වෙනසක් සඳහා වූ ඉල්ලීම හේතුවෙන් මැතිවරණ භූමිය පුරා පැතිර ගිය දේශපාලන හිම කුණාටුව පෙර නොවූ විරූ එකක් විය. සමහර මැතිවරණ කොට්ඨාශවල ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවයි. ජාතික ජන බලවේගය ලබාගත් රටේ සමස්ත බහුතර ඡන්ද ප්‍රතිශතය සියයට 61 කි. ජාතික අවශ්‍යතා සඳහා ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට දිගුකාලීනව සිය නම් තහවුරු කරගත් බොහෝදෙනෙක් මෙම හිම කුණාටුවෙන් පසෙකට වී ඇත. ඔවුන් වෙනුවට, පරමාදර්ශ සහ ධනාත්මක වෙනසක් සඳහා බලාපොරොත්තු ඇති නමුත්, පාලනයේ සහ පරිපාලනයේ පවා අඩු අත්දැකීම් ඇති තරුණ පුද්ගලයන් රාශියක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. ආණ්ඩුව මේ ප්රශ්නය දන්නා අතර පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, සැසිවාර ක්‍රියාකාරකම් සහ කමිටු ක්‍රියාකාරීත්වය පිළිබඳව තෙදින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ආසන 159ක් සමඟින් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ 2/3කට වඩා වැඩි බහුතරයක් දිනා ඇත. ආණ්ඩුවක් මෙතරම් විශාල බහුතරයක් භුක්ති විඳි පළමු අවස්ථාව මෙය නොවේ. අවසන් වරට, 2019 තරම් මෑතක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 කට ආසන්න බහුතරයක් ලබාගත්තේය. එය විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සිය පක්ෂ මාරුකිරීමෙන් අනතුරුව 2/3 ක බහුතරයක් බවට පරිවර්තනය වූ අතර, ඒ අනුව ඔවුන්ට වරප්‍රසාද හිමිවිය. 2019 න් පසු, රට මෙතෙක් යථා තත්ත්වයට පත් නොවන, ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ව්‍යසනකාරී තීරණ නිසා එලෙස සකස් කරගත් 2/3 බහුතරය කෝකටත් තෛලයක් නොවීය. අතිවිශාල බහුතරය යන්නෙන් අදහස් වූයේ, තමන්ට ඕනෑම දෙයක් කර එයින් ගැලවිය හැකි බව ආණ්ඩුවේ නායකයන්ට හැඟීගිය බවයි. මෙය වංචනික ගනුදෙනු, මිනීමැරුම් සහ වැරදි කොට දඬුවමින් ගැලවී යෑම්වලට හේතු විය.
ආණ්ඩු පක්ෂයට පක්ෂව ලැබුණු සියයට 40කට අඩු ඡන්ද ප්‍රතිශතයකින් වුවද, විශාල ආසන සංඛ්‍යාවක් දිනාගනිමින්,1970 දී සහ 1977 දී පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් පිළිවෙළින් ශ්රීලනිපය සහ එජාපය දිනාගැනීමට සමත්ව තිබිණි. එතැන් සිට කූට ගනුදෙනු, මිනීමැරුම් සහ දඬුවමින් නිදහස් වීම් පැවැතිණි. එහෙත් මෙවර එය වෙනස් විය යුතුය. රටේ දීර්ඝ කාලීන ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව පෙර නොවූ විරූ සුහදතාවයේ හස්තය මේ මොහොත අල්ලාගත යුතුය. ජනතාව විශාල බලාපොරොත්තු සහිතව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, එහි ප්‍රතිඵල ඉක්මණින් නුදුටුහොත් නරුමත්වය සහ බලහත්කාරයෙන් යළි යළිත් එළැඹෙනු ඇත.
සමාන ප්‍රතිඵල
භූගෝලීය, වාර්ගික සහ ආගමික බෙදීම් හරහා සැළකිව යුතු ලෙස ජාතික ජන බලවේගය වෙත පුළුල්ව පැතිරුණු සහයෝගය ජාතික සමගිය සඳහා කැපීපෙනෙන පියවරක් ප්‍රදර්ශනය කරනු ලබයි. ඓතිහාසික වශයෙන් රාජ්‍ය පාලනය ගැන කලකිරුණු කලාප පවා ජනාධිපතිවරයාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබා ඇත. වාර්ගික සහ ආගමික සුළුතරයන්ගේ සහයෝගයෙන් සාක්ෂි දරන මෙම විශ්වාසය, සාම්ප්‍රදායික බෙදීම් ඉක්මවා යන ජාතික ඉදිරි දර්ශනයක් පෝෂණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී ඇති බවට දිරිගන්වන ලකුණකි. කෙසේවෙතත්, මෙම තත්වය සැළකිව යුතු වගකීමක් නිර්මාණය කරනු ලබයි.
ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් වැඩි වශයෙන් සිටින රටේ උතුර හා නැගෙනහිර මෙවර මැතිවරණ ප්‍රතිඵලය පළමු වරට දැකගත හැකිවූ සිදුවීමකි. රටේ මෙම ප්‍රදේශවල, දශක ගණනාවක් තිස්සේ ජනවාර්ගික හා ආගමික අවශ්‍යතා නියෝජනය කරන පක්ෂවලට ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, එම කාලය තුළ වාර්ගික ගැටුම සහ ඔවුන්ගේ නොසළකා හැරීමේ හැඟීම විශාල ලෙස වර්ධනය විය. එසේම, රටේ සෙසු ප්‍රදේශවල වාර්ගික හා ආගමික බහුතරයක් වන ජනයා ඡන්දය දුන්නේ, තමන්ගේම විශේෂ වාර්ගික සහ ආගමික අවශ්‍යතා නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ය.
පසුගිය සමයේ මැතිවරණ සිතියම් අනිවාර්යෙන්ම වර්ණ දෙකක් දැරුවේ, උතුර සහ නැගෙනහිර එක් වර්ණයකින් සහ රටේ අනෙක් කොටස් තවත් වර්ණයකින් පෙනුම් කරමිනි. තුන් දශක පුරා පැවැති වෙන්වීමේ යුද්ධයේ අවසානයෙන් පහළොස් වසරකටත් පසුව, මැතිවරණ සිතියම තවමත් යුද්ධය මෙහෙයවූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සකස් කරන ලද සිතියම් වැනි පෙනුමක් දැරුවේය. එහෙත් මෙවර පළමුවරට මැතිවරණ සිතියම තනි දිස්ත්‍රික්කයක් හැර සම්පූර්ණයෙන්ම එක් වර්ණයකින් යුක්ත වී තිබේ.
මෙම මැතිවරණයේ විශේෂත්වය වන්නේ, එම පළාත්වල මූලික ජනතා ගැටලු ප්‍රධාන දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාරයේ සාකච්ඡා නොවූවද, උතුර සහ නැගෙනහිර පළාත්වල හා රටේ අනෙක් කොටස්වල ඡන්ද ප්‍රතිඵල සමාන වීමයි. එවිට රටේ සෑම කොටසක්ම ආර්ථික පුනර්ජීවනයේ ගැටලු සහ දුෂණය අඩුකිරීම හා දුප්පත් ජනතාව ආර්ථික පීඩනයෙන් ආරක්ෂා කිරීම යන කරුණු පොදු වශයෙන් සලකා බලයි. එහෙත් උතුරට සහ නැගෙනහිරට බලය බෙදීම, හමුදාකරණය සහ ඉඩම් ආපසු ලබාදීම සහ සන්නද්ධ ගැටුම් පැවැති කාලයේ සිට අතුරුදහන් වූවන්ගේ සහ දිගුකාලීන සිරකරුවන්ගේ ගැටළු විසඳීම පිළිබඳ විශේෂ උනන්දුවක් ඇත. එසේම අඩුවෙන් සාකච්ඡා කළත්, රටේ සාමාන්‍ය ප්‍රමිතියට වඩා අඩු මෙම පළාත් දෙකේ සංවර්ධනයත් ඔවුන්ට අවශ්‍ය වේ.
අතීතය ප්‍රතික්ෂේප කිරීම
ජාතික ජන බලවේගයට ලැබුණු විශාල ඡන්දය නව ආණ්ඩුව කෙරෙහි විශ්වාසය සහ ධනාත්මක අපේක්ෂාවන් පළකිරීමක් වන අතරම, පෙර දශක තුළ රට පාලනය කර, එය 2022 දී පහළම මට්ටමටම ගෙන ආ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමක් ද වේ. පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 මැයි මාසයේ සිට 2024 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයේ දී පරාජය වනතුරු, රට පහළට වැටීම නැවැත්වීමට, ඔහුගේ සහායකයන් අපේක්ෂා කළ ගෞරවය ලැබුණේ නැත. එයට හේතුව වූයේ ජනගහණයේ සමහර කොටසක් බලයේ සිටින අයට සම්බන්ධ වීම මගින් සමෘද්ධිමත් වන විට, ආර්ථික කඩාවැටීමේ මූලික බර බහුතර ජනතාව මත පැටවීම නිසාය. තවද, එය ඒකම හේතුව නොවුවද, පෙර ජනාධිපතිවරයාට ආර්ථික කඩාවැටීමේ මූලාශ්‍ර පිළිබඳව විමර්ශනය කිරීමටත්, සම්බන්ධ දුෂණය මැඬ පැවැත්වීමටත් අසමත්වීම නිසා ද විය.
