සජීව චාමිකර–ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30 කට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අවසර ලබා දීම සිදු කර ඇති බැවින් ඒ සියල්ල අත්හිටුවීමට කටයුතු කළ යුතු බව ය. කමිටු සභාපති වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව එම ව්‍යාපෘති සියල්ල අත්හිටුවීම සිදු කෙරින. 2025 වසරේ දී අත්හිටවූ මෙම ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර ඇත්තේ අලි – ඇතුන් ජීවත් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අලින් ගේ නිජබිම් වන වනාන්තර පද්ධති මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමිනි.
අද වන විට සමාගම් කිහිපයක් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර අක්කර 1000 ක් පමණ ඩෝසර් යන්ත්‍ර මගින් එළි කිරීම හා ගිනි තැබීම සිදු කරමින්, එල්ලෙන විදුලි වැටවල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් සිදු කර තිබේ. එම හානි කර ක්‍රියා සිදු කිරීම දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd), ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd), එවර්නිව් එනර්ජි පුද්ගලික සමාගම (Everrenew Energy Pvt Ltd) හා ඒෂියන් සෝලා පුද්ගලික සමාගම (Asian Solar Pvt Ltd) යන සමාගම් මඟින් සිදු කරයි.
අල්ලස් ලබා දුන් සෝලා සමාගම්

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අත්හිටුවන ලද මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 14 ක මුදලක් සමාගම් පහක් එක් ව අල්ලස් ලෙස වක්‍ර මාර්ගික ව ලබා දීමෙනි. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ නාගරවැව සිට මයුරපුර දක්වා සහ උස්ගල දක්වා කිලෝමීටර 12 ක එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුනිල් රත්නායක සහ හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රි නලන් කුමාර යන අය ගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ගොවි සංවිධානයට මෙම විදුලි වැට ඉදි කිරීමට රුපියල් මිලියන 11 ක පමණ මුදලක් ලබා දී තිබේ. අනෙක් රුපියල් මිලියන 3 ක මුදල අදාළ සමාගම් විසින් ලබා දී ඇති ආකාරය නිවැරදි ව සඳහන් වී නොමැත. මේ ආකාරයට රුපියල් මිලියන 14 ක මුදලක් ලබා දී ඇත්තේ ඔරියන් සෝලා, නිධන්යා ඉන්ටර්නැෂනල්, ටනිෂ් ඉන්ටනැෂනල්, ටානු ඉන්ටර්නැෂනල් හා දුදූ ඉන්ටර්නැෂනල් යන සමාගම් පහ විසිනි.
මෙම සමාගම්වල මුදල් ලබා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිහාල් ගලප්පත්ති, රුවන් සෙනරත් හා අතුල වෙළෙදගොඩ යන අය ගේ මඟපෙන්වීම යටතේ සිදු වී ඇති අතර හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් දයාවංශ මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදු කර ඇත. මීට අමතර ව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා විසින් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සිදු කර ඇත. මේ ආකාරයෙන් විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමෙන් පසු ව අදාළ සමාගම් විසින් අලි – ඇතුන් ගේ නිජබිම් වන වනාන්තර විනාශ කරමින් සෝලා බලාගාර ඉදි කිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබේ.



මේ ආකාරයෙන් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ප්‍රථම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී ගන්නා ලද තීරණ මත කිසිදු ආකාරයකින් ව්‍යාපෘති නැවත සමාලෝචනයකට ලක් කර නොමැත. ඉන් පැහැදිලි වන්නේ අත්හිටවූ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇත්තේ එල්ලෙන විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමේ පදනම මත බව ය. එය වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීමකි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී විරුද්ධ වූ කමිටු සභාපතිවරයා ද සමාගම්වල අල්ලසට යට වී මෙම සමාගම් විසින් සිදු කරන මහා විනාශයට ආදාර හා අනුබල ලබා දෙමින් සිටී.
සෝලා සමාගම් හා රාජ්‍ය ආයතන එක් ව පරිසර නීති හෑල්ලුවට ලක් කිරීම
මෙම ව්‍යාපෘති ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගෙන සිදු කළ යුතු ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හෝ මෙගාවොට් 50 කට වඩා වැඩි විදුලි බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියකට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධී ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.



