Breaking News

ක්ෂුද්‍ර මූල්‍ය මගඩියේ උදාහරණයක් කුරුණෑගලින්

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය

අර්ථික මට්ටම අඩු යම් යම් ස්වයං රැකියා සඳහා ප්‍රාග්ධන පහසුකම් අඩු දිළිඳු ජනතාව ග්‍රහණයට හසුකර ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිලධාරී සහ සංවිධාන බොහොමයක් කොළඹ ගම්පහ වැනි වැනි දිස්ත්‍රික්ක වල ආයතන තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය ග්‍රහණයට හසු කර ගෙන තිබෙන්නේ. මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන නිලධාරීන් ගම්වලට පැමිණ අල්ලා ගන්නේ කාන්තාවන්ව ය. මෙසේ මූල්‍යමය අවශ්‍යතාවයන් ඇති කාන්තාවන්ව ඔවුන් කරන්නේ මුලින්ම කණ්ඩායම් ලෙස ඒකරාශී කිරීමයි. මෙසේ තෝරා ගන්නා ලද කණ්ඩායම් වලට ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි ඉතා ඉක්මනින් රුපියල් 50,000 ලක්ෂයේ ණය නිවෙස් වලට ම ගෙනැවිත් දෙන ක්‍රියාවලියක් ගෙන යනවා. මෙසේ ලබා දෙන ණය මුදල සතියකට රුපියල් 2000 , 3000 ක් ගෙවන ලෙස උපදෙස් ලබා දෙනවා. සතියකට රුපියල් දෙදහක් තුන්දාහක් වුවද මාසෙකට සති හතරක් ඇති බවත් මසක් තුළ රුපියල් 8000 , 12000 පමණ ගෙවන්න සිදුවෙන බව කාන්තාවන්ට අවබෝධ වෙන්නේ බොහෝ විට මේ ණය අරගෙන ණය ගෙවන්න යන විට දීයි.

මෙසේ ණය ලබාදුන් නිලධාරීන් හරියටම සතිය ඉක්ම යන විට ණය වාරික ලබා ගැනීම සඳහා නිවසට පැමිණෙනවා. මේ ණය දීමට ප්‍රථම ඒකරාශී කරන කුඩා කණ්ඩායම් වල අනික් අය එකිනෙකා තම තමන්ට ඇපකරුවන් ලෙස මේ ණය ක්‍රමයේ දී අත්සන් කරනවා. ගත් ණය නැවත ගෙවීමේ දී කණ්ඩායමේ සියලු දෙනාම එකම දිනයේ ණය ගෙවිය යුතුයි. එක්කෙනෙකුට හෝ මේ ණය ඒ කියන දිනට ගෙවා ගැනීමට නොහැකි වුනොත් කණ්ඩායමේ සියලු දෙනාගේම ණය ලබාගැනීම අත් හිටවනවා. බොහෝ අවස්ථාවලදී සිදුවෙන්නේ මේ ණය වාරික ගෙවීම සඳහා ඔවුන් වෙනත් තැන්වලින් නැවත ණය ලබා ගැනීමයි. ඊට හේතුවන විශේෂ කරුණ තමයි මේ ණය ලබාදුන් නිලධාරීන් වාරික ලැබෙන තුරු ඒ නිවෙස්වලින් නොයා සිටීමයි. එහෙම නැත්නම් ඊට වෙන යම් ක්‍රියාමාර්ග පිළිවෙත් අනුගමනය කිරීමයි. මේ ණය ලබා ගත් පුද්ගලයින්ට කරදරයක් සහ හිරිහැරයක් බවට පත්වෙනවා. මේ ආකාරයට මාස අවුරුදු ගණන් යන විට රුපියල් 50,000 පොලියත් සමඟ විශාල අගයකට ලඟා වෙනවා . මෙසේ ණය ගෙවා ගැනීමට සමහර කාන්තාවන්ට නොහැකි වෙනවා. ඒ හේතුවෙන් පවුල් ප්‍රශ්න අඩදබර මරණය පවා සිදු වෙච්ච අවස්ථා තිබෙනවා. මෙසේ ශුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර වෙන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වෙච්ච අවස්ථාවන් පවතිනවා. සමහර නිලධාරීන් අමානුෂීය ආකාරයෙන් බැණ වැදීම් ලිංගික අල්ලස්වලට කාන්තාවන් යටත් කර ගැනීමට දරන උත්සාහයන් මේ අතර බහුලව අසන්න තියනවා . මෙවැනි සිද්දීන් ඕනෑ තරම් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සොයාගැනීමට පුළුවන්. මේ ක්ෂුද්‍ර මූල්‍ය කොම්පැනි කාරයෝ ජනතාව අන්ත අසරණ තත්වයට පත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ලාභ නොලබන සංවිධාන ලෙස පෙනී සිටිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහනට ප්‍රවේශ වී ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධාන අලුත් වැඩක් පටන් ගෙන තිබේ . ඉතාම අධික පොලිගෙවන බව පවසා 17 % 18 % 19% තැන්පතු මුදල් ලබාගෙන සම වාරික පොලී ක්‍රමයට ණය නිකුත් කිරීම. මෙම ක්‍රමයේ දී ජනතාවගේ මුදල් තැන්පතු ලෙස ලබාගෙන එම මුදල්ම ඔවුන්ට නැවත ණය ලෙස ගෙවීම සිදුවේ . මෙම රාජ්‍ය නොවන සමාගම් මේ අහිංසක මිනිස්සුන්ගෙන් ඇප ලෙස ඔවුන් සතු ඉඩම් දේපල පෙරකදෝරුවන් මාර්ගයෙන් ඔවුන්ගේ නම් වලට ලියාගෙන ඇප කාරක වශයෙන් තබාගෙන ණය නිකුත් කිරීම සිදුකරනු ලබයි. මෙම රාජ්‍ය නොවන සමාගම් සතුව ණය කාරක ලෙස තබාගත් ඔප්පු දහස් ගණනක් ගොඩ ගැසී ඇත. සමහර සංවිධාන තට්ටු බිල්ඩිං ගොඩ ගසා ගෙන ඇත. සාමාජික සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති මෙවැනි සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් කිසිසේත් පිළිගත නොහැක.

මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගැනීම හෝ කිසිදු බලධාරියෙක් සොයා බැලීම සිදු වී නොමැත .

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

 

leave a reply