Breaking News

ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත සොරකම් කරයිද?

ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙළිදරව් කර තිබේ.

“පසුගිය පෙබරවාරි පළමුවැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශයක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු කියන්නේ ලංකාවේ පවතින හැඳුනුම්පත වෙනුවට ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබා ගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන බව. පසුගිය වර කැඳවූ ටෙන්ඩරයේ ප්‍රශ්න තිබුණත් මේ වසරේ මැද වනවිට යමක් සිදුවනු ඇති බව ඔහු පැවසුවා. ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒවාට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කොහොමද? ටෙන්ඩර් කැඳවීමේ කාල වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ තවත් ප්‍රාන්තයක්ද? මහ කොමසාරිස්වරයා ලංකාවේ ආණ්ඩුකාරයාද?”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, 09 වැනිදා මාධ්‍ය වෙති කියා සිටියේ මේ වනවිට භාවිතා වන ජාතික හැඳුනුම්පතේ තිබෙන්නේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය වැනි ජීව දත්ත, බයෝ ඩේටා. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ, Biometrics ඇතුලත් හැඳුනුම්පත් නිකුත් කරන්න 2015දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළ බවයි.

මහජන ආරක්ෂාව අනතුරේ

ඒ අනුව රජයට ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස් වල අනන්‍යතා ලක්ෂණ වැනි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“රජයට පුද්ගලයෙකුගේ ජීව දත්ත ගන්න පුළුවන්, ඒත් ශරීරයට අදාළ ජෛවමිතික ලක්ෂණ ගන්න බෑ. ඒ සඳහා විශේෂ අධිකරණ නියෝග අවශ්‍යයි. 2015දී යහපාලන ආණ්ඩුව අවුරුදු 350ක් තිබුණු පුරවැසියාගේ ශරීරය සඳහා වන අයිතිය උදුරා ගනිද්දී පාර්ලිමේන්තුවේ ඒකට එරෙහිව තිබුණේ එක ඡන්දයක් විතරයි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයාගේ ඡන්දය. අද පොදුජන පෙරමුණේ සිටින, අද එජාපයේ සිටින, අද ශ්‍රීලනිපයේ සිටින, අද සමගි ජන බලවේගයේ සිටින, අද ජාතික ජන බලවේගයේ සිටින, අද වෙනත් ඕනෑම පක්ෂයක සිටින මන්ත්‍රීවරුන් එදා ඒ ප්‍රජාතන්ත්‍රවිරෝධී පනත් සංශෝධනයට පක්ෂව අත එසෙව්වා.” යැයි පුබුදු ජයගොඩ පැවසීය.

හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල අත්පත් කර ගන්න උත්සාහ කරන බවටයි ඔහු චෝදනා කරන්නේ.

රටේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු හා දත්ත විදේශීය රටක් වෙත ලබා දීම ඉතාම අවදානම් සහගත ක්‍රියාවක් සහ එමගින් මහජන ආරක්ෂාව අනතුරට ලක්විය හැකි තත්වයක් බවටයි පෙසප අධ්‍යාපන ලේකම්වරයා අනතුරු අඟවන්නේ.

“ලෝකයේ කිසිම රටක් මේ විදියට තමන්ගේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කරලා නෑ. යුරෝපා රටවල් ජනතා විරෝධය නිසා ජෛවමිතික ලක්ෂණ සහිත හැඳුනුම්පත් ව්‍යාපෘති අවලංගු කළා. දැනට ජෛවමිතික ලක්ෂණ එකතු කරන සිංගප්පූරුව වැනි රටවල පවා ඒ සඳහා මැදිහත් වෙන්නේ රජය. පෞද්ගලික සමාගම් වලට හෝ විශේෂයෙන් විදේශීය සමාගම් වලට ඒ දත්ත ලබා දෙන්නේ නෑ.” යැයි හෙතෙම කියා සිටියේය.

තොරතුරු හා දත්තවලින් රටවල් යටත් කර ගැනීම

මේ යුගයේ රටවල් යටත් කරන්න, මෙල්ල කරන්න භාවිතා වනා ප්‍රධාන අවිය තොරතුරු සහ දත්ත බවයි ඔහු අවධාරණය කරන්නේ.

“රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් කරන්න පුළුවන්. ඉන්දියාව අද ඒ උපායමාර්ගික මැදිහත්වීම ලංකාවට සිදු කරමින් සිටිනවා. ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලංකාවේ ආණ්ඩුකාරවරයා වගේ හැසිරෙන්නේ ඒකයි. ආණ්ඩුව සල්ලි ටිකක් ලැබෙනවානම් ඕන පාවාදීමක් කරනවා.”

leave a reply