නිවැරදි පරිසර බලපෑම් ඇඟයීම් ක්‍රියාවලියකට පිවිසීම මඟ හැරීම සඳහා මෙම එක් එක් සමාගම් මෙගා වොට් 10 බැගින් වන සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීමට සූදානම් වන අතර සමාගම් 5 ක් ලෙස මෙගාවොට් 10 බැගින් වන ව්‍යාපෘති 5 ක් ඉදි කිරීමට අනුමැතිය හා දීර්ඝකාලීන බදු පදනම මත මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු වශයෙන් ලබා ගැනීම සිදු කර ඇත. එමගින් සිදු කර ඇත්තේ ව්‍යාපෘතියෙන් ඇති වන අහිතකර බලපෑම් කුඩා මට්ටමක පවතින බවට පෙන්වා දී පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියෙන් හා මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් නිදහස් වීම ය.
පාරිසරික නීති මඟ හැරීම සඳහා මෙම සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය එක් ව සිදු කර ඇත්තේ මෙගාවොට් 50 ට වඩා අඩු ව්‍යාපෘති එක ම මව් සමාගමකට අයත් සමාගම් කිහිපයක් යටතේ අඩු ධාරිතාවයකින් යුක්ත බලශක්ති ව්‍යාපෘති ලෙස අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක කිරීම සිදු කළ ද නීතියෙන් සැඟවී යාමට නොහැකි වන්නේ මෙම ව්‍යාපෘති සඳහා හෙක්ටයාරයකට වඩා වැඩි වනාන්තර එළි කිරීමට සිදු වන නිසා ය. අක්කර 50 කට වඩා වැඩි වනාන්තර ඉඩම් එළි කිරීම, අලි – ඇතුන් ජීවත් වන වනාන්තර පද්ධති එළි කිරීම හා වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි එකිනෙකට ඈදුණු වනාන්තර පද්ධතියක් ලෙස පිහිටන වනාන්තර එළි කර සූර්ය බලාගාර ඉදි කරන බැවින් සිදු විය හැකි අහිතකර බලපෑම් විශාල මට්ටමක පවතින බැවින් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව මහජන අදහස් මත පදනම් ව අනුමැතිය ලබා දීම සිදු විය යුතු ය. එසේ නොමැති ව මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තා මත පදනම් ව මහජන අදහස් ලබා ගැනීමකින් තොර ව අනුමැතිය ලබා දිය නොහැකි ය. එසේ කළ හැකි වන්නේ අල්ලසට මධ්‍යම පරිසර අධිකාරිය යටත් වීමෙන් පමණි. එසේ හෙයින් සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය එක් ව සිදු කරන මෙම වංචාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.
මේ ජාවාරම් සියල්ල සමාගම් විසින් සිදු කර ඇත්තේ සුනිත්‍ය බලශකිත් අධිකාරිය, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යන සියලු ආයතනවල දැනුවත් භාවය මත ය. නමුත් වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීම තුළින් මේ සියල්ල යටපත් කර තිබේ. දැනුවත් ව හෝ නොදැනුවත් ව පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති ද මේ සියල්ලේ ම ගොදුරක් බවට පත් ව ඇත.



දණ්ඩ නීති සංග්‍රහයේ පස්වන පරිච්ඡේදයේ 100 වන වගන්තියට අනුව මෙලෙස අල්ලස් ලබා ගත් කිසිදු නිලධාරියකුට සැඟවී සිටිය නොහැක. නීත්‍යානුකූල නොකර හැරීමක් සඳහා ඕනෑකමින් ම උපකාර කරන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවකට අනුබල දීමක් වේ. දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියේ සිට 161 වන වගන්ති දක්වා විස්තර කරන ආකාරයට එල්ලෙන විදුලි වැට ඉදි කිරීම සඳහා සෝලා සමාගම් පහෙන් මුදල් ලබා ගැනීම වක්‍ර මාර්ගික ව ලබා දුන් තුටු පඩුරක් ලෙස සැලැකිය හැකි ය. එම තුටු පඩුර ලබා ගෙන දිස්ත්‍රික් ලේකම් ඇතුළු ව මෙම රාජ්‍ය ආයතන විසින් සෝලා සමාගම් සිදු කරන දැවැන්ත විනාශයන් යටපත් කර තිබේ. අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර එළිකර සිදු කරන අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම, ඒ තුළින් ජනතාව අවතැන් කර ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම, ජාතික පාරිසරික පනත උල්ලංඝනය කර පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියෙන් නිදහස් වීම, ජනතා විරෝධය ඇති වීම වැළැක්වීම සඳහා ජනතාවට සෝලා ව්‍යාපෘති පිළිබඳ ව නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථාව අවහිර කිරීම යන සියල්ල මෙම සමාගම්වල අල්ලසට යට වී සිදු කළ දෑ වෙති. ඉන් නොනැවතී ජනතා ගේ බදු මුදල් වලින් රුපියල් කෝටි 1.5 කට වැඩි මුදලක් සෝලා බලාගාර පිහිටි ප්‍රදේශවලින් අලි – ඇතුන් පළවා හැරීමට වියදම් කිරීම ද සිදු කර ඇත. මේ සියල්ල ම පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් සිදු කර වරදකරුවන් වන සියලු පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දිය යුතු ය. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූවේ මෙවන් වංචා හා දූෂණ වැළැක්වීමට ජනතාවට පොරොන්දු දීම හා විශ්වාසය ඇති කිරීම මත ය. එය ඒ අනුව තහවුරු කළ යුතු ව ඇත.
