Breaking News

උද්ඝෝෂණකරුවන් ගැහුවත් කරබාගෙන ඉන්නැයි පොලීසියට උපදෙස් දුන්නා – සරත් වීරසේකර

උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී අද (6) පවසා තිබේ.

උද්ඝෝෂණයේ යෙදී සිටින එක ගුරුවරයකුට හෝ පොලිසිය පහර දී නැතැයිද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් උද්ඝෝෂණකරුවන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසලදී කළ ක්‍රියාවකින් පොලිස් නිලධාරියෙකුගේ ඇඟිලි දෙකක් කැඩී ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය මේදක්වා අඩු තරමින් කනගාටුවවත් පළ කර නැති බවත් සරත් වීරසේකර පවසයි.

උද්ඝෝෂණකරුවන් කිසිවෙකුටත් කිසිම ආකාරයකින් හෝ අත තැබීමට හෝ හිංසා කිරීමට කටයුතු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස්දී තිබෙන බව පැවසූ ඇමතිවරයා වරාය පොලීසිය භාරයේ සිටි උද්ඝෝෂණකරුවන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යෑමට අවසරය ලබාදී තිබූ බවද ඔහු පවසා ඇත.

පොලිසියට කිසිවිටෙකත් බලපෑම් නොකරන බවද පොලිස් ඇමතිවරයා පවසා තිබේ.

විපක්ෂය පවසන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමාපොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව අද හෙටම ලබාදීමට නියමිත බවත් සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ආණ්ඩුව පොලීසිය යොදාගෙන සිය අයිතීන් ඉල්ලා හඬ නගන ශිෂ්‍යන්, ගුරුවරුන් සහ දේශපාලන ක්‍රියාධරයන් මර්දනය කිරීමට පටන් ගෙන තිබෙන මෙවැනි මොහොතක පොලීසිය බාර ඇමතිවරයාගේ ‘බබා පාට්’ එක ගැන ජනතාව දෙවරක් සිතා බැලිය යුතුය.

කොතලාවල පනතට එරෙහිව උඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ ඔවුන්ගේ නිවෙස්වලදියි.

එසේම පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් ගුරුවරුන් 44 දෙනා අත්අඩංගුවට ගෙන තිබුනේ ජනාධිපති කාර්යාලය අසළ පැවති උද්ඝෝෂණය නිමවා නිවෙස් වෙත යමින් සිටියදීයි.

එපමණක් නොව ඊයේ දිනයේදී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප එම විශ්ව විද්‍යාලය අසලදී සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් විසින් පැහැරගෙන තිබුණි. පසුව ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඔහු පිළිබද පොලිස් ස්ථාන කිහිපයකින්ම විමසා සිටියත් කිසිදු තොරතුරක් ලබාදී නොතිබුණි. අවසන් වශයෙන් ඔහුව තලංගම පොලීසිය තුළ රඳවාගෙන සිටින බව හෙළිවිය.

ඊයේ දහවල් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අමින්ද ලක්මාල් බස් රථයක් නවත්වා පැහැර ගෙන යාමට ගත් උත්සාහයක්ද විශ්වවිද්‍යාල සිසුන් මැදිහත්ව ව්‍යාර්ථ කරන ලදී. මෙම පැහැර ගැනීමට පැමිණි සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම පිණිස සිසුන් විසින් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු මිරිහාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවට හෙළිකර තිබිණි.

එපමණක් නොව ඊයේ අළුයම් කාලයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පැහැර ගැනිමක ස්වරූපයෙනි. එහිදී මුඛ ආවරණ හෝ නොමැති පොලිස් නිලධාරියෙක් වසන්ත මුදලිගේව ඇදගෙන යන ආකාරය දක්නට ලැබේ.

මේ මෑතකාලින සිදුවීම් පමණි. ඊට පෙර කොතලාවල පනතට එරෙහිව ජූලි මස පැවති විරෝධතා අවස්ථාවේ ඒ සඳහා සම්බන්ධ වී සිටි ක්‍රියාකාරීන් බිම දිගේ ඇදගෙන යමින් බස් රථවලට පටවනු දක්නට ලැබුණි. එසේම ඊට පෙර දිනයක ඉංජිනේරු සංස්ථා වෘත්තීය අරගලයක් සඳහා මැදිහත්වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් දේශපාලන ක්‍රියාකාරිනියකට පොලිස් නිලධාරියෙක් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයක විකාශය කරන ලදී. එපමණක් නොව එම අවස්ථා දෙකේදීම අධිකරණය විසින් එම පිරිසට ඇප ලබාදී තිබියදී ඔවුන්ව බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකරන ලදී.

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සළකන ආකාරය ගැන මේ ආකාරයෙන් ඉතා දිගු සිදුවීම් පෙළක් ලිවිය හැක. පොලිස් ඇමති ‘බබා පාට්’ දාන්නේ එවැනි තත්ත්වයක් තිබියදීයි.

leave a reply