Breaking News

සෞඛ්‍යට ප්‍රතිපාදන වැඩිකිරීම වෙනුවට පෞද්ගලීකරණය

සෞඛ්‍ය සේවයේ දැනට පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම වෙනුවට ආණ්ඩුව සෞඛ්‍ය සේවයේ අඩුපාඩු පිරිමැසීම පෞද්ගලික අංශයට ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙමින් සිටියි.

2026 ජනවාරි 05 වන දින අමාත්‍ය මණ්ඩල තීරණ අංක 04ට අනුව, රජයේ රෝහල්වල පවතින CT ස්කෑනර්, MRI ස්කෑනර්, DSA, හෘද කැතිටකරණ ඒකක (Cath Labs) සහ ස්වයංක්‍රීය රක්තවේදය හා ජෛව රසායන විද්‍යා විශ්ලේෂක (Auto Analyzers) වැනි ප්‍රධාන උපකරණ සේවාවන් ලබා ගැනීම පුද්ගලික අංශය හා එක්ව සිදු කිරීමට නියමිතය.

කාර්ය සාධනය මත පදනම් වූ ගෙවීම් ක්‍රමවේදයකට අනුව රෝග නිශ්චය කිරීමේ වාර්තා ලබා ගැනීමේ ප්‍රධාන උපකරණවල සේවය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලියක් යටතේ ලබා ගැනීම සඳහා කැබ්නට අනුමැතිය ලැබී ඇත. මෙලෙස රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ මේවා සිදු කිරීමට අදාළ තීරණය ගැනීමට හේතු කිහිපයක් සෞඛ්‍ය අමාතයවරයා සඳහන් කර තිබේ.

බෝ ‍නොවන රෝග වර්ධනය සහ සියලු සත්කාර මට්ටම්වල පුළුල් සේවා අවශ්‍යතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිශ්චය සඳහා වන උසස් මට්ටමේ සේවා සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පැවතීම තුළ මතුව ඇති ගැටළු කිහිපයක් එහිදී සඳහන් සඳහන් කර තිබේ. CT ස්කෑනර් යන්ත්‍ර, MRI ස්කෑනර් යන්ත්‍ර, DSA, හෘද කැතිට කරණ ඒකක සහ ස්වයංක්‍රීය රක්ත වේදය හා ජෛව රසායන විද්‍යා විශ්ලේෂක වැනි ප්‍රධාන උපකරණ මඟින් වාර්තා ලබා ගැනීමේදී සෑම රෝගියෙකුටම සමාන අවස්ථාවක් නොමැති වීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත් වීම ඊට එක හේතුවකි. ඒ අනුව රජයේ රෝහල්වල එම වාර්තා ලබා ගැනීම සඳහා පවතින පහසුකම් සීමිත වීම හේතුවෙන් එවැනි රෝගීන්ට දිගු පොරොත්තු ලේඛන වල රැඳී සිටීමට සිදුවීම නිසා සායනික කළමනා කරණයේ ප්‍රමාදයන් ඇති වීම තවත් හේතුවකි. එමෙන්ම, එවැනි උපකරණ මිල දී ගැනීම සඳහා පවතින මූල්‍ය සීමාවන් සහ එවැනි යන්ත්‍ර මිල දී ගැනීම සහ නඩත්තුව සඳහා අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ද සංකීර්ණ වීම මේ තීරණය සඳහා හේතු වී ඇති බව පැවසේ. ඒ අනුව එවැනි වාර්තා ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රම වේද කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවත් ඒ අනුව, අදාළ රෝග නිශ්චය සඳහා වන සේවාවන්ට අවශ්‍ය උපකරණ කාර්ය සාධනය මත පදනම් වූ ගෙවීම් ක්‍රම වේදයකට යටත්ව, යෝග්‍ය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලියක් යටතේ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බව කැබිනට් තීරණවල සඳහන් වේ.

ජනතා දේපොළ පෞද්ගලිකරණය කිරීමේදී ඕනෑම ආණ්ඩුවක් පාවිච්චි කළ උපක්‍රමය වූවේ ඒවා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයකින් ක්‍රියාත්මක කරන බව පැවසීමයි. සෞඛ්‍ය සේවයට සිදුවීමට යන්නේද එයයි. මෙම රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ විවිධ සෞඛ්‍ය සේවා සඳහා සුළුවෙන් මුදල් අයකිරීමක් සිදුවෙනු ඇති අතර පසුව එය සාමාන්‍යකරණය වෙනු ඇත.

ආණ්ඩුව මේ දිනවල පවසන්නේ භාණ්ඩාගාරය පිරී ඉතිරි යන බවයි. ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි දීමට මෙන්ම වාහන ගෙන්වීමට මුදල්ද ඇති බව ජනාධිපතිවරයා පවසා තිබුණි. එසේනම සෞඛ්‍ය සේවය සඳහා යෙදවීමට මුදල් මදිවෙන්නේ ඇයිද යන්න ජනතාව ප්‍රශ්න කළ යුතුවේ.

leave a reply