අලි – ඇතුන් ගේ රක්ෂිත ඉඩම් සෝලා සමාගම් වෙනුවෙන් මහවැලි අධිකාරියෙන් කොල්ල කෑම
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ගේ පාලන සමය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා ලුණුගම්වෙහෙර, උඩවලව හා බුන්දල ජාතික වනෝද්‍යාන ත්‍රිත්වය ඒකාබද්ධ කිරීමට හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සැලැසුම් කිරීම 2010 වසරේ දී ගජමිතුරෝ වැඩසටහනට සමගාමී ව සිදු විය. එමඟින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින බව අධ්‍යයන මගින් අනාවරණය විය. ඒ අනුව 2011 වසරේ දී මේ සැලැසුම අනුමත කළ නමුත් මහවැලි අධිකාරියේ හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ගේ බලපෑම මත මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම නතර කර තිබුණි. මේ නිසා ගොවි ජනතාව ගේ දැඩි බලපෑම මත 2021 වසරේ පෙබරවාරි මස 22 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර 23,747 ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.
එහි දී මහවැලි අධිකාරියේ බලපෑම මත යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් නැතහොත් අක්කර 5750 ක් පමණ ඉවත් කර මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම සිදු විය. ඒ අනුව සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ 2021 අප්‍රේල් මස 9 වන දින අංක 2222/62 දරන ගැසට් නිවේදනය මගින් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති හෙක්ටයාර 23746.55 ක් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරින. එහි දී රක්ෂිතයෙන් ඉවත් කළ අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර සියල්ල ම සූර්ය බලාගාර ඉදි කිරීමට හා ගල්වලවල් පවත්වාගෙන යාමට මේ වන විට මහවැලි අධිකාරියෙන් බදු දී තිබේ. මෙම වනාන්තර විනාශය හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ කිසිදු ප්‍රතිලාභයක් ගොවි ජනතාවට ලබා ගත නොහැකි වී ඇත. සිදු වී ඇත්තේ ගොවි ජනතාව අලි – මිනිස් ගැටුමේ දැවැන්ත ගොදුරක් බවට පත් වීම පමණි.
මේ තත්ත්වය නිවැරදි ව අවබෝධ කර ගෙන වර්තමාන රජය කළ යුතු ව තිබුණේ මෙම වන විනාශය නතර කර අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කර අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හා මිහිකත පරිසර ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට විද්‍යාත්මක විසඳුම් ලබා දීම ය. නමුත් ඒ වෙනුවට සිදු වන්නේ සූර්ය බලාගාර සඳහා වනාන්තර ඉඩම් විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව ද අඛණ්ඩ ව අවස්ථාව ලබා දීම ය. ඒ තුළින් ගොවි ජනතාව හා වගා බිම් සියල්ල අලි – ඇතුන් ගේ ගොදුරක් බවට පත් කර ගොවි ජනතාව අවතැන් කිරීම සිදු කර ඇත.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංක්‍රාන්ති යුක්ති මූලධර්මය උල්ලංඝනය කර සමාගම් වෙනුවෙන් සකස් කළ විනාශකාරී සැලැසුම
2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 12(1) වගන්තියට අනුව සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපිත කිරීම සඳහා වන ප්‍රදේශ ගැසට් නිවේදන මගින් වෙන් කිරීම සිදු කර ඇත. ඒ අනුව ප්‍රකාශිත 2008 පෙබරවාරි මස 26 දින අංක 1538/22 දරන ගැසට් නිවේදනය, 2009 දෙසැම්බර් මස 15 වන දින අංක 1632/10 දරන ගැසට් නිවේදනය හා 2014 අප්‍රේල් මස 17 වන දින අංක 1858/2 දරන ගැසට් නිවේදන මගින් සූර්ය බලාගාර සඳහා භූමි ප්‍රදේශ වෙන් කර තිබේ. එහි දී ස්වාභාවික සම්පත්වලට හා ප්‍රජාවට බලපෑම් ඇති නොවන ආකාරයෙන් යෝග්‍ය ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පරිසර නීති මූලධර්ම හෝ ජාත්‍යන්තර සම්මුතීන් කිසිවක් පිළිබඳ ව අවධානයට ලක් කර නොමැත.
