ලංකාවේ පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ බලය ඉන්දියානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
එම නිවේදනයට අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය අතරතුර එළඹුණු ගිවිසුම ලංකාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව සහ රටේ ආර්ථික – දේශපාලන ස්වාධිපත්‍යය පිළිබඳව ද බරපතළ අවදානමක් බව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි.
එම නිවේදනය පහත දැක්වේ.
මන්ත්‍රීතුමියනි, මන්ත්‍රීතුමනි,
ඩිජිටල් හැඳුනුම්පතට අදාළ ඉන්දියානු මැදිහත්වීම
පසුගිය මාසයේ, එනම් 2024 දෙසැම්බර් 22 දින Sunday Times පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු. එම පුවත්පතට අමාත්‍ය විජිත හේරත් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය අතරතුර එළඹුණු ගිවිසුමකට අනුව ලංකාවේ පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ බලය ඉන්දියානු සමාගමකට ලබාදෙන බවයි.
ඊට අදාළ අවබෝධතා ගිවිසුම ජනවාරි මාසයේ අත්සන් කරන බවද ඔහු පවසා තිබේ. මෙය ලංකාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව සහ රටේ ආර්ථික – දේශපාලන ස්වාධිපත්‍යය පිළිබඳව ද බරපතළ අවදානමක් බව අපි අවධාරණයෙන් කියා සිටිමු.
ඩිජිටල් හැඳුනුම්පත පිලිබඳ කටයුතු ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන ඉතිහාසය පළමුව විමසා බැලීම වැදගත් වේ.
මේ වනවිට භාවිතා වන ජාතික හැඳුනුම්පතේ ඇත්තේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය යනාදි ජීව දත්ත (Bio – Data) සමූහයකි. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ (Biometrics) ඇතුළත් හැඳුනුම්පත් නිකුත් කිරීමට 2015 දී යහපාලන ආණ්ඩුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළේය. ඒ නව නීතියට අනුව ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස්වල අනන්‍යතා ලක්ෂණ යනාදි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කිරීමට රජයට අයිතියක් ලැබේ. මෙය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සම්බන්ධ ප්රශ්නයකි.
ඒ නිසා රජයට පුද්ගලයකුගේ ජීව දත්ත ගත හැකි වුවත් ශරීරයට අදාළ ජෛවමිතික ලක්ෂණ ගත නොහැකි ය. ඒ සඳහා විශේෂ අධිකරණ නියෝග අවශ්‍ය වේ. 2015 දී යහපාලන ආණ්ඩුව අවුරුදු 250ක් තිබුණු පුරවැසියාගේ ශරීරය සඳහා වන අයිතිය උදුරා ගනිද්දී පාර්ලිමේන්තුවේ එයට එරෙහිව තිබුණේ එක ඡන්දයක් පමණකි. එය එක්තරා ආකාරයකට ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් පිළිබඳව දක්වන ආකල්පය පිළිබඳ සංඥාවකි.
ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පිලිබඳ ප්රශ්නය ජෛවමිතික ලක්ෂණ රජය සතු කර ගැනීමට පමණක් සීමා නොවේ. ඩිජිටල් හැඳුනුම්පතට අදාළව නිර්මාණය කරන දත්ත ගබඩාව පුරවැසියන්ගේ සියලු දත්තවල ඒකාබද්ධතාවයක් ගොඩ නගයි. වත්මන් නීතිමය පදනමට අනුව ද පුරවැසියා පිළිබඳ තොරතුරු එක් එක් රාජ්‍ය ආයතනවලින් ලබා ගනුයේ එම ආයතනයේ නිශ්චිත අවශ්‍යතා මත පමණක් පදනම් වෙමිනි. නිදසුනක් ලෙස ග්‍රාම නිලධාරීවරයා සතුව අදාළ ප්‍රදේශයේ ජනතාවගේ පවුල් සහ නිවෙස්වල පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව රජයේ රෝහල්වල සායන දත්ත ආදී පුද්ගල සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පුද්ගලයන්ගේ වත්කම් – බැරකම් තොරතුරු තිබෙන අතර බැංකු සතුව පුද්ගලයන් සතු ගිණුම් පිළිබඳ සහ ණය පිළිබඳ තොරතුරු ඇත. එම දත්ත එකිනෙකින් වෙනස් ආයතන සතුවන අතර එක් ආයතනයකට වෙනත් ආයතනයක් සතුව පවතින තොරතුරු ලබා ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා අදාළ පුද්ගලයාගේ අනුමැතිය හෝ අධිකරණ අනුමැතියක් අවශ්‍ය වේ. පුරවැසියන් සතු සියලු තොරතුරු එක තැනකට ඒකාබද්ධ කර, ඒවා පවුල් ගස් ආකාරයෙන් එකිනෙක සමග සම්බන්ධ කර රාජ්‍යය සතු කර ගැනීම මෙතෙක් එම ක්ෂේත්රයට අදාළව පිළිගෙන තිබුණු ජනතා අයිතිවාසිකම් උඩුයටිකුරු කිරීමකි.
එමෙන්ම එම තොරතුරු අන්සතු වීමේ සහ එමගින් පුද්ගලයන් අනතුරුවලට ලක්වීමේ සම්භාවිතාව ද ඉතා අධිකය. විශේෂයෙන් එම තොරතුරු වෙළඳපළ සහ සමාගම් සතුවීමෙන් සිදුවන ප්‍රශ්න ඉතාම බරපතළ ය.
ඩිජිටල් හැඳුනුම්පතේ ප්රශ්නය ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රශ්නයක මට්ටමේ සිට අද වනවිට ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ලංකාවේ ස්වෛරීත්වය පිලිබඳ ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. දැන් හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල අත්පත් කර ගැනීමට උත්සාහ දරයි. මෙය ආරම්භ වූයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 ජුලි මාසයේ නව ඩිජිටල් ජාතික හැඳුනුම්පත සැකසීම සඳහා ප්‍රසම්පාදන පිරිවිතර සකස් කිරීමත් සමගිනි.
ඉන් අනතුරුව 2022 ජනවාරි 28වන දා ඉන්දියානු සමාගමකින් නව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමත් සමග ඉන්දියාවට මේ අවකාශය විවෘත විය. ඉන් අනතුරුව 2023 මැයි 8වන දා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළ අතර මෙම ටෙන්ඩරයට ඉල්ලූම් කළ හැක්කේ ඉන්දියානු සමාගම්වලට පමණයි යනුවෙන් කොන්දේසියක්ද එහි විය.
මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා ලංකා රුපියල් බිලියන 41.09ක් වැය වන අතර එයින් ලංකා රුපියල් බිලියන 22.33ක් ඉන්දියාවෙන් ලබා දීමට පොරොන්දු වී සිටියේ ය. ලංකාවේ ම ජනතාවගේ දත්ත අත්පත් කර ගැනීමට ඉන්දියාව වැය කරන්නේ ඉතා සුළු මුදලකි. මේ ටෙන්ඩරය සඳහා 2023දී ලංසු ඉදිරිපත් කළේ ඉන්දියානු සමාගම් දෙකක් පමණි. ඒ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සහ ප්‍රෝටීන් ටෙක්නොලොජීස් සමාගමයි. ඒ අතරිනුත් ඉතාම වැරදි ක්‍රියා සඳහා අසාදු ලේඛනගත වී සිටින මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට ටෙන්ඩරය ලබා දීමට යද්දී පැනනැගුණු විරෝධතා නිසා ටෙන්ඩරය අවලංගු කෙරිණි.
ඉන්පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව උත්සාහ කළේ නැවත අලූතෙන් ටෙන්ඩර් කැඳවා වෙනත් ඉන්දියානු සමාගමක් තෝරාගෙන දත්ත ලබා ගැනීමේ බලය ඉන්දියාවට ම ලබා දීමට ය. නමුත් පැමිණි ජනතා විරෝධය හමුවේ එය සාර්ථක නොවී ය.
