Breaking News

ජනතාව ආණ්ඩුවට දෙස් දෙවොල් තියන මූසල වසරක ආණ්ඩුවේ ශේෂ පත‍්‍රය මනුෂ හෙළිකරයි

සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරන බව පවසමින් බලයට පැමිණයත් ආණ්ඩුවට දැන් ජනතාව දෙස් දොවොල් තබන බවත්, ආණ්ඩුව ජනතාවට මූසල වසරක් අත්කර දී තිබූ බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායකාර පැවසුවේය.

ආණ්ඩුවේ වසරක ශේෂ පත‍්‍රය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

පසුගිය අවුරුද්ද ගත්විට මේ රටට ගෑස් බෝම්බ පිපුරුණ, ගෑස් පෝලිම්වල හිටපු, තෙල් පෝලිම්වල හිටපු, කිරි පිටි පෝලිම්වල ඉන්න, රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නැතිවුන අවුරුද්දක්. කාබනික නාඩගම නිසා ආහාර සුරක්ෂිතතාවය නැති කරගත්ත, මිනිස්සු දෙස් දෙවොල් තියන්න ගත්ත මූසල වසරක අවසානය තමයි මේ.

ලෝකයේ අනෙක් රටවල් කොරෝනා අවදානමට මුහුණ දෙන විට අපේ රටේ ලබන වසර ගැන බියක් නිර්මාණය වෙලා තියෙනවා. ජීවත්වීම ගැන සැක සංකා ඇතිවූ වසරක්. පුලු පුලුවන් අය පදිංචියට වෙනත් රටවලට යන්න උත්සාහ කරන අවස්ථාවක්. තවත් අය ජෙට් වලින් ගිහින් වන්දනාමාන කරගෙන අපල දුරුවෙන්න කියල ප‍්‍රාර්ථනා කරන අවස්ථාවක්.

මේ අවුරුද්දේ ශේෂ පත‍්‍රය ගත්තම හොදටම කරපු අවුරුද්දක් තමයි. සෞභ්‍යාග්‍ය ගේනව කියලා අවුරුද්ද පටන් අරගෙන පකිස්ථානයෙන්, ඉන්දියාවෙන්, අල ලූණු සහල් හිගාකන අවුරුද්දක් බවට පත්කරලා. රට බංකොලොත් වෙන රටක් බවට පත් කරලා.

අවුරුද්දකට කලින් සර් ෆේල් කියලා අපි කිව්වා. දැන් ලේකම්වරුන්, අමාත්‍යාංශයවල සභාපතිවරුත් ෆේල් කියලා කියන්න අරගෙන තියෙනවා. වැඩ බැරි ටාසන්ලා කතා කළාට වැඩ බැරිනම් වැඩ බෑ තමයි. මම හාල් කඩවල මිල පාලනයට නෙමෙයි පත් කළේ කියලා කිව්වට දැන් හාල් කඩවලට, කුළුබඩු කඩවල ගිහින් මිල පාලනය කරන්න හදනවා. මේවා ජනාධිපති මාධ්‍ය ඒකකයටවත් පාලනය කරග්නන බැරිවෙලා.

කැබිනට් එක ෆේල් කියලා ඇමැතිවරුම කියනවා. ලේකම්වරු ඉවත් කළා. සාපතිවරු ඉවත් කළා. සමහර ඇමැතිවරුන්ට ඉවත් වෙන්න කියලා කියනවා. ඇමැතිවරුත් ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඉවත් වෙන්නේ නෑ. එළියට ඇවිත් කෑ ගැහුවාට කැබිනට් එකට ගිහින් කුක්කෝ වගේ ඉන්නවා. ජනතාව විදින දුක් ගැන කිසිම හැගීමක් නෑ. ඇමැති සැප වෙනුවෙන් ඇතුළට වෙලා ඉන්නවා.