විශේෂයෙන් ම සුනිත්‍ය බලශක්තිය හා බැඳුණු සංක්‍රාන්ති යුක්ති මූලධර්මය උල්ලංඝනය කරමින් මෙම ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කර තිබේ. සුනිත්‍ය බලශක්තිය හා බැඳුණු සාධාරණ සංක්‍රාන්තිය යනු සුනිත්‍ය බලශක්තිය සඳහා පරිවර්තනය වීමේ දී ආර්ථික වශයෙන් බලපෑමට ලක් වන, අවතැන් වන හා අයිතිවාසිකම් අහිමි වීමට ලක් වන ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් සාධාරණත්වය හා යුක්තිසහගත බව සහතික කිරීම මෙන් ම අසමානතා හා සෘණාත්මක බලපෑම් ඇති වීම වැළැක්වීමයි. එපමණක් නොව ඒ සඳහා තීරණ ගැනීමේ යාන්ත්‍රණයේ කේන්ද්‍රයේ බලපෑමට ලක් වන සියලූ ම පාර්ශවයන් නියොජනය කර වීම යි.
මෙය පැරිස් ගිවිසුමේ සඳහන් සංකල්පයකි. 2015 දෙසැම්බර් 12 දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන් ගේ 21 වන සමුළුවේ දී සාමාජික රටවල් 196 ක් විසින් සම්මත කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම 2016 සැප්තැම්බර් 21 වන දින අපරානුමත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව එහි විශේෂයෙන් සඳහන් මෙම සාධාරණ සංක්‍රාන්තිය නම් සංකල්පයීය මූලධර්මය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. නමුත් ඒ පිළිබඳ ව කිසිදු ආකාරයක අවධානයට ලක් කිරීමකින් තොර ව සමාගම්වලට අවශ්‍ය පරිදි සුනිත්‍ය බලශක්ති ප්‍රභව ස්ථාපිත කිරීමට නෛතික රාමුව සකස් කිරීම සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් සිදු කර ඇත.
සෝලා සමාගම් විසින් ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශක මූලධර්ම උල්ලංඝනය කිරීම
සූර්ය බලශක්ති සමාගම් විසින් අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් වලව වම් ඉවුර යටතේ සංවර්ධනය කළ මයුරපුර කොට්ඨාශය මෙන් ම ගොන්නෝරුව හා මීගහජදුර යන ප්‍රදේශ දරුණු අලි – මිනිස් ගැටුමකට ගොදුරු කර ඇත. මයුරපුර කොට්ඨාශයේ ගොවි පවුල් 5365 ක් පමණ පදිංචි වී ගොවිතැනේ නිරත වේ. මෙම සියලූ ම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට කෘෂිකර්මාන්තයේ නිරත වීමට හා ජනාවාසවල ජීවත් වීමට ඇති අවස්ථාව සූර්ය බලශක්ති සමාගම් විසින් අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම නිසා අහිමි කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට අදාළ 14 වන ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සූර්ය බලශක්ති සමාගම් විසින් ජනතාවට අහිමි කර ඇත. ඒ සඳහා මෙම සමාගම් යොමු කිරීම මහවැලි අධිකාරිය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක් ව සිදු කර තිබේ. මෙය ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශක මූලධර්ම උල්ලංඝනය කිරීමකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ව්‍යාපාර හා මානව හිමිකම් සඳහා මාර්ගෝපදේශක මූලධර්ම 2011 ජුනි 16 වන දින ඒකමතික ව අනුමත කර තිබේ. මූලධර්ම 31 කින් සමන්විත මෙම මාර්ගෝපදේශ මගින් මානව හිමිකම් සහ මූලික නිදහසට ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම සඳහා රාජ්‍යය සතුව පවතින බැදීම්, අදාළ වන සියලු නීතිවලට අනුකූල වීම සහ මානව හිමිකම්වලට ගරු කිරීමේ සමාගම්වල කාර්යය භාරය මෙන් ම ව්‍යාපාර ආශ්‍රිත අපයෝජනයන්ට ගොදුරු වූවන්ට පිළියම් ලබා ගැනීමේ ප්‍රවේෂය පිළිබඳ ව අවධානය යොමු කර ඇත.
