රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය පත්කළ දවස්වල ඊට එල්ලවූ එක් චෝදනාවක් වූයේ ජාතික ජනබලවේගයේ සැන්ටැඹියන් ඊට පත්කර ගත් බවයි. මා ද ඒ අනුමණ්ඩලයේ සාමාජිකයකු බැවින් විටින් විට එබඳු චෝදනාවලට ලක්වූයෙමි . සාහිත්‍ය අනුමණ්ඩලය ඔස්සේ ක්‍රියාවට නැංවෙන විවිධ කටයුතු සඳහා මම හැකි පමණ උදව් කළෙමි. එහි සභාපතිවරයා ද ඇතුළු අනෙක් සාමාජිකයන් සාහිත් යේ ප්‍රගමනය පිණිස විවිධ අදහස් ඉදිරිපත් කර ඇති බව මම දනිමි .
ගුරුවරයකු ලෙස මගේ සේවාකාලය දැන් අවුරුදු තිස් හතක් පමණ වෙයි. ලංකාවේ අධ්‍යාපන පද්ධතිය යනු විටින් විට පත්වන ඇමතිවරුන්ගේ සහ ඒ පළාත්වල මහඇමතිවරුන්ගෙන් බෙහෙවින් දූෂණයට ලක් වූවකි. අද දින සමාජ මාධ්‍යජාලාවල සංසරණය වූ මහාචාර්‍ය අර්ජුන පරාක්‍රමගේ වීඩියෝවක ඒ මහතා ප්‍රකාශ කරන ආකාරයටම අපේ අධ්‍යාපනයේ ගැඹුරු පරිවර්තන කිරීමට ඒ මැති ඇමතිවරු සමත් නොවීය .එසේ ගැඹුරු පරිවර්තන කරන්නට පැමිණි ආණ්ඩුවක් මේ මොහොතේ හැසිරෙන ආකාරය ගැන නොයෙක් ප්‍රශ්න මතු වෙයි. එබඳු ප්‍රශ්න බුද්ධිමය තලයක සංවාදයට ලක් කර මහජනතාව අතරට ගෙන නොගියහොත් සිදුවන්නේ අන්තවාදී දේශපාලඥයන්ගේ සහ අන්තවාදී භික්ෂූන්ගේ අදහස් නිවැරදි දේ ලෙස ක්‍රමයෙන් මහජනතාවගේ පිළිගැනීමට ලක්වීමයි.
යම් පමණකට සාහිත්‍ය කෙරෙහි උනන්දු ගුරුවරයකු වන මට ඇති අදහසක් වන්නේ අපේ රටේ ගුරුවරුන්ගේ දේශපාලනික සවිඥානිකතාවය පක්ෂ දේශපාලනය වැනි සීමිත ප්‍රදේශයකට කොටු වී ඇති බවයි. සාමන්‍ය මට්ටමින් ගුරුවරුන් සමග හිතවත්ව කතා කරන විටත් ඇතැම් විට ගුරුවරුන් අමතා කතාවක් කිරීමට ලැබුණු විටත් මා මෙබඳු අදහස් ඔවුන් සමග හුවමාරු කර ගනිමි . එබඳු බොහෝ අවස්ථාවල මට දැනුණ දෙයක් වන්නේ ජවිපේ පක්ෂය සමග සමීප ගුරුවරුන් ප්‍රගතිශීලී බවක් පිළිගන්නා ස්වභාවයක් සාමන්‍ය් යෙන් ගුරුවරුන් අතර පවතින බවයි . ඇත්තටම එය සෑහෙන අවධානම් සහගත තත්ත්වයකි. අධ්‍යාපනය වැනි විෂයක් ගැන ඔවුන් සතුව පවතින්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂය ඔස්සේ ලබා ගත් සීමිත දැනුමක් පමණී . වර්තමානයේ නියෝජ්‍ය ඇමතිවරයකු වන මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර සහ පාර්ලිමේන්තුවට පැමිණි පසු කළ කතා ඒ බව සනාථ කරන එක් සාක්ෂියකි . මහින්ද ජයසිංහ ද ඇතුළු ඒ පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් සතුව පවතින කලාව සම්බන්ධ දැනුමද ඉතා සීමිත එකකි.
