හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණ යට අපහාසයක් සිදු කර ඇති බවට අධිකරණය ඊයේ (23) තීන්දු කර තිබුණි.
ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක , එම්.ඒ සුමන්දිරන් සහ රවුෆ් හකීම් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් එම අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් වසරේ අගෝස්තු මස 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
ඉන් අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයට සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
එහෙත් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් චෝදනා පත්‍ර ගොනුකිරීමෙන් අනතුරුව ඔහු ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබිණි.
ඊ-වීසා වංචාව සම්බන්ධ නඩු විභාග වෙමින් තිබියදී අධිකරණ නියෝග නොතකා හැරීම පිළිබඳ චෝදනාවේ වරද පිළිගත් හිටපු ආගමන විගමන පාලකවරයා තමන් එසේ සිදු කරන ලද්දේ හිටපු අමාත්‍යාංශ ලේකම් වන වියානි ගුණතිලකගේ බලපෑමට බව ද සඳහන් කර තිබුණි. මෙහිදී හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගත්තේ තවත් කවුරුන් හෝ බේරාගැනීමට බවට සැක මතුවිය.
ප්‍රශ්නගත VFS වීසා ගනුදෙනුව සිදුවූ සමයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වියානි ගුණතිලක වන අතර අමාත්‍යවරයා වූයේ ටිරාන් අලස් ය. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නොතිබීම විශේෂත්වයකි.
ඊ-වීසා වංචාවේ මහ මොලකරු ලෙස සැලකෙන්නේ ද හිටපු පොලිස් ඇමැති ටිරාන් අලස්වයි. එම රශ්නගත VFS වීසා ක්‍රමවේදය සදහා අදාල සමාගම් තෝරාගැනීම ටෙන්ඩර් පටිපාටිය ඉක්මවා ඒවා ලබාදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි. නමුත් ඇතැම් පිරිස් පවසන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව සහ ටිරාන් අතර පවතින සමීප සම්බන්ධය මත ටිරාන් අලස් සම්බන්ධයෙන් බලපානු ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට එළඹීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බවයි.