Breaking News

තීරුබද්ද අඩුවීම ගැන සතුටු වෙන අය නොකියන කතාව

ශ්‍රී ලංකාව වෙත පනවා ඇති අසාධාරණ තීරුබදු ප්‍රතිශතය සීයට 30 දක්වා අඩු කර ඇතත්, එම තත්ත්වය රටට යහපත් ලෙස බලපාවිද යන සැකය මතුව තිබේ. ආණ්ඩුව නිවේදනය කරන්නේ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත් කළ විශාල ප්‍රතිශතාත්මක අඩුවීමක් බවයි.

පෙර පැනවූ සියයට 44ක තීරුබදු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කළ විශේෂ නියෝජිත මණ්ඩලයේ ද මැදිහත් වීම මගින් සැලකිය යුතු ප්‍රතිශතයකින් අවම මට්ටමකට පරිවර්තනය කරගැනීමට හැකි වූ බව ද ආණ්ඩුව පවසා තිබේ.

මේ අතර අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ.

එහෙත් මෙහිදී මතු නොකෙරන කාරණාවක් වන්නේ සියයට 30 ප්‍රතිශතය වුවද අපිට දැරිය හැකි මට්ටමක් ද යන්නයි. එසේම ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකාව සමඟ තරගකාරී අනෙක් රටවල් සමඟ සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට අවාසියක් ඇතැයි දත්ත අනුව පෙනී යන බවයි.

ශ්‍රී ලංකාවේ අපනයනවලට තරගකාරී රටවල් අතරින් බංග්ලාදේශය සහ සහ කාම්බෝජය වෙත සීයට 35 සහ සීයට 36ක බදු පනවා තිබීම වාසිදායක තත්වයක් වන නමුත් වියට්නාමය සහ ඉන්දියාව යන රටවල්වලට ශ්‍රී ලංකාවට වඩා දැඩි වාසිදායක තත්වයක් ඇතිව තිබේ. වියට්නාමය සමඟ දැනටමත් ඇමරිකාව වෙළඳ ගිවිසුමකට එළඹ තිබෙන අතර යෝජනා වී තිබෙන්නේ වියට්නාමයට සීයට 20ක තීරුබදු පැනවීමටය. ඉන්දියාවට සීයට 26ක තීරුබදු යෝජනා වී ඇතැයි පැවසේ. ඉන්දියාව සමඟ ද තීරු බදු සම්බන්ධයෙන් වෙළඳ ගිවිසුමක් ඇතිවෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි.

මෙවැනි තත්ත්වයකදී ලංකාවට සියයට 30 තීරු බදු දරාගනිමින් අනෙකුත් රටවල් සමඟ තරඟ කිරීමට හැකිද යන ප්‍රශ්නය මතුව තිබේ. තීරු බදු ප්‍රශ්නය මතුවූ පළමු මොහොතේ බොහෝ දෙනෙක් අදහස් පළකරමින් සඳහන් කර සිටියේ මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා බදු අඩුකරගැනීමේ සාකච්ඡාවලට අමතරව වෙනත් විකල්ප සෙවීමට කටයුතු කළ යුතු බවයි.

ඉන් එක අදහසක් වූවේ විකල්ප වෙළඳ පොළවල් වෙත යොමුවීමයි. ඊට අමතරව දිගුකාලීන යෝජනා ලෙස රටේ නිෂ්පාදන ආර්ථිකයේ වෙනසක් දක්වා යායුතු බව බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස විය.

නමුත් ආණ්ඩුව තවමත් එවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැත. දැනට ආණ්ඩුව කරමින් ඉන්නේ සියයට 44 සියයට 30 දක්වා අඩුවීම පෙන්වමින් සතුටු වීමයි. සියයට 30 අපිට දරාගැනීමට හැකිද යන්න ගැන ආණ්ඩුව නිශ්ශබ්දය.

මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්නේ අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද තත්ත්වය හමුවේයි. ලංකාවට මේ වසරේ පමණක් ණය පොලී වාරික ලෙස ඩොලර් බිලියන 4.5ක් පමණ ගෙවීමටද තිබේ.

leave a reply