මේ අනුව රජය විසින් ව්‍යාපාරික ප්‍රජාව රටේ ජනතාව ගේ මානව හිමිකම් ආරක්ෂා කරන බවට වගබලා ගැනීම හා එසේ කඩ වන අවස්ථාවල දී ඊට නීතිමය පියවර ගත යුතු බව අවධාරණය කර තිබේ. රජය ව්‍යාපාරික ප්‍රජාව සමඟ ගිවිසුම්වලට එළැඹීමේ දී මානව හිමිකම් ආරක්ෂා වන බවට වගබලා ගත යුතු අතර ඒවා පිළිපදින බවට සහතික විය යුතු ය. එපමණක් නොව ව්‍යාපාරික ප්‍රජාව මානව හිමිකම්වලට ගරු කළ යුතු අතර ඒවා උල්ලංඝනය නොවීමට කටයුතු කළ යුතු බව මාර්ගෝපදේශවල සඳහන් වේ. නමුත් මේ සියල්ල සෝලා සමාගම් සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා මහවැලි අධිකාරිය එක් ව ජනතාවට අහිමි කර ඇත.
නියගය හා කාන්තාරීකරණය පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය උල්ලංඝනය කර සෝලා සමාගම් ශුෂ්ක කලාපය වැනසීම
හම්බන්තොට යනු සූර්ය බලාගාර සඳහා සුදුසු කලාපයක් ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුනා ගැනුන ද මෙරට ශුෂ්ක කලාපයට අයත්, වර්ෂාපතනය අවම මෙම ප්‍රදේශය සංවර්ධනය සඳහා භාවිත කිරීමේ දී එහි වනාන්තර පරිසර පද්ධතිවල සුරක්ෂිතතාවය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. එසේ නොවුනහොත් වර්ෂාපතනය නොලැබීම හා අඩු වර්ෂාපතනයකින් ලැබෙන ජලය භූගත කිරීමේ යාන්ත්‍රනය බිඳ වැටී උග්‍ර ජල අර්බුධ ඇති විය හැකි ය.
ඒ සඳහා නියගය හා කාන්තාරීකරණය පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය වැදගත් වේ. රියෝ සමුළුවේ සෘජු නිර්දේශ මත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සකස් කළ මෙම සම්මුතිය 1996 දෙසැම්බර් 26 වන දින සිට බලාත්මක විය. මෙම සම්මුතිය 1998 දෙසැම්බර් 09 වන දින අපරානුමත කළ රටක් ලෙස ඊට එකඟ ව කටයුතු කිරීමට අප බැදී සිටී. ඒ පිළිබඳ ව අවධානය යොමු නොකළ හොත් සිදු වන්නේ සම්මුතිය උල්ලංඝනය කිරීම පමණක් නොව හම්බන්තොට ජනතාව උග්‍ර ජල අර්බුධයකට හා දරිද්‍රතාවයකට මුහුණ දීම ය.
මෙය පරිසරය සහ සංවර්ධනය තිරසාර ඉඩම් කළමනාකරණයට සම්බන්ධ කරන එක ම නීත්‍යානුකූල ජාත්‍යන්තර ගිවිසුමයි. මෙම සම්මුතිය විශේෂයෙන් ශුෂ්ක, අර්ධ ශුෂ්ක සහ වියළි කලාපය පිළිබඳ ව අවධානය යොමු කර තිබේ. එහි දී වඩාත් අවදානමට ලක් විය හැකි පරිසර පද්ධති සහ මිනිසුන් පිළිබඳ අවධානය යොමු කර ඇත. කාන්තාරකරණය හා භූමිය හායනය ආපසු හැරවීමට, වැළැක්වීමට සහ නියඟයේ බලපෑම් අවම කිරීම සඳහා ගෝලීය හවුල්කාරිත්වයක් ඇති කිරීම මෙන් ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල දරිද්‍රතාවය අවම කිරීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා සහාය වීම සඳහා මෙම සම්මුතිය ගොඩනංවා ඇත.
නමුත් හම්බන්තොට ශුෂ්ක කලාපය කාන්තාරීකරණයට ගොදුරු වන ප්‍රදේශයක් බවට පත් කිරීමට සෝලා සමාගම්වලට අවස්ථාව ලබා දීමෙන් පෙනී යන්නේ මෙම ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ ව අවබෝධයකින් තොර ව මෙරට රාජ්‍ය ආයතන කටයුතු කරන බව ය.
