පුනරුදය කියන්නේ නිකම්ම නිකං වචනයක් නොවේ. මේ වදන ඇතුලේ ඉතිහාසය විසින් ගෙන ආ විශ්වීය අරුතක් තිබේ. මිනිස් සාමූහිකත්වයේ බුද්ධි ප්‍රබෝධය විසින් ඇති කළ මහා වෙනසක ආලෝකයක් මේ සංකල්පයට ඇතුළත් වී ඇත. සකලවිධ ඥාණයන්ගේ ක්‍රියාකාරීත්වය විසින් ඇති කළ ලෝක දැක්මක් සහිතව “මනුෂ්‍යා” යනු කවරෙක් ද, මනුෂ්‍යයාට හිමි විය යුතු තැන සහ මානව සමාජය විශ්ව සමාජයක් ලෙස පැවැතිය යුතු වන්නේ කෙසේද යන්න විද්‍යාව, දර්ශනය, ගණිතය, තාක්ෂණය, ආර්ථිකය, ආදී කාලප ඇතුළත්ව මුළු මහත් ස්වභාදහම සමඟ ගැට ගැසුණු ජීවන මාදිලීන් යෝජනා වූ අදහස් පද්ධතියක් ගොණු වූ මහා ව්‍යාපාරයක් සතු මිනිස් චින්තනය පුනරුදය යන අදහසේ ඉතිහාසයට ගැබ් වේ.
ලෝකය කලාප, මහද්වීප සහ විවිධ වූ සංස්කෘතික ශිෂ්ටාචාරයන්ගේ ඇති බහුවිධ අනන්‍යතාවන් සහිතව මිනිසා මෙතෙක් පැමිණ ඇති ලෝකය ගෝලීය අර්ථයෙන් බල සම්පන්න ක්‍රමයක් බවට පත්කරන්නට පුනරුද කාර්යය විශාල තල්ලුවක් දී, එහි ඵලයක් ලෙස “ධනවාදී සමාජය” නිර්මාණය කර ඇත.
යුරෝපයේ සහ බටහිර ඇති කළ මේ මහා වෙනස කාර්මීකරණය, නූතනත්වය විසින් ලෝකයේ සෙසු කලාප දක්වා ප්‍රසාරණය වීමත්, ඒ ඔස්සේ ආර්ථික හා සංස්කෘතික බල ආධිපත්‍යයක අණසක බවට පත් කර සියලු මිනිස් සංකල්පයන් පාලනය කිරීම හා තීරණය කිරීමේ බලය සර්වබලධාරී දෙවියන් වෙනුවට සර්වබලධාරී මුදල යන්නට මාරු වී, එය එක් කොටසකගේ, එක් පංතියකගේ, කාටලයක අණසක බවට පත් කරගෙන ඇත. ශතවර්ෂ දෙක තුනක් පුරා පරිණාමයනට පත් වූ මෙම ක්‍රමය අද වන විට නව තාක්ෂණය විසින් සියලුම සංකල්ප හා චින්තනයන් අවෂෝෂණය කරගෙන මිනිසා නැවත නැවත ස්වකීය වහලුන් කර තිබේ.
පුනරුදයේ ගැටලුව යළිත් ගැටලුවක් බවට පත්ව ඇත්තේ එය විසින්ම නගන ප්‍රශ්නය විසින් ය. එනම් “ පුනරුදය යනු කුමක් ද” යන්න ය. යුරෝපා දර්ශනවාදය තුළ එමානුවෙල් කාන්ට් විසින් මතු කරනු ලැබූ මෙම පැනයට එකල නො තිබූ විසඳුම හේතුවෙන් “ සාමය” යන්න ප්‍රචණ්ඩත්වයේ මහා ක්‍රියාකාරිත්වය වූ යුද්ධ නිසා අධිනිෂ්චය වී ඇත. ලෝකයටම පොදු වූ විශ්ව ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඔහු විසින් මතු කරන්නේ පුනරුදය යන කුමක්ද යන ගැටලුව විසින් ඇති කරන මානව ඛේදවාචයක් ලෙස ය. පසුව හබමාස් විසින් ද ගෙන එන්නේ එහිම වූ දිගුවකි.
නමුත් නූතනවාදයට හෝ යුරෝ කේන්ද්‍රීය චින්තනයට හෝ ධනවාදයට කිසිදු ආකාරයක සාධාරණ උත්තර සොයා ගත නො හැකි වී ඇත. පශ්චාත් නූතන යුගය කරා යුරෝපය හා බටහිර මේ සකල ප්‍රතිවිරෝධතාවන් සහිතව ගමන් කරමින් නූතනවාදය යළි යළිත් ප්‍රශ්න කරන්නට වූයේ මිනිස් ඥාණයේ ඵලය කුමක් ද යන්න සොයා ගැනීමට ය. මේ යුගයේ දර්ශනවාදියෙකු වූ මිචෙල් ෆූකෝ යළිත් කාන්ගේ අදහස නැවත මතු කරමින් අසන්නේ “ පුනරුදය යනු කුමක් ද යන්න ය.