පිටරටින් කිරි පිටි ගේන්න සල්ලි නෑ. ඒ නිසා දේශීය කිරි පිටි සදහා ඉල්ලුම ඉහළ ගිහින්. ඒ නිසා තමයි පෝලිම් ඇතිවෙලා තියෙන්නේ. පෝලිමේ ගිහින් හරි කිරි පිටි මිලදී ගැනිමට තිබෙන අවස්ථාවත් දැන් නැති කරලා. පොලිමේ ඉදලා ගෑස් ටික ගන්න යන්නේ කඩෙන් කන්න සල්ලි නැති නිසා.

ජීවන වියදම ඉහළට ගිහින්. හාල් මිල පාලනය කරන්න පාරිභෝගික කටයුතු අධිකාරියට බලය දීලා, හමුදා නිලධාරියෙක් පත් කළා. ලොරි අරගෙන පොළොන්නරුවට ගියාට හිස් අතින් අයිමත් ආවා. සංදර්ශන විතරයි තිබුණේ. අද වන විට ගෑස්, ඉන්ධන, හාල්, එළවළු මිල තීරණ කිරීමත් ව්‍යාපාරිකයින්ගේ අතට පත් කරලා

ඉන්ධන ගේන්න සල්ලි නැති වන විට ඉන්දියාවෙන් ණයට තෙල් ගන්න තැනට ඇවිත්. අරාබියට බැනලා ආණ්ඩුව භාරගෙන, ඒ රටවලට ඉන්ධන හිගමනට ගියපු අවුරුද්දක් තමයි ගතවුනේ. ගෑස් හිගය ඇතිවුනොත් ඩොලර් නැති නිසාම තමයි. ගෑස් ලැබුණ ගමන් ප‍්‍රමිතියෙන් තොර ගෑස් බෙදා හැරපු නිසා තමයි ගෑස් පුපුරන්නේ. මාස ගණනක් ගතවුනත් ගෑස් ප‍්‍රශ්ණය විසදා ගැනිමට හැකියාව ලැබී නෑ. ඔලමොට්ටල, උද්දච්චකම, වැඩ බැරි කම නිසා තමයි මේ ප‍්‍රශ්ණය විසදා ගැනිමට නොහැකි වෙලා.

විකුණන්නේ නෑ. විකුණපුවා අයිමත් ගන්නවා කියලා බලයට ආපු අය සින්නක්කරව ඉඩම් විකුණන්න ගත්තා. සෙලන්දිවා කියලා ආයතනයක් හදලා කොළඹ මර්මස්ථාන විකුණනවා. කෝමාරිකා වගාවට අක්කර ලක්ෂයක් දීලා. කොළඹ වරාය අදානි සමාගමට දෙනවා. යුග දනවි බලාගාරය ඇමරිකාවට විකුණනවා.

යුගදනවි බලාගාරය විකිණුවේ කාටද? මේ රටින් හොරකම් කරගෙන ගිය මුදල් ඇමරිකාවට අරගෙන ගිහින්, යුග දනවි බලාගාරය මිලදී ගත්තාද කියන සැකය දැන් ඇතිවෙලා තියෙනවා.

රාජ්‍ය ආයතනවලට හමුදා නිලධාරීන් පත් කළා. සෞඛ්‍ය, කෘෂි අමාත්‍යාංශවලට හමුදා නිලධාරින් පත් කරලා හමුදාවත් ෆේල් කරපු අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. මේ අවුරුද්ද කැලෑ කපපු අවුරුද්දක්. මූදේ නැව් ගිලිලා වන්දි ගන්න බලාගෙන හිටපු අවුරුද්දක්. ඒත් වන්දි ගන්න බැරිවුන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද.අසූචි නැවටත් වන්දි ගෙවන්න සිදුවුන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද.

පසුගිය කාලයේදී රට වැහුවේ ජනාධිපතිවරයා පාරේ යන වාහන දිහා බලලා. කිසිම විද්‍යාත්මකපදනමක් නැතිව කොරෝනාවදී රට වැහුවා. නිවරදි වෙලාවේ රට වැහුවේ නැති නිසා කොරෝනා ව්‍යාප්ත වෙලා ජනතාව මිය ගිය. ඇතැම් පනත් පාර්ලිම්න්තුවට ගේන්න ඔ්න වුන වෙලාවට රට වහගෙන හිටියා. නිරෝධායනය කියලා කට්ටියක් හම්බකරගත්තා. ඇනි්ටිජන්වලින් තවත් අය හම්බකරගත්තා. ගජ මිතුරන්ට හම්බකරගන්න දුන්න අවුරුද්දක් තමයි ගතවුනේ.

කොරෝනා ආසාදිත සංචාරකයින් ලංකාවට ගෙන්වලා, ඉන්දියාව හා පකිස්ථානයේ නිරෝධායනය මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කළා. 2021 අවුරුද්දේදී කොවිඩ් අරමුදලට මොකද වෙලා තියෙන්නේ.

පාස්කු කොමිසමේ වාර්තාව ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේදී ජනාධිපතිවරයාට භාරදුන්නා. ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවෙක්ට බේරෙන්න දෙන්නේ නෑ කියලා කිව්වා. හැබැයි ප‍්‍රහාරයකින් අල්ලන්න ගිය ශානි අබේසේකරලා හිරේ දාලා. සහරාන්ලා අල්ලන්න ගිය නාලන සිල්වා සිර ගත කළා. මේවා ගැන කතා කරන අය දිනපතාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වනවා. අවුරුද්ද පුරාම පාස්කු ප‍්‍රහාරය ගැන අපි අහපු කිසිම ප‍්‍රශ්ණයකට උත්තර දීලා නෑ. ප‍්‍රහාරයකයින්ට සමාව දෙන්න කියලා දැන් ඉල්ලනවා. සමාව දෙන්න කලින් ප‍්‍රහාරකයින් කවුද කියලා හෙළිදරව් කරන්න. එහෙම නැතිනම් තිරුපති ගියා කියලා, කතරගම ගියා කියලා බේරෙන්න ලැබෙන්නේ නම් නෑ.

කාබනික පොහොර නාඩගම හරහා වී ගොවියා, එළවලු ගොවියා අනාථ කළ අවුරුද්දක් මේ. ජනාධිපති රසායන පොහොර තහනම් කරනවා. ඇමැති අවසර දෙනවා. ලේකම් චක‍්‍රලේඛ ගහනවා. රටටම විහිළු සපයපු අවුරුද්දක් තමයි ගතවුනේ. කෘෂි රසායන ගේන්න ගජමිතුරන්ට පමණක් අවසර දුන්නා. රුපියල් 3500ක යූරියා මිටියක මිල රුපියල් නමදහස දක්වා ඉහළ දැම්මා. කිසිම ප‍්‍රමිතියක් නැති කාබනික පොහොර ජනතාවට බෙදා දුන්නා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරු පස් දෙනෙක් මාරු කළා. හරි ප‍්‍රතිපත්ති කතා කළ උපදේශකයින් ඉවත් කරලා.

අලුත් අවුරුද්ද එන විට කිරි බතක් උයාගන්න වෙලා තියෙන්නේ පිටරටින් ගේන හාල් වලින්. කවදාවත් නැති විදියට එළවළු මිල වැඩිවෙලා තියෙනවා. අලුත් අවුරුද්ද ලබන විට දැන් සැපද කියලා අහන්නේ නෑ.

ජීවන මට්ටම ඉහළ නැංවීමට අලුත් වැඩපිළිවෙලක් එක්ක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සමග අපි රට ගොඩ නගන වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. රටේ දරුවන් ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරනවා. එකට එකතුවෙලා අත්වැල් බැදගන්න කියලා අපි ආරාධනා කරනවා. අපේ රටේ දරුවන් බේරාගන්න එකතුවෙන්න. හැට නම ලක්ෂයක් ජනතාවගේ සිත් තැවුල්වලට විකල්පය ලෙස වැරදි තීන්දුවක් නැවත වරක් ගන්න එපා.

leave a reply