නිවාරණ හා තිරසර සංවර්ධන මූලධර්ම උල්ලංඝනය කර ගොවි ජනතාව අලි – මිනිස් ගැටුමට ගොදුරු කිරීම
පරිසරයේ අඛණ්ඩ තුළිත පැවැත්මට බලපෑම් ඇති විය හැකි ඕනෑ ම සංවර්ධන ක්‍රියාවලියකින් සිදු වන අහිතකර බලපෑම් පුරෝකථනය කර ඒ සඳහා විකල්ප හෝ හානි අවම ක්‍රමවේද හෝ හානිපූරණ ක්‍රමවේද සකස් කිරීමට නිවාරණ මූලධර්මය වැදගත් වේ. මෙම මූලධර්මය රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස අර්ථ නිරූපණය කර ඇත්තේ, ඉතා හානි කර හෝ හානිපූරණය නොවන බලපෑම් ඇති වන අවස්ථාවක දී පරිසර හානිය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීම, ප්‍රාග්ධනය නොමැති වීම හෝ පූර්ණ විද්‍යාත්මක විනිශ්චයන් නොමැති වීම හා තොරතුරුවල අඩුපාඩු යන කරුණු මත සිදු නොවිය යුතු ය, යනුවෙනි. මෙම මූලධර්මය පුළුල් පරාසයක අර්ථකතනයකට ලක් කර ඇත්තේ 1998 වසරේ දී නිවාරණ මූලධර්මය හා සම්බන්ධ වින්ග්ස්ප්‍රේඩ් සමුළුවේ දී ය.
එම අර්ථකතනයට අනුව යම් ක්‍රියාකාරකමක් මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට හානි කිරීමේ තර්ජන මතු කරන විට, යම් හේතුවක් හා ඵලදායී සම්බන්ධතා විද්‍යාත්මක ව සම්පූර්ණයෙන් ස්ථාපිත කර නොතිබුණ ද පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම සංදර්භය තුළ යම් ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නා මහජනයාට වඩා ඔප්පු කිරීමේ භාරය දැරිය යුතු ය. නිවාරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විවෘත, දැනුම්වත් සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර බලපෑමට ලක් විය හැකි පාර්ශවයන් ද ඇතුළත් විය යුතු ය. යම් ක්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ පරාසයක විකල්ප පරීක්ෂා කිරීම ද ඊට ඇතුළත් විය යුතු ය. මෙම මූලධර්මය මත පදනම් ව ශ්‍රී ලංකාවේ පාරිසරික නීති පද්ධතියට පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලිය ගොඩනගා ඇත.
එම ක්‍රියාවලිය සෝලා සමාගම් උල්ලංඝනය කිරීමෙන් සහ ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා මහවැලි අධිකාරිය යන රාජ්‍ය ආයතන සහය ලබා දීමෙන් පෙනී යන්නේ ජාත්‍යන්තර පාරිසරික නීති මූලධර්ම අභියෝගයට ලක් කිරීම පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ද රාජ්‍ය ආයතන විසින් ම බිඳ දැමීම සිදු කර ජනතාව පීඩාවට පත් කර ඇති බව ය.
නිවාරණ මූලධර්මය පමණක් නොව තිරසර සංවර්ධන මූලධර්මය ද සෝලා සමාගම් තිරසර නැතහොත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපිත කිරීමේ දී අභියෝගයට ලක් කර ඇත. 1987 වසරේ දී බෲඩ්ලන්ඩ් කොම්සම විසින් සකස් කරන ලද “අපේ පොදු අනාගතය” නම් වාර්තාවේ තිරසර සංවර්ධනය යන්න පළමු ව සාකච්ඡා කර ඇත. සීමිත ස්වාභාවික සම්පත් වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවන් වෙනුවෙන් නිවැරදි පරිදි කළමනාකරණය කිරීම සඳහා මෙම මූලධර්මය වැදගත් වේ. රියෝ ප්‍රකාශනයේ 4 වන මූලධර්මය ලෙස මෙය විස්තර කර ඇත්තේ, සංවර්ධනය මුදුන් පමුණුවා ගනු පිණිස, පාරිසරික ආරක්ෂාව සංවර්ධන ක්‍රියාවලියේ අවශ්‍ය අංගයක් බවට පත් විය යුතු අතර එය ඉන් වෙන් කොට සැලකිය නොහැකි බව ය. තිරසර සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා සමාජ, ආර්ථික හා පාරිසරික යන අංශ තුනෙහි ම තිරසර භාවයක් අවශ්‍ය වේ. නමුත් හම්බන්තොට සෝලා බලාගාර ස්ථාපිත කිරීමේ දී අවධානයට ලක් කර ඇත්තේ ආර්ථිකමය කරුණ පමණි. සමාජය හා පරිසරය යන දෙක ම විනාශයට ලක් කර ඇත.
