සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරිමෙන් කෝටි 597ක නාස්තියක්

කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක

පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත වියදමට අමතරව එතෙක් සපයන ලද උපදේශක ගාස්තුද ඇතුළත්ව, කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරිම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

එම මුදල නොගෙවන්නේ නම් අනාගතයේ එම සමාගම බේරුම්කරණ නඩුවකට ගිය හොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවද එහි සඳහන් වේ.

එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස ජපන් යෙන් 60,080,000 (රුපියල් කෝටි 10.4ක) මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති බවද ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වු පසු එම මුදලින් සියයට පනහක් ආපසු ගෙවනු ලබන බවද ව්‍යාපෘතිය අතරමග නැවතීම නිසා එසේ යෙදවූ පෙර ගෙවුම් ගාස්තුව අනර්ථකාරි වියදමක් වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය 2016 දී ජපන් රජයෙන් කළ ඉල්ලීමක් පරිදි මෙම ජපාන ජාත්‍යන්තර සහයෝගිකා ආයතනයෙන් (ජයිකා) මෙම ණය මුදල වසර දොළහක සහන කාලයක් සහිතව වසර හතලිහකදි ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ලබාදී ඇති බවද එසේ තිබියදී ව්‍යාපෘතිය අවලංගු කිරිමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය අවංගු කර තිබෙන්නේ 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවය.

අමාත්‍ය මණ්ඩල සංදේශවලට අදාලව මහාභාණ්ඩාගාරය සිය නිරීක්ෂන ඉදිරිපත් කිරිමේදි එම සංදේශ මගින් අපේක්ෂා කරන තීරණ සඳහා සහයෝගය දැක්වීමෙන් ඔබ්බට සිය ස්වාධීන වෘත්තීමය නිරීක්ෂන ලබාදීමට උපරිම ප්‍රයත්න දැරිය යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

මෙම කරුණු ඇතුළත් වි තිබෙන්නේ ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් මස නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකය.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...