නමුත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් කරන බලපෑම අවසන් නොවන බව අනාවරණය වුයේ 2024 පෙබරවාරි පළමුවන දා ලංකාවේ පවතින ජාතික හැඳුනුම්පත වෙනුවට ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබා ගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පැවසීමත් ස මගය. පසුගිය වසරේ කැඳවූ ටෙන්ඩරයේ ප්‍රශ්න තිබුණ ද මේ වසරේ මැද වනවිට යමක් සිදුවනු ඇති බව ද ඔහු පවසා තිබිණි.
ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒවාට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කෙසේ ද, ටෙන්ඩර් කැඳවීමේ කාල වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කා හට ද යන්න තීරණය කරන්නේ ඉන්දියාව ද? යන ප්‍රශ්න මෙහි දී මතුවේ.
මෙම නිදසුන්වලින් ද පෙනී යන්නේ සොච්චම් මුදලක් වැය කරමින් ලංකාවේ ම ජනතාවගේ දත්ත තමන් සතු කර ගැනීමට ඉන්දියාව විශාල බලපෑමක් කරමින් සිටින බවයි. වත්මන් ආණ්ඩුව ද ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ බලය ඉන්දියානු සමාගමකට ලබාදීමට තීරණය කරන්නේ එම බලපෑමට හසුවීමේ ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිලිය. එම සමාගම කුමක්ද, එය තෝරා ගත්තේ කුමන ක්‍රියාවලියක් ඔස්සේ ද යන්න පවා ආණ්ඩුව පැහැදිලි කර නැත.
ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට තමන්ගේ රටේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කර නැත. අපි ජීවත් වන යුගයේ රටවල් යටත්කිරීමට සහ මෙල්ල කිරීමට භාවිතා වන ප්‍රධාන අවි අතර තොරතුරු සහ දත්ත ද තිබෙන බව පැහැදිලි ය. අප ජීවත් වන්නේ තොරතුරු යුගයක වන අතර ජනතාවගේ තොරතුරු සහ දත්ත විදෙස් රටක් සතුවීම අතිවිශාල අවදානමකි. රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් භාවයට පත්කළ හැකි ය. ඉන්දියාව අද ඒ උපායමාර්ගික මැදිහත්වීම ලංකාවට සිදු කරමින් සිටී. ඒ හමුවේ ලංකාවේ ජනතාවගේ මහජන ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇත.
එබැවින් මෙම තත්ත්වය මැනවින් සලකා බලා, අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ලෙස ඔබව තෝරා පත්කළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඔබට තිබේ. ඩිජිටල් හැඳුනුම්පත් සම්බන්ධ කටයුතු ඉන්දියානු සමාගමකට පැවරීමේ තීරණය වහාම අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ද, නව තාක්ෂණ වර්ධනවල ප්රතිලාභ අත්පත් කර ගන්නා අතරම ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරන නව හැඳුනුම්පත් ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුමත කර ගන්නා ලෙ සද ඔබට යෝජනා කරමු.
මෙම විෂයයේ දී ඔබගේ දේශපාලන ප්‍රවේශය ඔබ පාර්ලිමේන්තුවට පත්කළ ජනතාවගේ අභිලාෂ සහ අයිතිය නියෝජනය කිරීම පිළිබඳව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පවරා ඇති ජනතා පරමාධිපත්‍ය බලය භාවිතා කරන ආකාරය පිළිබඳව ද ඔබගේ ස්ථාවරය සමාජයට අනාවරණය වන අවස්ථාවක් බව ද ඔබට සිහිපත් කර සිටිමු.
| වසන්ත මුදලිගේ
ජාතික විධායක සභික
ජන අරගල ව්‍යාපාරය
2025 ජනවාරි 05wasanthwaswas