එබැවින් වනාන්තර විනාශ කර, දේශගුණික විපර්යාස ඇති කර, අලි – මිනිස් ගැටුම වර්ධනය කර, ගොවි ජනතාව අවතැන් කර සිදු කරන සූර්ය බලාගාර ව්‍යාපෘති තිරසර සංවර්ධනය හෝ තිරසර බලශක්ති උත්පාදන ක්‍රියාවලියක් විය නොහැකි බව අවධාරණය කළ යුතු ය.
මහජන භාර සිද්ධාන්තය උල්ලංඝනය කර සෝලා සමාගම් පෝෂණය කිරීම
රජය විසින් වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් ස්වාභාවික සම්පත්වල භාරකාරීත්වය දැරීම මහජන භාර සිද්ධාන්තය මගින් විස්තර කෙරේ. මහජන භාර නැතහොත් පොදු භාර සංකල්පයේ මූලාරම්භය රෝමානු නීතියේ පොදු දේපළ සංකල්පය අතරින් හඳුනාගෙන තිබේ. රෝම නීතියට අනුව වාතය, ගංඟා, මුහුද සහ වනාන්තර ආදී ස්වාභාවික වස්තූන් මහජනතාව ගේ පොදු පරිහරණය සඳහා පැවතිය යුතු වස්තූන් ය. ඊට පෞද්ගලික අයිතිවාසිකම් කිව නොහැකි ය. විශේෂයෙන් ම මෙම පොදු දේපළ පොදුවේ පවතින ස්වාභාවික සම්පත් මහජනතාවට නොමිලේ සහ බාධාවකින් තොර ව භාවිත කිරීම සඳහා රජය භාරයේ පැවතිය යුතු බව රෝම නීතියේ සඳහන් වේ. ඉංග්‍රිසි නීතියේ මීට සමාන සංකල්පයක් සඳහන් වේ.
පොදු භාවිත භූමියේ අයිතිය ජනතාව සතු වන බව නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර ඇත. ඇමරිකාවේ මිචිගන් විලේ කොටසක් ගොඩ කර ඒ හරහා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට එරෙහි ව 1883 වසරේ දී ගොණු කළ නඩුවට අදාළ තීන්දුව 1892 වසරේ දී ලබා දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ රජය මහජනතාව ගේ සුබසිද්ධිය සඳහා පස හා ජලය වැනි පොදු දේපොළ යම් පුද්ගලයකු ගේ පෞද්ගලික පරිහරණය සහ පාලනය සඳහා ලබා නොදිය යුතු බවත් රජය ජනතාව ගේ සුබසිද්ධිය සඳහා රටේ ස්වාභාවික සම්පත් පවත්වා ගෙන යා යුතු බවත් ය.
මීට අමතර ව, ස්ලෝවැකියාව හා හංගේරියාව යන රටවල් අතරින් ගලා යන ඩැනියුබ් ගඟේ වේලි ඉදි කිරීම හා ජලය ලබා ගැනීම පිළිබඳ ව 1977 වසරේ දී ඇති වූ ගැටළුවට අදාළ ව ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 1997 වසරේ දී ලබා දෙමින් විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි විසින් මිහිදු මාහිමි හා දේවානම් පියතිස්ස රජු අතර ඇති වු සංවාදයේ කරුණු පදනම් කර ගෙන, “රජය රටේ ස්වාභාවික සම්පත්වල අයිතිකරු නොව භාරකරු පමණි” යන පොදු භාර නැතහොත් මහජන භාර සංකල්පය මත පදනම් ව නඩු තීන්දුව ලබා දී තිබේ. එප්පාවල පොස්පේට් නීධියට අදාළ නඩු තීන්දුවේ ද මහජන භාර සිද්ධාන්තය ඩැනියුබ් ගඟේ නඩු තීන්දුව උපුටා දක්වමින් ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, රටේ ස්වාභාවික සම්පත් වල අයිතිය ජනතාව සතු බවත්, රජයට ඇත්තේ ජනතාව වෙනුවෙන් එහි භාරය දැරීම හා එම සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම පමණක් වන බව ය. එහි දී රජු රටේ සම්පත් වල භාරකරුවා මිස හිමිකරු නොවන බවත්, එම සම්පත් භාරකරුට විනාශ කිරීමට හෝ අන්සතු කිරීමට බලයක් නොමැති බවත්, ඒවා ආරක්ෂා කිරීමේ වගකීමේන් බැදී සිටින බවත් නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේ නමුත් අලි – ඇතුන් ගේ වාසස්ථාන වන හම්බන්තොට