මාධ්‍යවේදී ෆසීර්ගේ රාජකාරියට පොලීසියෙන් බාධා කුලියාපිටිය උසාවියෙන් එළියට ඇද දමයි !

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවකු වන අධිකරණ මාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට ඇද දමා ඇත.

මෙයට පාදක වී ඇත්තේ සටහන් ආයතනය මගින් පසුගිය සතියේ වාර්තා කළ පොලිස් වධහිංසාවකට අදාළ නඩුවකි. එම නඩුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සටහන් ආයතනයේ වාර්තාකරණයේදී කරුණු හෙළිදරව් කළේය.

මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ලකෑවායැයි පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳසැලක හිමිකරුවෙකුට වධහිංසා කිරීම සහ ඔහුගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ එම නඩුව මෙවර කැඳවූ අවස්ථාවේදී ඔහු වාර්තාකරණයට සහභාගී වී තිබේ.

ඔහු ප්‍රකාශ කළ ආකාරයට මෙම සිදුවීම වාර්තාකරණය සඳහා එතැන සිටි එකම මාධ්‍යවේදියා ෆසීර් මොහොමඩ්ය.

ඔහු සිදුවීම වාර්තා කරමින් ලියමින් සිට තිබේ. ඔහු උසාවියේ සිටගෙන සිදුවීම් විමසිල්ලෙන් අසමින් වාර්තාකරණයේ යෙදෙමින් සිට තිබේ. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ෆසීර් වාර්තාකරණයට උසාවි භූමියට ඇතුළු වී තිබුණි. ඔහු වාර්තා කරන මොහොතේ මාධ්‍ය ආයතන හැඳුනුම්පත පැළඳ සිට ඇත.

එම අවස්ථාවේදී උසාවි සැරයන්වරයකු පැමිණ මොනවාද කරන්නේ කියා විමසූ අතර ෆසීර් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් වාර්තා කරමින් සිටින බවය.

එළියට බැහැපන් යනුවෙන් එයින් පසු එම නිලධාරියා කියා ඇත. එම තර්ජනය නොතකා ෆසීර් මොහොමඩ් මහතා සිය වාර්තාකරණයේ යෙදී තිබේ. එයින් පසු, පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ ලියමින් සිටි මාධ්‍යවේදියාව එළියට ඇදගෙන ගොස් ඇත. සාක්කුවේ තිබුණු දුරකථනය පැහැරගෙන පටිගත කරන්නේයැයි කියමින් මුර කුටියකට එය බාර දී තිබේ. දූරකථනය ඒ වන විටත් ක්‍රියා විරහිතව තිබී ඇත. දූරකථනය රැගෙන එන්නට නොහැකි නම් ගේට්ටුවෙන් දූරකථනය සමග ඇතුළට ගත්තේ මන්දැයි ඔහු විමසා ඇත.

සිදුවීම පිළිබඳ අධිකරණ සේවා කොමිසම, අගවිනිසුරු, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අනෙකුත් වගකිවයුතු සියලු ස්ථානවලට පැමිණිලි කිරීමට මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සහ තරුණ ජනමාධ්‍යදීන්ගේ සංගමය කටයුතු කරමින් සිටී.

lankadailymail.com

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...