විලෝපික පර්යේෂණ සඟරා වල සිදුකරන පළකිරීම් හේතුවෙන් ආසියානු සහ මධ්යධරණී රටවල විද්යාත්මක සොයාගැනීම් විද්යාත්මක ලෝකය තුළ හෑල්ලුවට ලක්වෙමින් පවතින බව මේ වන විට රහසක් නොවේ. ශ්රී ලංකාවේ විශ්වවිද්යාල ආචාර්යවරුන් අතරින් 30% පමණ ප්රමාණයක් දැන හෝ නොදැන මේ වන විටත් මේ ආකාරයෙන් විලෝපික පර්යේෂණ සඟරා වල ගොදුරක් බවට පත්ව ඇති බව ශ්රී ලංකා රුහුණු විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය එල්. පී. ජයතිස්ස මහතා ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණයකර තිබුණේ මීට කලකට පෙරය (https://www.ft.lk/…/Fake-journal-publications…/14-773810).
ඒ සම්බන්ධව පසුගිය දිනක එතුමන් සමග යූටියුබ් නාලිකාවක් මගින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දිගුව මවිසින් ඊයේ දින මුහුණු පොතේ පළකිරීමෙන් පසු ඒ ආකාරයෙන් විලෝපික විද්යා සඟරා වල ගොදුරක් නොවී නිවැරදි පර්යේෂණ සඟරාවක් (Research journal) තෝරා ගන්නේ කෙසේද යන්න කිහිපදෙනෙකු පුද්ගලිකව විමසීම්කර තිබුණි.
එබැවින් ජ්යෙෂ්ඨ මහාචාර්ය එල්. පී. ජයතිස්ස මහතා සමග විලෝපික විද්යා සඟරා වල ගොදුරක් නොවී නිවැරදි පර්යේෂණ සඟරාවක් තෝරා ගැනීම සඳහා අනුගමනය කළයුතු පියවර සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකදී අනාවරණය කරගත් කරුණු මෙසේ පළකරමි.
1. මෙතෙක් ශ්රී ලංකාවේ ප්රකාශයට පත් කරන කිසිම පර්යේෂණ සඟරාවක් විලෝපික සඟරාවක් වශයෙන් අනාවරණයවී නැත. එබැවින් මෙරට පළවන පර්යේෂණ සඟරාවක් ඔබගේ පර්යේෂණ පත්රිකාව පළකිරීමට තෝරා ගන්නේ නම් ගැටළුවක් නොවේ. {එහෙත් මෙරට පළ කෙරෙන පර්යේෂණ සඟරා වල තත්ත්වය හෙවත් ඒවාට ඇති පිළිගැනීම පුළුල් පරාසයක වෙනස් වන බැවින් Science Citation Index (SCI) හි ලැයිස්තුගත JNSF හි පළ කළ නොහැකි නම් ඊළඟට Emerging Source Citation Index (ESCI) හි ලැයිස්තුගත පර්යේෂණ සඟරාවක නැතහොත් අවම වශයෙන් Sri Lanka Journal online හි ලැයිස්තුගත පර්යේෂණ සඟරාවක පළකිරීම සුදුසුය. නමුත් ඔබේ පර්යේෂණයේ ප්රතිඵල වල වැදගත්කම හා නව්යතාවය වඩාත් ඉහළ යයි සිතන්නේ නම් ‘Web of Science Master Journal List’ හි ලැයිස්තුගත ඉහළ පිළිගැනීමක් හෙවත් වඩාත් වැඩි Impact Factor අගයක් ඇති අන්තර්ජාතික විද්යා සඟරාවක පළ කිරීමට උත්සහ දැරීම පළමුව කළ යුතුය.}
2. ඔබ තෝරා ගන්නා පර්යේෂණ සඟරා නාමය ‘Web of Science Master Journal List’ (https://mjl.clarivate.com/home) හී පිරික්සුමට නිවැරදිව ඇතුළත් කර එය එහි තිබේ දැයි බලන්න. එම සඟරා නාමය ඉහත වෙබ් අඩවියේ, කවර හෝ කාණ්ඩයක් යටතේ ඇතුළත් කර ඇත්නම්, එය විලෝපික හෝ ව්යාජ (predatory or Fake) සඟරාවක් නොවන බව 99% ක් සහතික වශයෙන් තීරණය කළ හැකිය.
3. එය ‘Web of Science Master Journal List’ වෙබ් අඩවියේ ඇතුළත් කර නොමැති නම්, සඟරාවේ ප්රකාශකයාගේ නම සොයා ගන්න. එම සෙවීම සඳහා වාර සඟරාවේ ISSN අංකය ද භාවිත කළ හැකිය.
4. ඉන්පසු, Beall’s List of Potential Predatory Journals and Publishers වෙබ් අඩවිය (https://beallslist.net) වෙත යන්න.
5. එහි ‘Standalone Journals’ ලැයිස්තුව ලබාගෙන ඔබ තෝරාගත් සඟරාව ඇතුළත් කර එම ලැයිස්තුවේ අන්තර්ගතව ඇත්දැයි පරීක්ෂා කරන්න.
6. එසේ නොවේ නම් පර්යේෂණ සඟරාවේ ප්රකාශකයාගේ නම Beall’s List හි Potential predatory publishers ලැයිස්තුවේ දක්වා ඇතිදැයි පරීක්ෂා කරන්න.
7. ඔබ විසින් තෝරාගත් පර්යේෂණ සඟරාවේ නම හෝ ප්රකාශකයාගේ නම Beall’s List හි ඇතුළත් කර නැත්නම් එය බොහෝවිට විලෝපික සඟරාවක් නොවීමට ඉඩ ඇත. එහෙත් Beall’s list යාවත්කාලීන කිරීම 2017න් පසු නිසි පරිදි සිදුවී නොමැති නිසා එය තවදුරටත් තහවුරු කර ගත යුතුය. ඒ සඳහා විලෝපික සඟරාවල ලක්ෂණ (https://beallslist.net/…/uploads/2019/12/criteria-2015.pdf) වෙත ගොස් එහි සඳහන් ලක්ෂණ අදාල වාර සඟරාවේ සහ ප්රකාශිත පත්රිකාවල තිබේදැයි සොයා බැලිය යුතුය.
8. එහි සඳහන් ලක්ෂණ අතුරින් ප්රධාන ලක්ෂණ සැලකිය යුතු ගණනක් අදාළ වාර සඟරාවේ සහ එහි ප්රකාශිත පර්යේෂණ පත්රිකාවල ඇතුලත් නම් බොහෝ දුරට එය ද විලෝපික හෝ ව්යාජ සඟරාවක් වීමට පුළුවන. එවැනි අවස්ථාවක එය මේ පිළිබඳ දැනුමැති තවත් අයකු ලවා තහවුරු කර ගැනීම සුදුසුය.
9. ඔබ දැනටමත් පළකර ඇති පර්යේෂණ පත්රිකාවලට අදාලවද ඉහත පියවර අනුගමනය කිරීමෙන්, දැනටමත් ඔබ විලෝපික පර්යේෂණ සඟරා වල ගොදුරක් බවට පත්ව ඇතිද යන්නද අනාවරණය කරගත හැක.
සම්මානිත මහාචාර්ය එල්. පී. ජයතිස්ස මහතාට විශේෂ ස්තූතිය!