නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ගොඩනැගුනු පුළුල් මහජන ව්‍යාපාරය ආණ්ඩුව දණ ගැස්වීමට සමත්වුවද තවත් තවත් ජයගැනීමට කොටසක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු පවසන්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණය කරන්න ඒවා විකුණන්න අදාළ රජයේ ප්‍රතිපත්තිය තවමත් එසේම පවතින නිසා එයට එරෙහි සටන අඛණ්ඩව සිදුකළ යුතු බවයි. අද(02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,
“ඊයේ කැබිනට් මණ්ඩලය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට හෝ වෙනත් සමාගමකට ලබා නොදී එහි අයිතිය වරාය අධිකාරිය යටතේම තියාගන්න තීරණය කරා. ඊට අමතරව කැබිනට් පත්‍රිකාවේ තියෙනවා තවමත් ඉදිකොට නැති කොළඹ වරායේ බස්නාහිර ජැටිය ඉදිකරලා ඒ බස්නාහිර පර්යන්තය ඉදිකිරිම සඳහා වූ ආයෝජන කැඳවන්න සහ ඒ ආයෝජන හරහා එහි අයිතිය පවරන්න ඉන්දියානු සමාගම් සමඟ සාකච්ඡා කරනවා කියලා. මේ කැබිනට් පත්‍රිකාවේ අදහස් දෙකක් තියෙනවා. එක්පැත්තකින් මෙතෙක් කල් අපි සටන් කරපු නැගෙනහිර ජැටිය විකුණන අදහස ආණ්ඩුව අතහැරගෙන තියෙනවා. හැබැයි ඒත් එක්ක අලුත් ප්‍රශ්නයක් ඉදිරියට ගෙනල්ලා තියෙනවා. නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියානු සමාගමක් වෙත දෙන්න උත්සාහ කරනවා. දැනට දන්නා තොරතුරුවලට අනුව එම ජැටිය නිර්මාණය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවත් අදාළ ඉන්දියානු සමාගමට දීලා ඉන්පසු ජැටිය පවත්වාගෙන යද්දී එහි අයිතිය සියයට 15ක් පමණක් වරාය අධිකාරිය සතුව තබාගෙන සියයට 85ක් ඉන්දියානු සමාගමට දෙන්න තමයි සාකච්ඡා පවත්වන්න යෝජනා වෙලා තියෙන්නෙ. තවම ඉන්දියාව පැත්තෙන් හෝ ඉන්දියානු සමාගමක් පැත්තෙන් අවසන් අදහසක් ඉදිරිපත් වෙලා නැහැ. නැගෙනහිර ජැටිය විකුණන්න එපා කියන සටන් පාඨය ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් නැගෙනහිර ජැටියට අදාළ සටන් පාඨය අපි ගෙනාවෙ වඩා මහජන දේපොළ පෞද්ගලිකරණය නොකරනු කියන සටන් පාඨයත් සම්බන්ධ කරලා. ඒ දේශපාලන සටන් පාඨය ජයග්‍රහණය කරගන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා නැගෙනහිර ජැටිය වෙනුවට වෙන එකක් එනවා. දිගින් දිගටම සටන්වල අපිට මේ අත්දැකීම තියෙනවා. උදාහරණයක් විදිහට සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව දැවැන්ත මහජන අරගලයක් ගියා. ඒ අරගලය හරහා නිශ්චිත සටන් පාඨය ජයග්‍රහණය කරා. සයිටම් උපාධි කඩය අහෝසි කරා. හැබැයි අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහි දේශපාලන සටන් පාඨය ජයග්‍රහණය කරගන්න බැරි වුණා. ඒ නිසා ඇබර්ඩීන් හරි වෙන නමකින් හරි පෞද්ගලික විශ්ව විද්‍යාල පැමිණීමේ අවදානමක් සහ පැමිණීමට එරෙහිව සටන් කිරීමේ විභවයක් හැමතිස්සෙම තියෙනවා. නැගෙනහිර ජැටිය සටනේදීත් ඒ නිශ්චිත සටන ජයග්‍රහණය කරාට අපි ඉස්සරහා තවත් සටන් රාශියක් ඉතුරුවෙලා