Breaking News

සේවක අර්ථසාධක අරමුදල සංශෝධනය තවත් උගුලක්ද?

සේවක අර්ථසාධක අරමුදල වෙනුවට පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු සූදානම් කිරීම ගැන සැක මතුවෙමින් තිබේ.

සේවක අර්ථසාධක අරමුදල් පනත කාලීන අවශ්‍යතාවයනට අනුව සංශෝධනය කිරීම සඳහා සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බව කම්කරු නියෝජය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම දිවිය වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ 30%ක මුදල ලබා ගැනීම පහසු කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනතේ තීරණාත්මක සංශෝධන රැසක් සිදු කිරීමට රජය සූදානම් වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. පනත සංශෝධනය කර ලිපි ලේඛන අවශ්‍යතා අවම කිරීමටත්, ප්‍රතිලාභ ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් නම්‍යශීලී කිරීමටත් රජය බලාපොරොත්තු වේ. එහිදී මූලික වශයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට සූදානම් වන බව ඇමතිවරයා පවසා තිබේ.

ඊට අමතරව මෙම නව සංශෝධන හරහා මූලික වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

30% ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම.

දැනට පවතින නීති අනුව EPF අරමුදලෙන් 30% ක ප්‍රතිලාභයක් ලබාගත හැක්කේ පනතේ සඳහන් නිශ්චිත අවශ්‍යතා, කාර්යයන් සඳහා පමණක් බැවින් එහි යම් ගැටලුකාරී තත්වයක් ඇති බව මහින්ද ජයසිංහ අමාතයවරයා පැවසීය. එනිසා එම අවශ්‍යතා සනාථ කිරීම සඳහා අයදුම් කරුවන්ට ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට සිදු වී ඇති බව ඔහු සඳහන් කළා. මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන අධික වීම නිසා සේවකයන් දැඩි අපහසුතාවයට පත්වන බව හඳුනාගෙන ඇත. එම නිසා මෙම ලිපි ලේඛන අවශ්‍යතා අවම කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත් එහිදී එම ගැටළු අවම කිරීමට කටයුතු කරන බවත් කම්කරු නියෝජය අමාත්‍යවරයා පවසා සිටියා.

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතින අතර ප්‍රතිලාභීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා දැනටමත් නව EPF මෘදුකාංගයක් පසුගිය 29 වනදා හඳුන්වා දී තිබේ. එසේම ඉදිරියේදී සමස්ත දෙපාර්තමේන්තුව ම ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ද එහිදී සඳහන් කර සිටියා.

එසේම, පෙරදී කම්කරු කාර්යාලයට පැමිණ form පුරවා EPF අරමුදලේ ලියාපදිංචිය සිදු කළ යුතු වුවත් නව ව්‍යවසායකයින් එසේ කිරීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ට online software එක හරහා ලියාපදිංචි වීමට අවශ්‍ය පහසු කම් සලසා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. එසේම සේවකයන් හටත් EPF එකෙහි ලියාපදිංචි වීමේදී පෙර පවතී ක්‍රමවේදයට ක්‍රියා කිරීම අවශ්‍ය නොවන අතර ඔවුන්ට ද තම ආයතනය තුළ සිටම Online ක්‍රමවේදයට එම ලියාපදිංචි වීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාතයවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

පුද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ETF සහ EPF අරමුදල් දෙකෙහි ප්‍රතිලාභ වල පරතරය සම්බන්ධයෙන් ඕශානි උමංගා මන්ත්‍රීවරිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා සඳහන් කළේ එම පනත් සහ අරමුදල් අරමුණු දෙකක් සඳහා පවතින බවත් EPF අරමුදල අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කම්කරුවන් සඳහා විශ්‍රාම අරමුදලක් ලෙස ක්‍රියා කරන බවයි.

“EPF එකේ විටින් විට මුදල් ලබා දීම ඇතුළෙ, ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ගේ සමාජ ආරක්ෂණයට යම් බලපෑමක් සිදු වෙනවා” යනුවෙන් පවසමින් ඔහු කියා සිටියේ, මෙය අහෝසි කිරීමක් සිදු නොකර, පෞද්ගලික අංශයේ මේ මුදල එකවර ගෙන පෞද්ගලික අංශයටත් ජීවත් වනතුරු විශ්‍රාම වැටුපක් ලබා දීමට හැකියාව තිබේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමු කර තිබෙන බවයි.

එසේම ETF අරමුදල තුළින්ද එහි සාමාජිකයින් දැනුවත් කරමින් ව්‍යවසායකත්වයන් දිරිමත් කිරීම සඳහා කටයුතු කිරීම වැදගත් වන බවද නියෝජ්‍ය අමත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුවට මෙම අරමුදල් ගැන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රශ්නයයි. රජය යටතේ පවතින්නේ මෙම අරමුදලේ භාරකාරීත්වය පමණි. ඒ හැර මෙම අරමුදල සඳහා රජය කිසිදු දායකත්වයක් නොදක්වයි. නමුත් පසුගිය කාලයේ පත්වූ ආණ්ඩුව සියල්ලක්ම මෙම අරමුදල සම්බන්ධයෙන් හිතුමතේ තීරණ ගනිමින් සිටියි. ඒ හරහා මෙම අරමුදල්වලට විශාල පාඩු කරමින් සිටියි. විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිවියුහගත්කරණයේදී සිදුවූ වේ මෙම අරමුදල වෙත ලැබෙන ප්‍රතිලාභ කපා දැමීමයි. ඒ අනුව මේ ආණ්ඩුවද මෙම අරමුදල සමඟ කිරීමට හදන සෙල්ලම කුමක්ද යන්න අවධානයෙන් සිටීම වැදගත් වේ.

leave a reply