ප්‍රශ්නයට විසිඳුම් වෙනුවට මිනිස් දැනුම හා සියලු ශික්ෂණයන් යළි යළිත් ගමන් කරමින් ඇත්තේ මානවවාදය යැයි කියමින් සිදු කරන මානව හා සොබාදහමේ පැවැත්මට එරෙහි තරඟකාරී දිශාවක් වෙත ය. මේ නිසා මෙම පැනය නැවත නැවත සමස්ථ ලෝකයටත්, මේ නව තාක්ෂණික යුගයටත් පෙරටත් වඩා අදාල වී ඇත.
ඉතින් ලෝකයම එවැනි ගැටලුවක අඩු වැඩි වශයෙන් චින්තනයමය වශයෙන් නව පුනරුදයකට ගමන් කළ යුතුව ඇත්තේ අප මේ ජීවත් වන ක්‍රමය මිනිසාට පමණක් නොව විශ්වයටම නො ගැලපෙනන්නක් බව පෙන්නුම් කරමිනි.
එවැනි පුළුල් වූ හා වියුක්ත සේ පෙනෙන ප්‍රශ්නය එතරම් වියුක්ත නැත. ගැටලුව සංයුක්ත ය. ධානවාදී බලය හා ධනය කොල්ලකෑමේ තරඟය තුල මිනිස් මනස වියුක්ත කර තැබීම නිසා පැරණි ක්‍රමයේ චින්තනයට වඩා මේ යුගය වියුක්තයත් වියුක්ත කර ඇත.
මේ පැනය මුලින්ම දර්ශනයේ ගැටලුවක් ලෙස හඳුනා ගැනීම කළ යුතු ය. දර්ශනය විසින් සංකල්පවලට අර්ථ සම්පාදනය කරන අතර එයින් දෘෂ්ටිවාදයන් තනනු ලබන්නේ ය. එය ඉන් පසුව ප්‍රයෝගිකත්වයක් බවට පත් කරන මිනිස් ක්‍රියාවන්ට එකතු වීමෙන් දර්ශනය එහි ආත්මයක් බවට පත් වන්නේ ය. බටහිර හිර වී ඇත්තේ මෙම උභතෝකෝටිකයේ ය. බටහිර නො වන සෙස්සෝ බටහිර නොවන දෙයක් වෙනුවට බටහිරට සිහින දකින්නෝය. එය දර්ශනය හා චින්තනය මිලට ගත් ධනය හා බලය විසින් තනා ඇති දෘෂ්ටිවාදය විසිනි. බටහිර අවසානයක් නම් පෙරදිග අතර මඟක ය. නන්නත්තාර ය. ඒ බව ලංකාවේ මේ මොහොත පරීක්ෂාවේ දී මනසට හසු වන්නකි.
මානව සමාජ චින්තනයට අදාලව “පුනරුදය” යන අදහස නැවත ලංකා සන්දර්භයේ දී පරීක්ෂාවකට පැමිණ ඇති කාලයක් බැවින්, මේ අදහස මෙසේ සටහන් කරන්නට සිදුව ඇත. ඒ වසර පහකට වරක් පාලකයෙක් සහ පාලනයක් තෝරා පත්කර ගැනීමට යෙදෙන තරඟකාරී ජන සමාජය මුලාවකට හා තුළාවකට දමා බර කිරන අවස්ථාවක දී ය. අද නැවත කාන්ට් සහ ෆූකෝගේ පැනය ලංකාව සම්බන්ධයෙන් නැවත අසන්නට සිදුව ඇත. සැප්තැම්බර් 21 න් පසු අනුර සජිත් රනිල් ගෙන් අයෙක් ජය ගනු ඇත. තිදෙනාම මැතිවරණ ප්‍රචාරණ පුනරුදයකට ජනතාව හසුකර ගෙන ඇත. එය නිමාවෙන් පසුත් හිරු උදා වීම සිදු වනු ඇත. වෙනස් කම් සිදු වනු ඇත. සිදු කරනු ඇත. එය එසේ කිරීමට බල කරනු ඇත. එහෙත් ප්‍රශ්නය එලෙසම වියුක්තවත් සංයුක්තවත් ක්‍රමය සහ බලය විසින් අත්පත් කර ගැනීමේ දී පැරණි පැනය යළිත් අසන්නට සිදු වනු ඇත. ඒ එ පුනරුදය යනු කුමක් ද යන්න ය. එහෙත් එය අසන්නට කිසිවකු සිටී ද යන්නට වඩා, ප්‍රශ්නය අසන්නට එනම් සවන් දෙන්නට කෙනෙකු සිටී ද යන්න අනාගත ගැටලුව වනු ඇතැයි සීතීම පුදුම විය යුතු නැත.