එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කළ බව චෝදනා කරමින් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ල වී තිබෙනවා.
ඒ අනුව, මෙම සැකකරුවන් මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කරනු ලබනවා. මේ අත්අඩංගුවට ගත් පිරිස අතර මැතිවරණයට නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරග කළ කැළුම් ජයසුමන නැමැති අයෙකුත් සිටියි. ඔහු ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් සිදු කළා යැයි චෝදනා එල්ල කර ඔහුව කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් රැගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව ඔහුව අද අලුයම 1.45 ට පමණ මෙලෙස කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් රැගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙම පිරිසත් සමඟ ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගත් පිරිස පහක් දක්වා ඉහළ යනු ලබනවා. ඉන් තිදෙනෙක් දෙමළ ජාතිකයන් වන අතර දෙදෙනෙක් සිංහල ජාතිකයන්. පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ත්‍රස්තවාදී කටයුත්තක් සැලසුම් කළ බවට චෝදනා කරමින් දමිළ පුදගලයින් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව පෙනී යන්නේ නව ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව ඉතා මර්ධනකාරී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කරන බවයි. මෙම පනත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් ගෙන ඒමට ඉවහල් වූ ප්‍රධාන කාරණයක් වුවේ උතුරේ නැගෙමින් පැවති සන්නද්ධ කන්ඩායම් මර්දනය කිරීමයි. මේ හරහා ඇත්තටම සිදුවූවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ නොව තවත් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමයි. 88-89 අරගල සමයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ටත් එරෙහිව මෙම පනත යොදාගැනීමේ උදාහරණ පවතියි. යුද්ධයෙන් පසුව පාස්කු ප්රහාරය යොදා ගනිමින් මුස්ලිම් ජනතාවට එරෙහිව මෙම පනත යොදාගනු ලැබිණි. උතුරේ යුධ සමයේ කිසිදු වරදක් නොකළ දමිළ පුද්ගලයන් වසර ගණනක් නඩු නොමැතිව සිරකරගෙන සිටීමට අදාළ සිදුවීම් දුසිම් ගණනින් පවතියි. එසේම අරගලයෙන් පසු අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට මෙය යොදා ගන්නා ලදී.
මෙම පනත කොතරම් මර්ධනකාරී ද යන්න ගැන ටොන් ගණනින් වාර්තා හා සිදුවීම් දක්නට ලැබේ. අනෙක් කාරණය වන්නේ ත්‍රස්තවාදය වැනි ක්‍රියාවක් වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය තුළ තිබීමයි. ඒ සඳහා විශේෂ පනතක් අවශ්‍ය නැත. එස්ම මෙවර මහාවීර සැමරුම් ප්‍රවර්ධනය කළ බව කියමින් අත්අඩංගුවට ගත් පිරිස ගන්නේ ජාතිවාදය ප්‍රවර්ධනය කළ බව සහ තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමිනි. ඔවුන් මෙම කටයුත්ත සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා බවද කියවේ. සිංහල බෞද්ධ රාජ්‍යයට එරෙහිව සුළුජාතික ජනකොටස් මර්දනයට ගෙනා පනතක් යොදාගෙන ජාතිවාදය ඇතිවීම වැලැක්විය හැකියයි සිතීම විහිළුවකි.
ජේ. අර්. මේ පනත 1978 ගෙන ඒමේදී මෙවැනි මර්දනයක් අවශ්‍ය බව සිතූ තවත් කාරණයක් වන්නේ ඒ මොහොතේ ක්‍රියාත්මක කරමින් තිබූ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහිතව ඒ මොහොතේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය. එම ප්‍රතිසංස්කරණ විසින් ඇතිකරන මහජන ආතතීන් මර්දනයට ත්‍රස්ත පනත වැනි පනත හොඳ මෙවලමක් විය. එය විසින් උතුරේ මෙන්ම දකුණේ ආතතීන් සාර්ථකව මර්දනයට ජේ. ආර් සමත් විය.
දැන් නැගෙන ප්‍රශනය වන්නේ නව ආණ්ඩුවේ අරමුණ ද එයමද යන්නයි. එකල මෙන්ම මෙකල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහිතව ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතියි. එම ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට යන්නේ නම් ජනතාවට එය දැරිය නොහැකි වනු ඇත. නව ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේද එම බර විසින් ඇතිකරන ජනතා ආතතීන් වෙත කල් තියාම අනතුරු ඇඟවීමක් කිරීමටද? එසේ නොමැතිනම් ජාතිවාදී පනතකින් ජාතිවාදය නැති කළ හැකි බව ආණ්ඩුව සිතන්නේද?