තියෙනවා. රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණය කරන්න ඒවා විකුණන්න අදාළ රජයේ ප්‍රතිපත්තිය එහෙම්මම තියෙනවා. උදාහරණයකට කැබිනට් මණ්ඩලය නැගෙනහිර ජාතියට අදාළ කැබිනට් පත්‍රිකාව නිකුත්කරන අතර ගත්ත තව තීරණයක් තමයි අම්පාර දිස්ත්‍රික්කයේ රඹකැන් ඔය අක්කර 2750ක් වගාවන් සඳහා සමාගම්වලට පවරන්න. ඒ ප්‍රදේශයේ ගම්වැසියෝ, ආදිවාසීන්, පරිසරවේදීන් මැදිහත්වෙලා මීට පෙර ඒ ප්‍රදේශයේ සිදුවෙමින් පවැති වන විනාශය නැවැත්තුවා. දැන් නැවත තීරණයක් එනවා රඹකැන් ඔයෙන් තව අක්කර 2750ක් දෙන්න. මේ ධනවාදී ප්‍රතිපත්තිය මෙහෙම පවතිනකම් මේ ජාතියේ සටන් දිගටම ඉදිරියට එනවා. අපි මේක ජයග්‍රහණයක් කියන්නෙ දීර්ඝ ගමනක එක පියවරක් සාර්ථකව තියාගන්න පුළුවන් වෙච්ච නිසා. නමුත් සටන් අඛන්ඩයි. වරායේ නැගෙනහිර ජැටිය පමණක් නෙමෙයි වරායේ බටහිර ජැටියයි, ජයා පර්යන්තයි, රැජින ජැටියයි මේ ඔක්කොම තියෙනවා. කොළඹ වරාය විතරක් නෙමෙයි. හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය, කන්කසන්තුරේ වරාය තියෙනවා. මේ හැම එකක්ම රැකගැනීමේ අරගලයක් විවෘත වෙලා තියෙනවා. වරායවල් විතරක් නෙමෙයි. හෝටල් සංස්ථාවේ හෝටල් ටික විකුණන්න යනවා. රාජ්‍ය බැංකු පෞදගලිකරණය කරන්න යනවා. අධ්‍යාපන පෞද්ගලිකරණය සඳහා අලුත් පනතක් ඇවිත් තියෙනවා. සෞඛ්‍ය සේවය පියවරෙන් පියවර පෞද්ගලිකරණය කරමින් යනවා. මේ සියලු දේ රැකගැනීම සඳහා වූ පුළුල් අරගලයක් තියෙනවා.
ඒ අතර ගෝලීය බල අරගලය සම්බන්ධ ප්‍රශ්නෙ තියෙනවා. ඊයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් කියලා තියෙන්නෙ කලින් ආපු එකඟතා රකින්න කියලා. කලින් ඇති කරගත්තු එකඟතාත් පාලකයන්ගේ අත අඹරවලා ඇතිකරගත්තු එකඟතා. ඉන්දියාවේ මෙම හැසිරීම විමර්ශනශීලීව ලංකාවේ ජනතාව අධ්‍යනය කළ යුතුයි. විශේෂයෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය. ඒකෙ රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටින රෝ ඔත්තු සේවා නිලධාරීන්. අද උදෑසන වාර්තා වුණා කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවේ චෙන්නායිවලදී අත්අඩංගුවට ගත්තා කියලා. Times of India වාර්තා කරන විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායකට බෝම්බ ගහන්න මැදිහත්වුණු කෙනෙක් තමයි මේ පුද්ගලයා. චන්ද්‍රිකා බණ්ඩාරනායකට බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා අවුරුදු 22ට පස්සේ ඉන්දියානු පොලීසිය කිඹුලා ඇලේ ගුණාව අත්අඩංගුවට ගන්නවා. හැබැයි පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි කියන සාරා පුලස්තිනි ඉන්දියාවේ ඉන්නවා කියලා තිබුණට එයාව හොයාගන්න විදිහක් නෑ. ඊයේ නැගෙනහිර ජැටිය ගැන තීරණය ගැනීමයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමයි. අද උදේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමයි හරහා දෙන සංඥාවල් මොනවද?
