අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යු.කේ.කෘෘස් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා පත් කර ඇත.
2025 මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනා ගැනීමට ලැබී ඇති බවත්, එමෙන් ම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලෙහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදී හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
අනුරාධපුර රෝහලේ සිදුවීමෙන් පසු අනෙකුත් රෝහල්වල සෞඛ්‍ය සේවාවේ නිරත ස්ත්‍රීන් බොහෝ දෙනෙකු විසින් සමාජ මාධ්‍ය ජාල හරහා රාත්‍රී සේවා මුරවලදී තමන් මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වයන් ගැන සඳහන් කර තිබුණි. ඒ අතර වෛද්‍යවරියන් , හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවන් ඇතුළු විවිධ තරාතිරමේ කාන්තාවන් සිටින ලදී. එහිදී ඔවුන් පවසා තිබුනේ තමන්ට ලබාදී ඇති හොස්ටල් පහසුකම්වල අනාරක්ෂිතතාවය , තමන් රාත්‍රී සේවා අවසන් කර යාමේදී මුහුණ දෙන තත්ත්වයන්, රෝහල් තුළ පවතින අනාරක්ෂිතතාවය යනාදියයි. එසේම අනුරාධපුර රෝහලේ සිදුවීම සමඟම වාර්තා වූ තවත් සිදුවීමක් වූවේ යාපනය තෙල්ලිපලෙයි රෝහලේ මානසික ප්‍රතිකාර ඒකකයේ නේවාසික රෝගී කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි. එම අපයෝජනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් සේවකයෙකි.
සෞඛ්‍ය වෘත්තිකයන් අතරින් වැඩිම පිරිස කාන්තාවන් වේ. එසේම සෞඛ්‍ය සේවය තුළ වෙනත් වෘත්තීන් මෙන් නොව රාත්‍රී සේවා මුර අනිවාර්ය දෙයකි. මේ නිසා එම රාත්‍රී සේවා මුරවල යෙදෙන කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ වගකීම මුල් මට්ටමේදී රෝහල බලාගත යුතුය . එසේම දෙවනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන සැපයීම සෞඛ්‍ය අමාත්‍යංශය කළ යුතුය. රෝහල්ගතවන රෝගියෙකු ගැන වුවත් එම තත්ත්වය එසේ විය යුතුය .
සියලු රෝහල්වල සේවය කරන සෞඛ්‍ය වෘත්තික කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ප්‍රතිකාර ගතවන රෝගී කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නැවත සමාලෝචනයක් සිදු නොකර අනුරාධපුර රෝහල ගැන සෙවීමට පමණක් කමිටුවක් පත්කිරීමෙන් මෙම ප්‍රශ්නයට උත්තර නොලැබෙනු ඇත. මෙවැනි සිදුවීම් වෙනත් රෝහල්වලින්ද වාර්තා විය හැක.