Breaking News

නොයිවසමු! සටන්වදිමු! තේමාව සමඟ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙවර කාන්තා දිනය සැමරීමට සූදානමින්

“වසංගතයේ ලාභය උන්ට – කඳුළ ස්ත්‍රීන්ට, නොයිවසමු! සටන්වදිමු!” යන තේමාව මූලික කරගෙන මාර්තු 8වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සූදානම්ව සිටින බව නිදහස උදෙසා කාන්තාව ව්‍යාපාරය පවසයි. එම සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කාන්තාවන්ට එරෙහි පීඩාව තවත් වැඩිවී ඇති බවයි. ඒ අනුව ජාත්‍යන්තර කාන්තා දිනය හුදු සැරසිල්ලක් බවට පත්කර නොගෙන මේ මොහොතේ අගතියට පත්ව සිටින සියලු සහෝදරියන් වෙනුවෙන් සටන් කිරීමට එක් වෙන ලෙස ලංකාවේ සියයට 52ක් වූ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව ඇය මෙහිදී පැවසීය.

හේමමාලි අබේරත්න වැඩිදුරටත් පැවසුවේ,

“කොවිඩ් වසංගත ලෝකෙම වෙලා ගෙන ඉන්න තත්ත්වය ඇතුලේ තමයි අපිට කාන්තා දිනය සමරන්න වෙලා තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ තත්ත්වය ඇතුලේ උනත් ලෝකය පුරාම වැඩකරන ස්ත්‍රීන් වසංගතය හේතුවෙන් බරපතල පිඩාවට පත්ව සිටින සහෝදරියන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න සූදානමින් ඉන්නවා. ලංකාවේ වාමාංශික කාන්තා ව්‍යාපාරයක් ලෙස මාර්තු 8වෙනිදා කාන්තා දිනය සමරනවා. ඔබව දැනුවත් කරන්නෙ ඒකෙ පෙර සූදානමක් ලෙස. ජාත්‍යන්තර කාන්තා දිනය ලෝකෙට ආපු විදිහ අපි මීට කලිනුත් ඔබ එක්ක කතා බහ කරගෙන තියෙනවා. කාන්තා දිනය මේ වෙලාවෙ සමරන්න ඕන කෙරෙන දේශපාලන අවශ්‍යතාවය සහ එයට අවශ්‍ය කෙරෙන මූලික මැදිහත්වීම, කාන්තා ව්‍යාපාරයක් ලෙස ඇයි අපි කාන්තා දිනය සමරන්නෙ කියන එක කතා කළ යුතුයි. කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළේ ලංකාව උදාහරණයකට ගත්තොත් එහෙම එක පැත්තකින් මැදපෙරදිග ගිහිල්ලා ශ්‍රමිකයන් ලෙස වැඩකරන විශේෂයෙන් ලක්ෂ ගණනක් ඒ රටවල්වල අතරමංවෙලා අසරණ වෙලා පීඩාවට පත්වෙලා සහෝදරියන් සහ සහෝදරවරුන්, විශේෂයෙන් සහෝදරියන් මෙරටට ගෙන්වා ගැනීමට සහ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්න අය මේ වෙලාවෙ බරපතල පීඩාවකට පත්වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් අපි දකිනවා රැකියාව අහිමිවෙලා තමන්ගේ වෘත්තීයට අදාළ ගරුත්වයක් නැතිව ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩකරමින් ඉන්න හෝ රැකියාව අහිමිවෙලා වැටුපක් නොලබා නිවෙස්වලට ගාල් වී සිටින සහෝදරියන් . ඒ වගේම වතු කම්කරු ප්‍රශ්නය සුවිශේෂී ප්‍රශ්නයක් ලෙස අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නයත් කාන්තා ව්‍යපාරයක් ලෙස කතා කළ යුතු ප්‍රශ්නයක් ලෙස අපි දකිනවා. ඒ වගේම ඈත දිස්ත්‍රික්කවල සහෝදරියන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැනීම හරහා බරපතල සමාජ පීඩාවකට ලක්වෙමින් ඉන්නවා සහ ඔවුන් සියදිවි නසාගැනීමට පවා ගොදුරුවෙමින් ඉන්නවා.

මේ සියලු කරණා එක්ක සමාජයේ තියෙන පොදු පීඩනයට අමතරව ස්ත්‍රීන්ට පොදුවූ විශේෂ පීඩාවක් තියෙනවා කියලා අපි කාන්තා ව්‍යාපාරයක් ලෙස නිශ්චිතව දකිනවා. කොවිඩ් වසංගත තත්ත්වය තුළ මේ තත්ත්වය වැඩිවෙලා තියෙනවා මිසක් මේ තත්ත්වය අඩුවෙලා නැහැ. ඒ නිසා මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්කරගෙන තියෙනවා වසංගතයේ ලාභය උන්ට – කඳුළ ස්ත්‍රීන්ට, නොයිවසමු! සටන්වදිමු! කියන එක.

වසංගතය ඇතුලේ ස්ත්‍රීන් තමයි වැඩිපුරම පීඩාවට පත්ව ඉන්නෙ. නමුත් ස්ත්‍රීන් හිතනවා අපි ඉවසන්න ඕනා මේක වෙනුවෙන් අපිට කරන්න දෙයක් නැහැ කියලා. අපි විශ්වාස කරනවා නැහැ අපිට කරන්න දෙයක් තියෙනවා , අපි යමක් කළ යුතුයි කියලා. ඒ කළහැකි දේ වෙනුවෙන් අපි මේ වෙලාවෙ පෙරමුණ ගන්න ඕනා. ලෝකය පුරාම වැඩකරන ස්ත්‍රීන් තමන්ගේ අභිමානය වෙනුවෙන්, අයිතිවාසිකම්, නිදහස වෙනුවෙන් සටන් වදිනවා. අපි විශ්වාස කරනවා ඒ සටන් වැදීම කාන්තා දිනයකට විතරක් සීමා වියයුතු නැහැ. ඕනෑම සටනක් ඇතුළේ අපි අපේ නියෝජනය පෙන්නන්න ඕනා. ලෝකය පුරා මේවෙනකොටත් ඇවිලයන සටන් ඇතුලේ ස්ත්‍රීන් නියෝජනය කරනවා. අපි දැක්කා ඉන්දීය ගොවි අරගලයේ ස්ත්‍රීන් නියෝජනය කරන විදිහ. ඒ නිසා ස්ත්‍රීන් දුබලයි කියලා හිතන සමාජයකට අපි ජාත්‍යන්තර කාන්තා දිනයේදී කියනවා ඒ ආකල්පය වෙනස් කරන්න මැදිහත්වීමක් කළ යුත්තේත් ස්ත්‍රීන්මයි.

මේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී එක පැත්තකින් තමන් ස්ත්‍රීන් විදිහට මේ සමාජයේ පත්වෙලා ඉන්න පීඩාවට එරෙහිව ඔබ අරගල කළ යුතුයි. අනිත් පැත්තෙන් කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළෙත් ඔබ නැවත වතාවක් පීඩාවට පත්වීමට විරුද්ධව ඔබ අරගල කළ යුතුයි. ඒ අරගල කළ යුත්තේ තනියෙන් නෙමෙයි. අපි විශ්වාස කරනවා අපේ පොදු විමුක්තිය අපිට දිනාගන්න හම්බවෙන්නෙ උරෙන් උර ගැටී පිරිමින් සහ ගැහැණුන් සියලු දෙනා එකට එක්ව කරන අයිතිවාසිකම් සටන් ඇතුලේ විතරයි. විශේෂයෙන් ලාංකීය ස්ත්‍රීන් මේ පවතින නිර්ලජ්ජිත තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය කෙරෙන දේශපාලන මැදිහත්වීමක් කරන්න ඕනා. ඔවුන් ඒ දේශපාලන මැදිහත්වීම කරන්න අවශ්‍ය කෙරෙන එක පැත්තකින් තමන් තුළ තියෙන ආකල්පමය වෙනස සංස්කෘතික වෙනස සමාජමය වෙනස පිටු දකින්න ඕනා. ඔවුන් ශක්තිමත් ගැහැණුන් බවට පත්වෙන්න ඕනා. ශක්තිමත් අරගල කරුවන් බවට පත්වෙන්න ඕනා. මේ වෙලාවෙ කොවිඩ් වසංගතය ඇතුලේ අපි ඉවසන්න ඕනා කියන එක පැත්තකට දාලා ඒ තුළත් අපි අපේ සටන ඉදිරියට අරන් යමු. නොයිවසමු! සටන්වදිමු! මාර්තු 8වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනයේ ඔබ වෙනුවෙන් සටන් කරන්න, මුළු සමාජයක් වෙනුවෙන් සටන් කරන්න, සමස්ථ ස්ත්‍රී පරපුර වෙනුවෙන් සටන් කරන්න. ලෝකය පුරාම වැඩකරන පීඩාවට පත්වෙන තමන්ගේ ජීවිතය මේ වෙලාවේ අගතියට පත්වෙලා තියෙන සියලු සහෝදරියන් වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය අවියක් බවට පත්කරගෙන මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ සටන් වදින්න අපිත් එක්ක එකට එකතු වෙන්න කියලා අපේ රටේ සියයට 52ක් වූ සහෝදරියන්ට ආරාධනා කරනවා. ජාත්‍යන්තර කාන්තා දිනය හුදු සැරසිල්ලක් බවට පත්කරගන්නෙ නැතුව මේක අරගලයක් බවට පත්කරගන්න ඔබේ අයිතිවාසිකම් දිනාගන්න අවශ්‍ය කෙරෙන මැදිහත්වීමක් කරන්න පුළුවන් ශක්තිමත් ගැහැණුන් බවට පත්වෙන්න එක් පියවරක් බවට කාන්තා දිනය පත්කරන්න කියන ඉල්ලීම අපි කරනවා. “

leave a reply