Breaking News

කච්චතිවු ප්‍රශ්නයෙන් මතුවන ප්‍රශ්න!

චන්දන සිරිමල්වත්ත

නරෙන්ද්‍ර මෝඩි ඉන්දියානු අගමැතිවරයා ලෝක් සභා මැතිවරණය ආසන්නයේ මේ කච්චතිවු දූඵත සම්බන්ධ ප්‍රශ්නයක් අල්ලා ගන්නෙ තමිල්නාඩුවෙ දේශපාලනය වාසිදායක ගැටුමකට පෙරලාගන්න. ඉන්දියානු දේශපාලනයේ ජාතිවාදය, ආගම්වාදය පාවිච්චි කරගෙන භාරතීය ජනතා පක්ෂය ගෙන යන දේශපාලනය ලංකාවෙ ජාතිවාදය හා ආගම්වාදය කර තියාගෙන බලයට ආව සහ එන්න හදන උන්ට වෙනසක් නෑ.

කැලණි නයා වගේ දේවල් තව ඉස්සරහට එන්නත් පුලුවන්. රටම ණය කරපු රාජපක්ෂලාගෙ නාමල් දැන් කියනවා දේශීය සම්පත් විකිණීමට විරුද්ධලු.
මෝඩි කියන විදියට ලංකාව ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගන්නෙ කච්චතිවු දූපත පවරන්න 1974 ඇතිකරගත් ගිවිසුමේ වරදක් නිසාලු. 1974 රටවල් දෙක ඇතිකරගත් එකඟතා අනුව ඉන්දියාව සහ ලංකාව තම තමන්ගෙ මුහුදු සීමාවන් තුළ කාරණා සම්බන්ධ ස්වාධිපත්‍ය අයිතිය මෙන්ම එම සීමාවන් තුළ සාගර හා භූමි සම්පත් (ජීවි සහ ජීවි නොව) බුක්ති විඳින්න හිමිකම් ලබා ගන්නවා. ඉන්දිය ධීවරයන්ගෙ ගැටලුව කියන්නෙ මේ දේශ සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු කිරීමේ වරද නිසා ඇතිවන තත්වයක්. ලංකාවෙ ධීවරයන් ඉන්දිය මුහුදු සීමාවෙ ධීවර කටයුතු කරද්දි ඉන්දිය නාවික හමුදා අත්අඩංගුවට ගන්නවා වගේම ඉන්දිය ධීවරයන් ලංකා මුහුදු සීමාවෙ ධිවර කටයුතු කරද්දි අත්අඩංගුවට ගන්නවා. සාමාන්‍යයෙන් ඉන්දිය ධීවරයන් රාත්‍රි කාලයේ දහස් ගණන් ධීවර යාත්‍රවලින් ලංකාවෙ මුහුදු සීමාවට ඇවිත් විනාශකාරී ‘බොටම් ට්‍රෝලින්’ ක්‍රමයට මුහුදු පතුලේ ශාක, සත්ව ප්‍රජාවම දැල්වලට ඇදගෙන යනවා.

මේ ගැටලුව සම්බන්ධ දෙරටේ විදේශ අමාත්‍යංශ සාකච්ඡා කළාට යුක්ති සහගත විසඳුමක් ඇතිකරගන්න අසමත් වෙලා. උතුරේ ධීවරයන් මේ ගැටලුව සම්බන්ධ රජයේ වගකීම ප්‍රශ්න කරනවා. ධීවර කටයුතු කන්න බැර තරම් ගැටලු ඔවුන්ට තියෙද්දි ආණ්ඩු කීඵයක ධීවර ඇමතිලා පහුගිය කාලෙ මේ ගැටලුවට විසඳුම් දෙන්න වැඩ කරලා නෑ.

එහෙම තියෙද්දි ඉන්දිය අගමැති මෝඩි කළ ප්‍රකාශය සම්බන්ධ ලංකාවෙ අගමැති හෝ ජනාධිපති හෝ අඩු ගානෙ එක ඇමතිවරයෙක්වත් වගකීමෙන් ප්‍රකාශයක් කරලා නෑ. ලංකාවෙ භෞමික සීමාවන් හා එම සීමාවන් උල්ලංඝනය කරමින් ආර්ථික සම්පත් කොල්ල කන්න ආණ්ඩුව ඉන්දියාවට ඉඩ දෙන නිසා මෙවැනි ප්‍රකෝපකාරී ප්‍රකාශ සම්බන්ධ නෑසුනා වගේ ඉන්නවා. අන්තිමට මේ ප්‍රකාශ නිසා ධිවරයන් ඇතුළු මිනිස් ජීවිතවලින් වන්දි ගෙවන්න වුණාම මේ පාලකයන් රටෙත් නෑ. උණ්ට ජීවත් වෙන්න වෙන රටවල්වලට හරි යන්න ඇති තරම් ධනය උඵයලා තියෙනවා. රටේ මිනිස්සු මේ වගේ දේවල් ගැන අස් කන් ඇරගෙන ඉන්නත් ඕන.

මේ ආවේගකාරී ප්‍රකාශ හරහා ඡන්ද කොල්ල කන්න හදන මෝඩි, පහුගිය කාලෙ ලංකාවෙ ආර්ථිකයට මැදිහත්වීමක් කරන්න රනිල් එක්ක අත්සන් කරපු ගිවිසුම් මොනවද කියලා අපි දන්නෙ නෑ. පාර්ලිමේන්තුවෙ උන්දලාවත් ඒවා අහන්නෙ නෑ.
මෝඩිගෙ ප්‍රකාශය සම්බන්ධ ඉන්දියානු තානාපතිවරයා කැඳවලා ප්‍රශ්න කරන්නවත් මේ රටේ නායකයන්ට හයියක් නෑ. ඒ ගැන විරෝධය පළ කරන්න කොන්ද පණ ඇති නායකයන් නෑ.

leave a reply