Breaking News

ඉන්දු ලංකා  ගිවිසුම්  අත්සන් තබා දින14 යි, තවමත් ඒවා ලැබුණේ නැහැ – පුබුදු ජයගොඩ

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධිගේ ලංකා සංචාරය  ශ්‍රී ලංක රජය සමඟ ගිවිසුම් හතකට අත්සන් තබනු ලැබුවා . මෙසේ  මෝදි සමඟ අත්සන් තැබූ ගිවිසුම් හෙළිදරව් කරන්නට කියා සමාජය තුළ කතිකාවත නිර්මාණය වෙන්නේ මෝදිගේ පැමිණීමටත් ප්‍රථම සිටයි . වර්තමාන රජය මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා වෙනුවට සිදු කරනු ලැබුවේ ඒවා පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීම පමණයි .

දිගින් දිගටම මේ ගිවිසුම් පිළිබඳව විමසන විට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් වුණේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙක්ට මේවා ලබා ගැනීමට හැකි බවයි . කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මිට සති දෙකකට ඉහත පැවති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් කියා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කැමති අයට  ලබා ගැනීමේ හැකියාව තියෙන බවයි .

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා youtube නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා . තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් ලබා ගැනීම සඳහා අපි කටයුතු කර තිබෙනවා කියා .

අප්‍රේල් 17  වන දා  රතු ඉර දේශපාලන සංවාදයේදී  සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් ඇතුළු විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින් දෙදෙනා මේ සම්බන්ධයෙන් කරුණු විමසන විට  සෞඛ්‍ය ඇමැති මෙන්ම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කරන නලින්ද ජයතිස්ස ඉතාමත් උද්දච්ච ලෙස වචන හසුරුවමින් ඒ සම්බන්ධයෙන් අසන සියලු පැනයන් වලට අවඥා සහගත පිළිතුරු ලබා දෙනවා අප දුටුවා . මේ මුග්ධයන් ජනතාව ලෙස අර්ථදක්වන්නේ කවුරුන්ද කියන පැනයද මේ කතාබහ තුලදී මතුවෙනවා .


තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉන්දියාව සමඟ අත්සන් තැබූ ගිවිසුම් ඉල්ලුවේ කවුද?


පසුගිය අප්‍රියල් 4  දා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබුණු මේ ගිවිසුම් මුල් වරට ඉල්ලා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනුයි . නීතිඥවරයා ලෙස  රිවිහාර පින්නදුවද  සහභාගි වුණා .

පුබුදු මේ පනත් ඉල්ලා අදට දින 14 ක් ඉක්ම ගොස් තිබෙනවා . තොරතුරු දැන ගැනීමේ පනත යටතේ යම් තොරතුරක් ඉල්ලා සිටියොත්  තොරතුරු ඉල්ලීම සඳහා ඉදිරිපත් කරන ලිපිය ලැබුණු බවට  දින කිහිපයක් ඇතුළත ඉල්ලුම්කරුට දන්වා සිටීම සාමාන්‍ය දෙයක් .

විවර අපි මේ පිළිබඳව පුබුදු ජයගොඩගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ දින 14 ක් ගත වී තිබුණද  තමන් විසින් යොමු කළ ලිපිය ලැබුණු බවට හෝ  දන්වා පිළිතුරක් නොලැබුණු බවයි . පවතින ක්‍රමවේදය යටතේ 14 ඇතුළත ඉල්ලා සිටි තොරතුරු ලබා දෙනවාද නැද්ද කියන දැනුම් දීම කළ යුතුව තිබෙනවා .  තොරතුරු ලබා දෙන්නේ නම් ඒ තොරතුරු මොනවාද ලබා නොදෙන්නේ නම් ඊට අදාළ නීති රෙගුලාසි මොනවාද කියා දැනුම් දෙන ලිපිය අද වනතුරු නොලැබුණු බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ .

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් ඉල්ලා  ජන අරගල සන්ධානය නියෝජනය කරමින් ස්වස්තිකා අරුලිංගම් ලිපියක් යොමු කර තිබුණා .. එම ඉල්ලීමටද දින දහයකට වැඩි කාලයක් ගත වී තිබුණද කිසිදු පිළිතුරක් ලබා දී නැහැ .

මේ සියලු තොරතුරු විමසා බලන විට අපට පෙනීයන  පැහැදිලි කරුණ නම් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් සමාජගත කිරීමට හැකියාවක් නොමැති බවයි.  එපමණක්ද නොව ශ්‍රී ලංකාවට හානි කර ඉන්දියාවට වාසි දායක බොහෝ කරුණු මේ ගිවිසුම් තුළ ඇතැයි යන සැක සහිත නිගමනයට අපට එළඹෙන්නට පුළුවන් .

ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් වලින්  ලංකාවේ ස්වරීත්වයත් ස්වාධීනත්වයත්  ආරක්ෂා වෙනවා නම් ඇයි ආණ්ඩුව මේවා සමාජගත කරන්නට මේ තරම්ම පැකිලෙන්නේ

leave a reply