ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව පවසමින් දෙසැම්බර් 14 දින මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවත්, ඉදිරියේදී දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවූ විගසම, 2024 සැප්තැම්බර් 19 වැනි දින ජාත්‍යන්තර ආයෝජකයින්බැඳුම්කර සමාගම් නියෝජිතයන් සහ අනෙකුත් දේශීය ණයහිමි සමාගම් නියෝජිත කණ්ඩායම් දෙකක් සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවයට අනුව 2024 නොවැම්බර් 25 දින, ශ්‍රී ලංකාව සිය තිබූ බැඳුම්කර හිමි පාර්ශව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා නිල ආරාධනයක් කරන ලදී. දෙසැම්බර් 12 වන දින ඒ සඳහා අදාළ සමාගම් වල අනුමැතිය ලැබුණු අතර මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ එයයි. මීට අදාළ කටයුතු දෙසැම්බර් 16 වනදා වනවිට අවසන් කෙරෙනු ඇති අතර දෙසැම්බර් 20 වනදා වනවිට අදාළ බැඳුම්කර හුවමාරු සිදුකෙරෙනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ. ඒ අනුව හිඟව ඇති ඩොලර් බිලියන 12.55ක් වටිනා බැඳුම්කර වෙනුවෙන් නව වටිනාකම් සහ නව කූපන් පොලී අනුපාතික සහිත නව බැඳුම්කර නිකුත් කෙරෙනු ඇත. මෙම ණය ගිවිසුම පසුගිය අගෝස්තු මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹුණු එකඟතාවයමය. එහි කිසිවක් වෙනස් වී නැත. සාකච්ඡා කර ඇත්තේ පැරණි එකඟතාව වෙනස් කිරීම ගැන නොව එය ක්‍රියාත්මක කරන දින සහිත සැලසුම පමණක් බව පෙනේ. මෙහි ප්‍රශ්නය වනුයේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජනවරම ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපායමාර්ගයෙන් බැහැර වීමට නිසාය. ජනවරම ලැබුණේ විකල්ප ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සඳහා වුව ජනතාවට කොලේ වසමින් වත්මන් ආණ්ඩුවද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මූලෝපාය ඔස්සේම ගමන් කරමින් සිටී. ආර්ථිකයට අතිශය විනාශකාරී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර එකඟතාව ඒ සඳහා එක නිදසුනකි. මේ අතර මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවය.
අතිශය සංකීර්ණ සහ අභියෝගාත්මක කාර්යයක් සම්පූර්ණ කිරීම ගැනත්, ලංකාවේ ජනතාවට අතිශය වාසිසහගත එකඟතාවයකට පැමිණි බවත් කියමින් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ආණ්ඩුව පුරසාරම් කියවන්නේ ඇත්ත වශයෙන් ලංකාව විශාල උගුලකට හසුව තිබියදීය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ඇති කරගෙන තිබෙන එකඟතාව ලංකාවට අතිශය අවාසිසහගත සහ ණය හිමි සමාගම් වලට වාසිදායක එකඟතාවයකි.
• මෙම ගිවිසුමට අනුව අපට ලැබෙන ණය කප්පාදුව සහ අප ගෙවිය යුතු පොලිය අපේ සාර්ව ආර්ථිකයත් සමග සම්බන්ධ කෙරෙන අතර එලෙස සම්බන්ධ කිරීම නම් කර තිබෙන්නේ Macro Economy Linked Bonds ලෙසිනි. එනම් 2025, 2026, 2027 වසර තුනේ ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 88.6ක සීමාවේ පැවතියහොත් අපට 28%ක ණය කප්පාදුවක් හිමි වන අතර එම අගය ඩොලර් බිලියන 92 වුවහොත් ණය කප්පාදුව 20%ක් වේ. අතර එම අගය ඩොලර් බිලියන 96 වුවහොත් ණය කප්පාදුව 15%ට අඩු වේ. පොලිය සම්බන්ධයෙන් තත්වයත් එලෙසම වන අතර අපේ දල දේශීය නිෂ්පාදිතය වර්ධනය වුවහොත් අපට වැඩි පොලියක් ගෙවන්නට සිදු වේ.
• දැනට අපේ ආර්ථිකයේ වර්ධනය සැලකීමේදී පෙනෙන්නේ මෙම අගය ඩොලර් බිලියන 94 වැනි අගයකට යා හැකි බවයි. එවැනි තත්වයක් යටතේ අපේ ණය කප්පාදුව 15%කට සීමා වන අතර 2028 දක්වා 6%ක වාර්ෂික පොලියකුත් ඉන් අනතුරුව 2038 දක්වා 9.75%ක අති විශාල පොලියකුත් අපට ගෙවීමට සිදු වේ.