අපිට ඉන්දියවල් දෙකක් තියෙනවා. එක ඉන්දියාවක් මෝදීලාගේ, අදානිලාගේ, අම්බනිලාගේ ඉන්දියාව. තවත් පැත්තකින් තියෙනවා මාස දෙකක් තිස්සේ ඉඩම් කොල්ලයට එරෙහිව සටන් කරන ගොවීන්ගේ ඉන්දියාව. ඒ සටන සහය දෙන කම්කරුවන්ගේ ඉන්දියාව සහ ඉන්දියානු පීඩිත ජනතාවගේ ඉන්දියාව. ඉන්දියානු මහ කොමසාරිස් නියෝජනය කරන්නේ මෝදීලාගේ, අදානිලාගේ, අම්බනිලාගේ ඉන්දියාව. ආණ්ඩුව ඉන්දියානු මහ කොමසරි කාර්යාලයේ නිවේදනය ගැන තමන්ගේ ස්ථාවරය කියන්න ඕනා. අපිට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලියි. මේ ආණ්ඩුව බලයට එනකොට ජාතිකවාදය, දේශප්‍රේමය ලොකු කතා කිව්වා. දැන් තමන්ගේ ස්ථාවරය කිව්වම ඒ ජාතිකවාදයන්වල තියෙන බංකොලොත් භාවයත් අපිට හොදට බලාගන්න පුළුවන්. අපේ පැත්තෙන් ගත්තොත් ඉන්දියානු පාලක පන්තියේ මේ තර්ජනයට අපි මූන දෙන්න බලාපොරොත්තු වෙන්නෙ පීඩාවට පත්වෙච්ච ජනතාව, ගොවියෝ කම්කරුවෝ එක්ක එක්ක එකතු වෙලා.
ඊයේ පෙරේදා රඟ දැක්වුණු ජවනිකා දිහා බැලුවම පේන්නේ නැගෙනහිර ජැටිය විකුණනවාට ලොකු විරෝධයක් ආණ්ඩුව ඇතුලේ තිබුණා වගේ. හැබැයි අපි දන්නවා මීට සතියකට කලින් ආණ්ඩුව හිටියෙත් ස්ථිරවම නැගෙනහිර ජැටිය විකුණනවා කියලා. විෂය භාර ඇමති ඇවිත් කිව්වේ ස්ථිරවම මේක විකුණනවා වන විකල්පයක් නැහැ කියලා. ආණ්ඩුවේ ඇතුලේ මේක විකුණනවාට විරුද්ධව කවුරුත් හිටියේ නැහැ. එහෙන් මෙහෙන් කන් කෙඳිරි ගාන අය හිටියා. ගෝඨාභය රාජපක්ෂගේ පුංචි මොළේට මේ සටනේ විභවය මොකක්ද කියලා තේරෙන්නෙත් නැහැ. එයා හිතන් ඉන්නෙ හැම එකම හමුදාව දාලා බේරන්න පුළුවන් කියලා. අඩුමගානෙ වෘත්තීය සමිති නායකයෝ සාකච්ඡාවකට ගිය වෙලාවේ එයා විතරක් කතා කරලා නැගිටලා ගිය මනුස්සයෙක් එයා. ඊයේ හවස වෙද්දී එයාව දණ ගස්සන්න පුළුවන් මහජන ව්‍යාපාරයක් නිර්මාණය වුණේ කොහොමද? දැන් මේ ජයග්‍රහණයේ පියවරු වෙන්න ගොඩක් අය එනවා. උදාහරණයකට මහින්ද රාජපක්ෂ එනවා. මහින්ද රාජපක්ෂගේ එකක් තියෙන්නෙ එය පළපුරුදු දේශපාලනඥයෙක් විදිහට එයා දන්නවා මෙතන හැදුනු මහජන ව්‍යාපාරයේ මොනතරම් විභවයක් තියෙනවද කියලා එයා දන්නවා. ඒකට ආණ්ඩුවට සහය දුන්න අය පවා එකතුවුණා. ඔහු දන්නවා මේ මහජන ව්‍යාපාරය තවදුරටත් වර්ධනය වුණානම් එයාව නැවත ගිහිල්ලා මැදමුලනේ ජනේලයක එල්ලන්න තිබුනා කියලා. නැත්තම් එයාගෙ මල්ලිව ගිහිල්ලා ජනේලෙක එල්ලන්න තිබුණා. ඒවගේම මේ මහජන ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කරානම් එහෙම