Breaking News

සිනොෆාම් එන්නත ගැන මතභේදාත්මක තත්ත්වයක් තිබියදී එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවට

චීනය විසින් මෙරටට ලබා දුන් සිනෝෆාම් එන්නත, මෙරට පුරවැසියන් සදහා ලබා දීමෙන් වළකින ලෙස වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවමින් සිටියි. කෙසේවෙතත් ඊයේ දිනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් චීනය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

නමුත් මෙතෙක් ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත සඳහා අනුමැතිය ලබාදී නැත. එන්නත සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු, අදාල සමාගම මෙතෙක් ලබා දී නැති බවද වාර්තා වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වන්නේ, සිනෝෆාම් එන්නත සම්බන්ධයෙන්, නිෂ්පාදන ආයතනය ලබා දුන් සියළු ලිපි ලේඛන පරීක්ෂා කර බැලීම සදහා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම, 2021 මාර්තු 17 දාතම සහිතව, සිනෝෆෂාම් එන්නත නිෂ්පාදනය කරන සමාගම විසින් ලබා දී ඇති ලිපි ලේඛන පරීක්ෂා කර බැලීමේ දී, එන්නතේ ආරක්ෂාව, එන්නතේ කාර්යක්ෂමතාව සහ එන්නත මගින් ලබා දෙන ප්‍රතිශක්තිකරණය පිළිබදව තීරණය කිරීම සදහා ප්‍රමාණවත් තරම් දත්ත නැති බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව, තමන් දැනට නිගමනය කර ඇත්තේ, මෙම එන්නත මෙරට පුරවැසියන්ට ලබා නොදිය යුතු බව යැයි ඔහු පවසයි.

මිට අමතරව චීනයෙන් ප්‍රදානය කරන ලද සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නොමැති පසුබිමක වෙනත් ආකාරයකින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය විරෝධය පළ කර තිබේ.ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අශෝක ගුණරත්න පවසා ඇත්තේ ඖෂධ නියාමන අධිකාරිය ඉල්ලා ඇති මූලික දත්ත හෝ සැපයීමට සිනෝෆාම් එන්නතේ අයිතිය හිමි සමාගම අපොහොසත් වී ඇති බවයි.

නමුත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැවිලි ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ සිනෝෆාම් එන්නතට අදාළ සායනික පරීක්ෂණ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ යම් ප්‍රමාදයක් පවතිනනිසා මෙම අනුමැතිය ලබාදීම පමා වී ඇති බවයි.

එතෙක් එම එන්නත මුලින්ම මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසා තිබේ.

සිනොෆාම් එන්නත ලබාදීම වඩාත් සුදුසු වයස් කාණ්ඩය පිළිබඳ තීරණය කිරීම විශේෂඥ කමිටුවකට පවරා ඇති බවත් එම කමිටුව ලබාදෙන නිර්දේශ සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර පවසා තිබේ.

කෙසේ නමුත් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට, ගර්භනී කාන්තාවන්ට සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සිනොෆාම් එන්නත ලබා නොදීමට දැනටමත් තීරණය කර ඇති බවද සුදත් සමරවීර සඳහන් කර තිබේ.

එසේම තවමත් සිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හෝ ලැබී නැත.

leave a reply