• මෙමගින් අපට ලැබෙන ණය කප්පාදුව 15%ක් වගේ අවම අගයකි. මීට පෙර 2005දී ආජන්ටිනාවට 76.8%ක ණය කප්පාදුවක්, 2009දී ඉක්වදෝරයට 67.7%ක ණය කප්පාදුවක්, 2012දී ග්‍රීසියට 50%ක ණය කප්පාදුවක් ලැබුණු අතර 2024 ඔක්තෝබරයේ ඝානාවට 37%ක ණය කප්පාදුවක් හිමි විය.
• අපට 15%ක හෝ ණය කප්පාදුවක් ලැබීමත් හුදු මායාවක් පමණි. අපට එවැනි ණය කප්පාදුවක් ලැබෙන බව පවසන්නේ NPV ^Net Present Value& හෙවත් ශුද්ධ වර්තමාන අගයට අදාළ සමීකරණය මගිනි. නමුත් තුන්වන ලෝකයේ රටවලට එම සමීකරණය භාවිතා කිරීමේදී විශාල වරදක් සිදුවන අතර සැබවින්ම අපට 15% ණය කප්පාදුව හිමි වන්නේද නැත.
• නමුත් අපට වැඩි පොලියක් ගෙවීමට සිදුවේ. කලින් ගිවිසුම් වලට අනුව අප ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 2030 වනවිට ණය සහ සමස්ත පොලිය ලෙස ඩොලර් බිලියන 16.3ක් ගෙවිය යුතුව තිබිණි. ආණ්ඩුවේ අලූත් එකඟතාවයට අනුව අපට 2038 දක්වා ණය ගෙවීමට කල් ලැබෙනමුත් ඒ වනවිට අපට ඩොලර් බිලියන 18.6ක් ගෙවීමට සිදුවේ. එනම් අපගේ ණයබර ඩොලර් බිලියන 2.3කින් වැඩිවේ. මේ කවර ආකාරයකින් බැලුවත් මෙම එකඟතාව අතිශය අවාසිසහගතය.
ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය හරහා නිවේදන නිකුත් කරවමින් සාවද්‍ය සමාජ මතයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ ලංකාවේ ජනතාව කබලෙන් ලිපට වැටෙන ගිවිසුමකට එළඹෙන අතරය. එපමණක් නොව තවත් වසර 15ක කාලයක් පුරා ලංකාවේ ආර්ථිකයේ ඉරණම තීන්දු කරන මෙම එකඟතාව ඇති කර ගන්නේ එය ජනතාවට හෙළිදරව් කිරීමෙන් තොරවය. එපමණක් නොව අවම වශයෙන් එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් තොරවය. මෙකී සාකච්ඡා වලට ලංකාවේ රජය සහ ජනතාව නියෝජනය කරමින් සහභාගී වුයේ කවරෙක්දැයි තවම හෙළිදරව් කර නැත. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලිය පාරදෘශ්‍යභාවයෙන් තොරව ජනතාවගෙන් වසන් කර ඇත. පසුගිය සතියේ ජනාධිපති ආර්ථික උපදේශක සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව තමන් එම සාකච්ඡා වලට රජය පාර්ශවයෙන් සම්බන්ධ වූ බව තහවුරු කළේය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් වන ලංකාවේ සමාගම්ද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගෙන ඇති අතර ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 1.8කි. මේ වන විටත් ලංකාවේ රජය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් කවුරුන්දැයි හෙළිකර නැති නිසා මෙම අගය මීටත් වඩා වැඩිවිය හැකිය. ඒ බැඳුම්කර වල ප්‍රාථමික ගැනුම්කරුවන් ඒවා ඉතාම අඩු ලංසුවට වෙළඳපොලේ විකිණීමේදී ද්විතියීක ගැනුම්කාර සමාගම් ඒවා මිලට ගත් හෙයිනි.
කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා වල දෙපාර්ශවයේම වාඩිවී ඇත්තේ මූල්‍ය ප්‍රාග්ධනයේ අභිලාෂයන් නියෝජනය කරන ණය හිමි සමාගම් වල නියෝජිතයන් බව පැහැදිලිය. ණය හිමියන්ගේ නියෝජිතයන් එකම මේසයේ දෙපැත්තේ වාඩිවී ණය හිමි සමාගම් වලට වාසිදායක ගිවිසුම් වලට එළඹීම ‘මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක කාර්යයක්’, ‘ජනතාවගේ සුවිශේෂී ජයග්‍රහණයක්’ ආදී ලෙස පින්තාරු කිරීම සමාජ නොමග යැවීමකි. සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටීම වෙනුවට වහාම මෙම ක්‍රියාවලිය අත්හිටුවා, මෙම එකඟතා පිලිබඳ සත්‍යය සමාජයට හෙළිදරව් කර, ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ජනතාවට ලබාදෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. මේ නොමග යවනසුළු ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසත් ජනතාවගේ අයිතිවාසිකම් සහ ලංකාවේ ආර්ථිකයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන ලෙසත් අපි ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.