Breaking News

අනුරගේ ඉන්දීය සංචාරය – රනිල් සමඟ ඇතිවූ එකඟතාවලට මොකක් වෙයිද?

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවිය.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම ඉන්දියානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සාකච්ඡා විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරැදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

මෙරට සංචාරක, ආයෝජන සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය ඒකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්.ජයිශංකර් මෙහිදී කියා ඇත.

ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව ප්‍රථම විදෙස් සංචාරය ලෙස (දෙසැම්බර් 15 වැනිදා) පස්වරුවේ අසල්වැසි ඉන්දියාව බලා පිටත්ව යන ලදී.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද මෙම සංචාරය සඳහා එක්ව සිටියි.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබුණි.

මෙහි දී ඉන්දීය අගමැති හමු වී එකඟතා කිහිපයකට ද එළඹීමට නියමිත බවත් මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු ම මුණ ගැසීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක (දෙසැම්බර් 15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා විය.

ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා ව පිළිගෙන ඇත.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දිල්ලි නුවර පැවැත්වෙන ව්‍යාපාරික උත්සවයකට සහභාගිවීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා, බුද්ධගයාවේ සංචාරය කිරීමට ද නියමිතව ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සංචාරයේ දී දෙරට ඇති කරගන්නා ගිවිසුම් සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් සංචාරයෙන් පසුව දෙරට විසින් නිකුත් කරනු ලබන ඒකාබද්ධ නිවේදනයක් හරහා දැනුවත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දෙසැම්බර් 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා තිබුණි.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මෙන්ම මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරි‍මෙන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ සුබ පැතුම් පළ කළ මුල්ම රාජතාන්ත්‍රික නියෝජිතයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ය.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණි පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ය.

එම හමුවේ දී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ද ඉන්දීය විදේශ ඇමැතිවරයා ආරාධනා කර තිබුණි.

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉන්දියාව මෙරට දේශපාලනය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකරන දැකිය හැකිවිය. ඒ අනුව මෙරට ජනතා දේපොළ විශාල ප්‍රමාණයක් ඉන්දීය සමාගම් වෙත විකිණීම සම්බන්ධ එකඟතා, විවධ ගිවිසුම්වලට එළඹීම දැකිය හැකිවිය. දැන් අනුරගේ ඉන්දීය සංචාරය ත් සමඟ බොහෝ පිරිසක් කුතුහලයකින් සිටින්නේ මෙම එකඟතා සහ ගිවිසුම්වලට කුමක් සිදුවේද යන්නයි.

leave a reply