වනාන්තර සියල්ල සෝලා සමාගම්වල භාරයට නතු කර ඇත්තේ ජනතාවට පොදු භාවිත සම්පත්වල අයිතිය අහිමි කර එම අයිතිය සමාගම්වලට ලබා දෙමිනි. මෙය ප්‍රගතිශීලී ආණ්ඩුවක් ලෙස බලයට පත් වූ ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරිසරය සුරැකීමේ රජයේ වගකීම සෝලා සමාගම් වෙනුවෙන් පාවා දීම ආපසු හැරවිය යුතු ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය.” ඒ අනුව සියලූ ම රාජ්‍ය ආයතන විසින් පරිසරය ආරක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට, නීති හා අණ පනත් ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් නීති හා අණ පනත් සකස් කිරීම ද සිදු කළ යුතු ය. පරිසරයේ පැවැත්මට බලපෑම් නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීම මෙන් ම ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවේ යෙදවීමට ද සියලූ ම රාජ්‍ය ආයතන බැඳී සිටී. මෙය තව දුරටත් තහවුරු කර ඇත්තේ යාපනයේ, චුන්නාකම් තාප විදුලි බලාගාරයෙන් සිදු වන මහජන පීඩාකාරී තත්ත්වයට අදාළ නඩුවේ තීන්දුව 2019 වසරේ දී ලබා දීමේ දී ය.
එහි දැක්වෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ දැක්වෙන 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම, නීතියේ රැකවරණය හා නීතිය පසිදලීම සර්ව සාධාරණ විය යුතු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය යන්න අර්ථ නිරූපනය කරන විට පරිසරය දූෂණය කිරීමට හෝ පිරිහී යාමට හේතු වන හෝ අවසර දෙන නීති විරෝධී, අන්තනෝමතික ක්‍රියාවන්ගෙන් හෝ අතපසුවීම් වලින් නිදහස් වීමට පුරවැසියන්ට මූලික අයිතියක් ඇත.
ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් හම්බන්තොට සෝලා බලාගාර සඳහා ලබා දී ඇති හානිකර හා නීති විරෝධී අනුමැතීන් නැවත සමාලෝචනය කිරීමට හැකියාව ඇත. ඒ අනුව අලි – ඇතුන් ගේ වාසස්ථාන විනාශ කර අලි – මිනිස් ගැටුම් වර්ධනය කරන සියලූ ම සෝලා බලාගාර ව්‍යාපෘති අත්හිටුවා එම වනාන්තර පද්ධති වන අලි කළමනාකරණ රක්ෂිතය හා සම්බන්ධ කළ යුතු ය. එමගින් අලි – මිනිස් ගැටුම පමණක් නොව වන සතුන් වගා බිම්වලට පිවිසීම පාලනය කර ගැනීම මෙන් ම කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ජල මූලාශ්‍රවල ජල පෝෂකවල සුරක්ෂිතතාව ද ඇති කර ගත හැකි ය. එපමණක් නොව වනාන්තර පද්ධතිවල සුරක්ෂිතතාව ඇති කිරීමෙන් දේශගුණික විපර්යාස ඇති වීම පාලනය කර ගත හැකි ය. එමගින් ජනතාව ගේ කෘෂිකර්මාන්තය හා ආහාර ස්වෛරීභාවය තහවුරු කළ යුතු වේ. එපමණක් නොව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 12(1) වගන්තියට අනුව ප්‍රකාශිත ගැසට් නිවේදන නැවත විමසුමට ලක් කළ යුතු ය. පාරිසරික මූලධර්ම මත පදනම් ව සුනිත්‍ය බලශක්ති ප්‍රභව ස්ථාපිත කිරීමට සුදුසු ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන පනතේ 12(1) වගන්තියට අනුව ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කළ යුතු ය. එමගින් ජන දිවිය, පරිසරය හා බලශක්ති ස්වෛරීභාවය යන සියල්ල ආරක්ෂා කිරීමට කටයුතු කළ හැකි බව වත්මන් ආණ්ඩුවට අවධාරණය කරමු.