රාජ්‍ය දේපොළ විකුණගෙන කන රාජ්‍ය ප්‍රතිපත්තියටම එරෙහි දැවැන්ත බලයක් නිර්මාණය කරන්න තිබුණා. ඒ වගේම මේක තව දුර ගියානම් නව ලිබරල් ධනවාදයටටම එරෙහි පුළුල් මහජන බලයක් ගොඩ නැගෙන්න ඉඩ තිබුණා. මහින්ද රාජපක්ෂ ඒක දන්න නිසා තමයි අන්තිම මොහොතේ ඉස්සරහට ආවෙ. කට අරින්නේ නැතුව ඉඳලා එකපාරටම පෙරේදා ඉඳලා කතා කරන්න ගත්තා. සුරංගනා කතාවල තියෙනවා ගෙම්බා ඉන්නවා, කුමාරිකාවක් ඇවිල්ලා හාද්දක් දුන්නට පස්සෙ ගෙම්බා වීර කුමාරයෙක් බවට පත්වෙනවා. ඒ වගේම ගෙම්බො වගේ හිටපු මහින්ද රාජපක්ෂයි, විමල් විරවංශයි, උදය ගම්මන්පිලයි දවස් දෙකෙන් නැගෙනහිර ජැටිය බේරගන්න විරෝයෝ බවට පත්වුණා. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් අන්තිම මොහොතේ දුවගෙන ඇවිල්ලා ප්‍රකාශයක් කරා. මේ සියල්ල දන ගස්වන්න පුළුවන් වුණේ පුළුල් මහජන ව්‍යාපාරයේ හයියෙන්. විධායක ජනාධිපති කමකුයි 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විසින් ගත්ත දැවැන්ත බලයකුයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුයි සහිත ආණ්ඩුවක් දන ගැස්සුවේ ඒ මහජන හයියෙන්. මල්ලිගේ කෙණහිලිකම්වලට ලක්වෙලා ඇඩ්‍රස් නැතුව හිටිය අයියා සහ අයියගෙ යාලුවෝ ටික ඇවිල්ලා මල්ලිව බේරාගත්තා. එහෙම බේරාගත්තේ නැත්තම් එයාවත් ජනේලෙ එල්ලා තමයි අර මහජන ව්‍යාපාරෙ කෙළවර වෙන්නෙ. ඔය පස්සෙ ඇවිල්ලා වොයිස් කට් වීරයෝ බවට පත්වුණු අය නෙමෙයි මේ සටනෙ පුළුල් ව්‍යාපාරයක් හැදුණා. ඒ ව්‍යාපාරය විසින් තමයි ආණ්ඩුව දන ගසවලා මේ තීරණය ගන්න සැලැස්සුවේ. හැබැයි තව ඉතුරු වෙච්ච කොටසක් තියෙනවා. එකක් තමයි බටහිර ජැටිය විකුණන්න යනවා. ඒක BOT (Build Operation Transfer )ක්‍රමයට දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. මේක BOO ක්‍රමය Build Operation Owned ක්‍රමය වෙයිද දන්නෙත් නැහැ. දේ ක්‍රමය වුණොත් සම්පූර්ණයෙන් ඉන්දියානු සමාගමට මේ පර්යන්තය අයිති වෙනවා. ඒ සටන ජයග්‍රහණය කිරීමේ වගකීමක් අපිට තියෙනවා. අද සිට අපි ඉස්සරහා සටනක් විවෘත වෙලා තියෙනවා. ඒ අරගලය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස උපරිම ශක්තිය ලබාදෙමින් මැදිහත් වෙනවා. නැගෙනහිර ජැටිය රැක ගැනීම සඳහා එක්වූ මහජන ව්‍යාපාරයේ ඉන්න සියලු පාර්ශව බස්නාහිර ජැටිය රැක ගැනීමේ අරගලය සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ”