇති වන බරපතල පාරිසරික බලපෑම ඔවුන් කලින්ම හඳුනාගත්තා. රෝහණ විජේවීර සහෝදරයා වුනත් දේශපාලනිකව ඉස්මතු කරන්නේ මෙහි දිගුවක්. ඒ නිසා ජනප්‍රිය දේශපාලන කතාවලින් එහාට ගිය, මුල් බැසගත් දේශපාලන සහ සමාජ පරිවර්තනයක වගකීමක් දැන් අපි ඉදිරියේ තියෙනවා. අපට මේ පාරිසරික විනාශය වළක්වා ගන්න හැකියාව ලැබෙන්නේ ඒ වගකීම හරියට ඉටු කළොත් පමණයි. එය සමාජවාදී පරිවර්තනයකින් මෙහා ඉටු කළ නොහැකි එකක් බව අපේ ගැබුරු විස්වාසය.

වර්තමාන ආණ්ඩුවේ පාරිසරික ප්‍රතිපත්තිය ඔබ දකින්නේ කොහොමද ?

වර්තමාන ආණ්ඩුව පමණක් නොවෙයි ඇත්තටම 1977 න් පසුව පත් වූ කිසිම ආණ්ඩුවකට ස්ථාවර, ධනපති කෑදරත්වය වෙනුවෙන් පරිසරය සහ මිනිසුන්ගේ ජිවිත අවධානමේ නොදමන පාරිසරික ප්‍රතිපත්තියක් තිබුණේ නැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල වචන පාරිසරික ප්‍රතිපත්ති සඳහන් වෙලා තියෙන්න ඇති. ඒත් දේශපාලනිකව වැදගත් වෙන්නේ ප්‍රකාශනය නොවෙයි, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි. නිශ්චිත පරිවර්තන ඇති කිරීමයි. කිසිදු සීමාවකින් තොරව පරිසරය විනාශ කිරීම, වගුරු බිම් ගොඩ කිරීම ගංගාවලට කළ විනාශය, මධ්‍යම කඳුකරයේ ජනාවාස, මහාමාර්ග, සංචාරක හෝටල් සහ බලශක්ති පද්ධති නිසා ඇතිවුණු විනාශය මොනතරම්ද කියලා හිතලා බලන්නකෝ. ආණ්ඩු ප්‍රායෝගිකව පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම් මේ වගේ පරිසර හානියක් වෙනවද. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙනුත් මටනම් පැහැදිලි ගුණාත්මක වෙනසක් පෙනෙන්නට නෑ.

වර්තමාන ආණ්ඩුවේ පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදීමක් නැහැ කියලද ඔබ ඔය කියන්නේ ?

පරිසරය ගැන හිතනවා කියලා වර්තමාන ආණ්ඩුව මොනතරම් කතා කිව්වත් ඔවුන්ගේ ඒ කැපවීම ප්‍රායෝගිකව අපිට පේන්නේ නෑ. මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන ලංකාවේ කීර්තිමත් පරිසර විද්‍යාඥයන් සහ පක්ෂි විද්‍යාඥයන් විශාල විරෝධයක් එල්ල කළා. පක්ෂි සංඝටනය සම්බන්ධයෙන් මන්නාරම කියන්නේ ලංකාවට තියෙන වැදගත්ම ස්ථානයක්. නමුත් ඒ විද්‍යාත්මක විශ්ලේෂණයන් පරාජය කරලා ප්‍රාග්ධනයට ඉඩ දීලා තියෙනවා. ඉන්දියාව සමග තියෙන සම්බන්ධය සහ ණය උගුලට උත්තරයක් විදිහට ආයෝජන ගෙන්වා ගැනීමට රජය උත්සාහ කරන බව පේනවා. ප්‍රතිපත්තිවලින් එහාට ගිය ප්‍රායෝගික පාරිසරික කැපවීමක් මේ රජයෙන් අපට පේන්නේ නැහැ. මේ රජයේ පරිසරය සම්බන්ධ නිලධාරීන් විදිහට පරිසරයට දැඩි ලෙස ඇලුම් කරන සහ හරිත දේශපාලනය සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන කිහිප දෙනෙක් හෝ ඉන්න බව අපි දන්න කාරණයක්. නමුත් ඒ අය උනත් ඉදිරියේදී තේරුම් ගනීවි රාජ්‍යය පාලනයේදී ප්‍රාග්ධන විරෝධී මුලධාර්මික දේශපාලනයේ ඇති වැදගත්කම කොතරම් තදින් පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ පෙනී සිටීම හරහා ප්‍රශ්නකාරීව එලියට එන්න නියමිතද කියන එක.

ආණ්ඩුවකට වගේම මේ රටේ සියලුම දෙනාටත් පරිසරය ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවානේ?

අනිවාර්යයෙන්ම. අපිට රාජ්‍ය ප්‍රතිපත්ති දෙස පමණක් බලාගෙන ඉන්න බැහැ. රාජ්‍යය කියන්නේ හැමවිටම ව්‍යාපාරික පන්තියේ සහ කාර්මික-ඩිජිටල් ධනපති පන්තියේ මෙවලමක් පමණයි. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති නොතකා, ස්වාධීන විමුක්තිකාමී සංවිධාන නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම වතු ආර්ථිකයේ පීඩාවට පත් වුණු, කිසිදු හව්හරණක් නැති ජනතාව දැන් තමන්ම සංවිධානය වෙලා මේ පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දිය යුතුයි. ප්‍රජාමුල ප්‍රජා-පරිසර ආරක්ෂක කමිටු ගොඩනැගිය යුතුයි. මේ ප්‍රශ්නය පොදු මිනිසාගේ දැනුමට උරා ගත යුතුයි. දරුවන් ගේ සිට මහල්ලා දක්වා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මිනිස්-පරිසර සහකම්පනයකින් කරයුතු කරන ජීවන විලාසයක් ගොඩනැගිය යුතුයි. සරලව කියනවානම් නීල-හරිත පොප්කෝන් රාජ්‍ය ප්‍රතිපත්තිවලින් බාහිරව ස්වාධීනව බිමේ සංවිධානය වීමට දැන් කාලය උදාවෙලා. ඇත්තටම අපට පරිසරය සම්බන්ධයෙන් පැවරිලා තියෙන බාරදූර කර්තව්‍ය කල් දාන්න බැහැ. වහ වහා ඒ වෙනුවෙන් පාරිසරික-නිර්ධනයන් කටයුතු කළ යුතුව තියෙනවා.

අරුණ 20/02/2026

leave a reply