මෙබඳු අත්දැකීම් දීර්ඝ කාලයක් ලබමින් සිටි මට එන්පීපී ලෙස දේශපාලන පක්ෂයක් බිහිවීම සතුටට කරුණක් විය. ඒ දේශපාලන පක්ෂයේ ඉහළ පෙළ අදහස් දක්වන අය අතර ලියනගේ අමරකීර්ති සහ හිනිදුම සුනිල් සෙනෙවි සිටීම මගේ සතුට තවත් වැඩි කළේය . ලාල් කාන්ත වැනි කෙනෙක් සාහිත්‍ය ගැන ඉතා පටු අදහස් ප්‍රකාශ කරන විට සුනිල් සෙනෙවි ඊට වඩා ගැඹුරු තලයක් සාහිත්‍ය සතුව පවතින බව පෙන්වන සංවාද කරයි. අධ්‍යාපන ඇමතිතුමිය වන හරිනි අමරසූරිය සංවාද තලයේ සෑහෙන බුද්ධිමත් අදහස් ප්‍රකාශ කළ අවස්ථා ඇත. සිංහල ඉතිහාසය පමණක් ඉගෙන ගැනීම වෙනුවට දෙමළ, මුස්ලිම් ආදී ජාතින්ගේ ඉතිහාසයත් පොදුවේ මිනිස් වර්ගයාගේ ඉතිහසයත් ගැන අදහස් පළකිරීම එබඳු අවස්ථාවකි. එහෙත් දැන් ඇය උද්ගතව ඇති ප්‍රශ්නයට අවංකව බුද්ධිමත්ව ප්‍රවේශවනවාද යන්න සැකසහිතය .
මීට වසර ගණනාවකට පෙර ජාතික විද්ව්ත් සංවිධානයේ රැස්වීමක් අමතමින් ලියනගේ අමරකීර්ති කළ අගනා කතාවක දී Rebuilding the Left නම් පොතක් ගැන ඔහු සඳහන් කළේය . ලංකාවේ වමේ දේශපාලනය අලුතින් සිතන තැනක් බවට පත්කළ යුතු යැයි සිතන කෙනෙක් ලෙස ඒ පොත ගැන යම් කරුණු අන්තර්ජාලය ඔස්සේ මම සොයාබැලුවෙමි. සෝවියට් දේශය බිඳවැටීමෙන් ඉක්බිතිව වම මුහුණ දුන් අභියෝග ගැන ගැඹුරින් සංවාදයට ලක්කරන කෘතියක් ලෙස එය ප්‍රකටය . හුදෙක් මැතිවරණ ජයග්‍රහණය පමණක් නොව බිම් මට්ටමේ ජනතාව පාලනයට සම්බන්ධ කර ගැනීම වැනි ඉසව් ගැන ද ඒ පොත අවධානය යොමු කරන බව පෙනෙයි. එමෙන්ම දේශපාලන පක්ෂ ,සිවිල් සමාජ සංවිධාන ,බහුජන ව්‍යාපාර අතර ශක්තිමත් සබඳතා ගොඩ නගා ගැනීම වැනි කරුණු එහි දී සංවාදයට ගනියි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි තීරණාත්මක ක්‍රියාවලියක දී මේ ආණ්ඩුව ප්‍රකට කරමින් සිටින මිනිසුන්ට සවන් නොදීමේ පිළිවෙත ගැඹුරින් ප්‍රශ්න කළ යුතුය. ඒ ප්‍රශ්න කිරීම දූරදර්ශී ලෙස කළ හැකි, මිනිසුන් අතරට ගෙන යා හැකි යාන්ත්‍රණයක් ගැන සිතිය යුතුය . ඒ සංවාද එන්පීපී ආණ්ඩුකරණයේ යහපත් දේ දකින අතර දැඩි විකල්ප එළඹුම් නිර්බයව සංවාදයට ගත යුතුය. එන්පීපී ය පෙන්වන්න්ට පටන් ගෙන ඇති අසමත්කම් වෙතින් යළි රාජපක්ෂ පාලනයම හිස ඔස්වන ලකුණු නැතැයි කිව නොහැකිය .
මේ කෙටිසටහන සමග පළවන ‘ විශ්වවිද්‍යාලය යනු කුමක්ද ? කෘතිය අපට මේ මොහොතේ අධ්‍යාපනය ගැන සිතන්නට රුකුල් දෙයි. මීට වසර ගණකට පෙර ආචාර්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස උක්ත කෘතිය ගැන නුවරදී කළ දෙසුමකින් පසු සංවාදයට එක්වෙමින් මා ඇයගෙන් ඇසූ ප්‍රශ්නයක් මෙසේය.
‘ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ආචාර්‍ය අදිකාරම්, ආචාර්‍ය සුනිල් විජෙසිරිවර්ධන, මහාචාර්‍ය අමරකීර්ති වාගෙ අය ගැන දන්නවද? ‘
එබඳු අයගේ පොත්පත් කෙසේ වෙතත් සරල ගීත පොතක් අතින් ගත් මන්ත්‍රීවරියන්ගේ සේයාරුවක් නම් මෑතක දී මුහුණු පොතේ සංසරණය වෙමින් තිබිය දී මම දුටුවෙමි.
වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල






