Breaking News

සනීපාරක්ෂක තුවාවලට බර අවිවලටත් වඩා වැඩි බදු අයකරන රනිල් කාන්තාව ශක්තිමත් කරනවලු!

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙරට ජාතික උත්සවයට එක්වෙමිනි.

”ඒ, ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්න තේමා කරගනිමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත. වැදගත් කෙටුම්පත් දෙකක්.”

ඊයේ දිනයේදීම වෙරිටේ රිසර්ච් අනාවරණය කළේ සනීපාරක්ෂක තුවා සඳහා අයකරන බදු ඉහළ දමා ඇති බවයි. මේ බදු පැනවීම සියයට 47.1කි.

PublicFinance.lk වෙබ් අඩවියෙන් සිදු කළ සමීක්ෂණය පවසන්නේ සනීපාරාක්ෂක තුවා සඳහා වැට්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන, සෙස් සහ සමාජ ආරක්ෂණ යන බදු වර්ග හතර පනවා ඇති බවටයි.

අදාළ බදු ප්‍රතිශතය රන් ආභරණ, සේද, ගෝල්ෆ් ක්‍රීඩා භාණ්ඩ සහ හමුදා උපකරණවලට වඩා අධික අගයක් ගන්නා බව සඳහන්.

රන් ආභරණ සඳහා වැට්, සාමාන්‍ය බදු සහ සමාජ ආරක්ෂ බදු ඇතුළත් වනවා.

සේද, ගෝල්ෆ් ක්‍රීඩා භාණ්ඩ සහ හමුදා උපකරණ සඳහා ඇතුළත් වන්නේ, වැට් හා සමාජ ආරක්ෂණ බදු පමණයි.

රනිල් කියන ආකාරයෙන් කාන්තාව සවි බල ගැන්වීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ කාන්තාවන්ට පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂාව සුරැකෙන පරිසරයක් නිර්මාණය කිරීමයි.

මේ මොහොත වනවිට ඒ කිසිවක් සිදු නොවන බව පැහැදිලිය. විවිධාකාරයේ බදු නිසා සියලු ආහාර ද්‍රවයවල මිල ඉහළ ගොස් ඇති නිසා කාන්තාවන්ගේ පෝෂ්‍යදායි ආහාරයක් ලැබීමේ අයිතිය අහිමිවී තිබේ.

ඊට අමතරව නිදහස් සෞඛ්‍ය සේවය දුර්වල වීම, සනීපාරක්ශක ද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි හේතු නිසා කාන්තාවන්ගේ සෞඛ්‍ය අයිතියද අහිමිවෙමින් පවතියි.

එසේම තවත් විශේෂ කාරණයක් වන්නේ විදුලි ගාස්තු සහ ගෑස් ඉහළ යාම නිසා කාන්තාවන්ගේ ගෙදර දොර වැඩ කටයුතු තවත් සංකීර්ණ වී තිබීමයි. බොහෝ කාන්තාවන්ට සිදුව ඇත්තේ විදුලි බිල සහ ගෑස් වියදම අඩුකර ගැනීම වෙනුවෙන් පැරණි සහ සංකීර්ණ ක්‍රම හරහා ඔවුන්ට තම ගෙදර දොර වැඩකටයුතු සිදුකර ගැනීමයි.

අද කාන්තාව ජීවත් වන්නේ මෙවැනි පරිසරයකයි. එම පරිසරය නිර්මාණය වූවේ රනිල් වික්‍රමසිංහලා ඇතුළු පාලක නඩය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. කාන්තාව සවිබල ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ පනත් ගෙන ඒම නොව මෙම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි.

පහත වගුවෙන් දැක්වෙන්නේ රන් ආභරණ, සේද, ගෝල්ෆ් ක්‍රීඩා භාණ්ඩ සහ හමුදා උපකරණවලට වඩා වැඩි බදු ප්‍රතිශතයක් අයකරන ආකාරයයි.

leave a reply