අලි-මිනිස් ගැටුම දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහ නමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක පමණ ව්‍යාප්තවී ඇති සංකීර්ණ සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවකි. එබැවින් එම ගැටළුව විසඳීම සඳහා අලි අගල් වැනි භෞතික බාධක ඉදිකිරීමෙන් එහා ගිය තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් අවශ්‍ය බව අප පෙන්වා දුන්නේ කලක සිටය. නමුත් ඒ බව කනකට නොගත් බලධාරීන් තවමත්ගේ අත්තනෝමතික, අමනෝඥ හා අවිද්‍යාත්මක ක්‍රියාකලාපය විසින් මෙරට අලි-මිනිස් ගැටුම ඉබාගාතේ යවමින් සිටින්නේ අලි-මිනිස් ජීවිත කබලෙන් ලිපට තල්ලු කරමිණි.
අලි අගල් ප්‍රෝඩාව
අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගන්නා බොහොමයක් පිළියම් යල්පැනගිය අසාර්ථක ඒවාය. මෑතකදී කරළියට පැමිණි අලි ඇතුන් ජාතික උද්‍යාන වලට ගාල් කෙරෙන පරිදි අලි අගල් හෑරීමද එවැන්නකි. නමුත් වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් නව ආරකින් මෙම යල්පැනගිය ව්‍යාපෘතිය දියත් කෙරුණේ අලි-මිනිස් ගැටුම විසඳීමේ සැබෑ ඕනෑකම නිසා නොව පස් ජාවාරම් කරගැනීමට බව අප අවධාරණය කළෙමු.
අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන තම මඩි තරකර ගන්නා ශ්‍රී ලංකාවේ තුප්පහි පාලකයන් නිසා අලින්ට මිනිසුන්වත්, මිනිසුන්ට අලින්වත් පෙන්නන්නට බැරි ගානය. මේ නිරන්තර අරගලය හේතුවෙන් ඉකුත් වසරේදී පමණක් මෙරට මරණයට පත්වූ අලි ඇතුන් සංඛ්‍යාව 375කි. වන අලි පහරදීම හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 142කි. මෙම සංඛ්‍යා සරල ගණිතයෙන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ එක් දිනකට මෙරට එක් අලියෙකුට වඩා අපට අහිමිවන බවය. සෑම සතියකම අඩුම තරමේ අසරණ මිනිස් ජීවිත දෙකක් වත් වන අලි ප්‍රහාර හේතුවෙන් රටට අහිමිවන බවය. නමුත් ඒ හේතුව නිසාවත් අලි-මිනිස් ගැටුම ධනෝපායන මාර්ගයක් කර නොගෙන එයට ස්ථිරසාර විසඳුමක් සෙවීමට බලධාරීන් සහ නිලධාරීන් යොමුවී නැති බවට ආසන්නතම සාක්ෂිය වූයේ අලි අගල් ප්‍රෝඩාව ය. නමුත් මෙම ප්‍රෝඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ සහ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක FR/66/2022 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කෙරිණි. ඉකුත් සඳුදා (28) දින එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අගල් කැපීම නතර කිරීමට පියවර ගන්නා ලෙස අදාළ සියලුම අංශ දැනුවත් කරන බව නීතිපති වරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ විය.
මෙරට අලි-මිනිස් ගැටුම සාධනීය මට්ටමකින් අඩුකරගැනීමට ඇති කාලය කා දමමින්, වන අලි සංරක්ෂණයට බරපතල බලපෑම් ඇති කරමින් සහ මෙරට ඉතා වැදගත් ජාතික උද්‍යාන ගණනාවක් පස් ජාවාරම්කරුවන්ට නතු කරමින් සිදු කෙරුණු මෙම අලි අගල් ප්‍රෝඩාවට පමාවී හෝ තිත තැබීමට හැකිවීම සතුටට කරුණකි. නමුත් අසාර්ථක බව දැන දැනම වනජීවී සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය මෙවැනි විනාශයක ඇද දැමූ බලධාරීන් සහ නිලධාරීන් කිසිඳු කිසිඳු දණ්ඩනයකට යටත් නොවීම කණගාටුවට කරුණකි. තවද අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා සුදුසු ඉදිරි පියවරක් තෝරාගැනීම සම්බන්ධයෙන් තවමත් බලධාරීන් සිටින්නේ අඳුරේ අතපත ගාමින් වීම දෛවයේ සරදමකි.
අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා යෝජිත සාධනීය සැළසුම් හැමස්පෙට්ටියේ සඟවාගෙන ඔවුන් නැවත නැවතත් මහජන මුදල් කාබාසිනියා කිරීමට කැස කවයි නම් එය කුමන අභාග්‍යයක්ද? අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා බලධාරීන් ඊළඟට ගණු ලබන පියවර කුමක්ද යන්න විමසා බලන විට එම කුප්‍රකට උත්සාහයේ පෙර නිමිති ඉතා සරලව පිළිබිඹු වේ. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කරන්නේ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා පිළිගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් දැනට හඳුනාගෙන ඇති හා ඉදිරියේදී හඳුනාගනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව පමණක් ඉදිරි පියවර ගන්නා බවය. ස්තිරසාර විසඳුමක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් හඳුනාගෙන ඇති හා හඳුනාගනු ලබන උපායමාර්ගයන් අනුගමනය කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන බවය. එහි “නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම” යන වාක්‍යාංශය ලියුම්කරු නැවතත් සඳහන් කරන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මහජන මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ තක්කඩිකම් පැහැදිලිකර දීමටය.
මෙරට අලි ඇතුන් සහ අසරණ මිනිසුන් සිය ගණනක් මරණයට පත්වූ ඉකුත් වසර මුළුල්ලේ පවා බලධාරීන් “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” සඟවාගෙන සිටි බව ඔබ දන්නවාද? ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝග මත 2020 ජූලි 22 දින පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු උක්ත ක්‍රියාකාරී සැලැස්ම එම වසරේම දෙසැම්බර් 17 දින ඔහු වෙත ඉදිරිපත් කරන ලදී. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසකගෙන් සමන්විතවූ මෙම කමිටුව මගින් සකස් කෙරුණු සැලැස්ම ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත.
ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු ප්‍රධාන කමිටුව මගින් සකස්කළ “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” වසරකට අධික කාලයක් හැමස්පෙට්ටියේ සිරකරගෙන සිටින රේඛීය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් සෝමරත්න විදානපතිරණත් “නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම” ගැන කතා කිරීමේ ව්‍යංගාර්ථය කුමක්ද? මෙය ඔහු නොදැනුවත්ව සිදුකළ ප්‍රකාශයක්ද? පිළිතුර “නැත” යන්නය. එමගිනුත් යළි යළිත් ප්‍රකට වන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මහජන මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ තක්කඩිකම්මය.
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම ඔඩු දිවීමට අක්‍රමවත් භූමි පරිභෝජන රටාව සහ අවිචාරවත් සංවර්ධන කටයුතු හේතුවූ බව සැබෑය. ඒ සඳහා ආණ්ඩු සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සෘජුව වගකිවයුතු ය. තවද මෙම නිරන්තර ගැටුම තමන්ගේ මඩි තරකරගනීමේ උපායක් බවට පත්කරගැනීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ටද චෝදනා එල්ලවේ. දශක ගණනාවක් තිස්සේ අසාර්ථක ක්‍රමෝපායන් යළි යළිත් යොදාගෙන අලි-මිනිස් ගැටුම් අවමකිරීම වෙනුවට උත්සන්න කිරීමට දායකවූ පිරිස අතර ඔවුන්ද පෙරමුණේ වෙති. රටේ විධායක ජනාධිපතිගේ නියෝගයෙන් සකස් කෙරුණු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් පවා ක්‍රියාත්මක නොවන තැනට වැඩ සලස්වා ඔවුන් අගල් වැනි ප්‍රෝඩාකාරී ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම ඊට කදිම නිදසුනකි. එවැනි නිලධාරීවාදයක් ක්‍රියාත්මකවන රටක අලි ඇතුන්ද මනු සතුන්ද මොවුන්ට මුදල් උපයන මාර්ග විනා වටිනා ජීවිත නොවේ.
අපේ රටේ දුප්පත් අහිංසක ගැමි ජනතාව මෙන්ම අලි ඇතුන්ද කබලෙන් ලිපට ඇද දමන අලි-මිනිස් ගැටුම පිටු දැකීමට නම් කළයුත්තේ ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර “ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්ම” වහා වහා ක්‍රියාත්මක කිරීමය. නමුත් ඒ වෙනුවට බලධාරීන් සිදුකරන්නට යන්නේ “ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ දේශීය වශයෙන් හඳුනාගෙන ඇති හා හඳුනාගනු ලබන උපායමාර්ග” සොයමින් තවත් කල් මැරීම බව අමාත්‍යාංශ ලේකම්වරයාගේ කරුණු දැක්වීම අනුව පැහැදිළිය. ඉදින්, ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය තවදුරටත් යන්නේ ඉබාගාතේ බවට තවත් සාක්ෂි සාධක අවශ්‍යද?