ප්‍රධාන දේශපාලන පක්ෂ දශක තුළ ව්‍යාප්ත දූෂණයට සම්බන්ධ යැයි පොදුවේ විශ්වාස කරනු ලැබූ තැනැත්තන්ට නැවතත් නාමයෝජනා ලබාදීම, එම පක්ෂවලින් ඡන්දදායකයන් හැරයෑමේ ප්‍රධාන හේතුවක් විය. සැබැවින්ම, මෙම දූෂිත දේශපාලකයන් සමහරුන් පාර්ලිමේන්තු වරම් දිනාගත්තේ සම්භාව්‍ය ඡන්ද පදනම්වල ඔවුන් විසින් දිගුකාලීනව පවත්වාගෙන යනු ලැබූ පාරම්පරික සම්බන්ධතා හේතුවෙනි. කෙසේවුවද, පක්ෂ නායකයන් සිහිතබා ගතයුතු වන්නේ, එවැනි ඡන්ද ලැයිස්තු මගින් මුළු ඡන්දදායක සංඛ්‍යාවේ වැඩි කොටසක් විමතියට පත් වී ඇති බවත්, එමගින් ඔවුන්ගේ ඡන්ද බැංකු බිඳදමා ඇති බවත්ය.
උතුර සහ නැගෙනහිර පළාත්වලට, සුළුතර පාර්ශ්වයේ දේශපාලන නායකයන් විසින් පසුගිය දශක තුළ කිසිදු සැළකිව යුතු ප්‍රතිඵලයක් අත්කර නොදීම, ඡන්දදායකයන් හැරයෑමේ තවත් හේතුවක් විය. මෙම ඍණාත්මක සාධක නිසාම සුළුතර ඡන්දදායකයෝ ඔවුන්ව සිරකර තිබූ දේශපාලන පක්ෂවලින් ඉවත් වෙමින් සිටිති. ආණ්ඩුවට තම විශාල ජයග්‍රහණය නිසා සැළකිව යුතු අවස්ථාවක් ලැබී තිබේ. ජාතික ගැටුම්වලට පදනම් වූ දීර්ඝ කාලීන දේශපාලන, සමාජ-ආර්ථික හා නීතිමය විසඳුමක් සකස්කර ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා සහ සමගිකරණය සිදුකිරීමට දැන් අවස්ථාව ලැබී ඇත. එවැනි විසඳුමක් සඳහා ජාතික ජන බලවේගයට ලැබී ඇති බහුතර පාර්ලිමේන්තු බලය ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත්, දේශපාලන විසඳුම නීතිගත කිරීමටත් අදාළ කරගත හැකිය.
ඉක්මන් වෙනසක්
කෙසේවෙතත්, ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව පාලනයට වැඩි කාලයක් ලබාදීමට කැමති රටේ සෙසු ප්‍රදේශවල ජනතාව මෙන් නොව, උතුරේ සහ නැගෙනහිර පළාත්වල, බලයට පත් වූ ආණ්ඩුවල පොරොන්දුවලින් වරින් වර අතහැර දැමූ ජනතාවට එසේ නොවිය හැකිය. ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව, පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන්, ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම, දෙමළ භාෂාව සඳහාද ප්‍රමුඛතාව ලබාදීම, ඒකක හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස දෙමළ නිලධාරීන් පත්කිරීම යනාදී වශයෙන් කළ හැකි හා කළ යුතු බොහෝ දේ ඇත. සුළුතර වාර්ගික සහ ආගමික කොටස්වලින් ඔවුන්ට ලැබී ඇති සහයෝගය රඳවා ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකිරීමට ආණ්ඩුවට දිරිගැන්වීමක් ලැබී තිබේ. ජාතික ආර්ථිකය හමුවේ පවතින බාධාවන්ට අනුව, ආර්ථිකය පුනර්ජීවනය කිරීමට වඩා වේගයෙන් වාර්ගික හා ආගමික දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල පෙන්වීම පහසු වනු ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විශ්වාස කරන ආකාරයට “පිහි තුඩක” පවතින ආර්ථික තත්ත්වයන් නිසා, ජනාධිපති වික්‍රමසිංහ යටතේ පැවති ආණ්ඩුවට ඉක්මන් විසඳුම් පෙන්වීමට නොහැකි වූවා සේම, නව ආණ්ඩුවටද ඉක්මන් විසඳුම් පෙන්වීමට දැඩි පීඩනයක් එල්ල වනු ඇත. රාජ්‍ය මූල්‍ය යථාර්ථයන් විසින් ආර්ථිකය මත වෙනස්කම් සිදුකිරීමට ආණ්ඩුවට ඉඩ ලබාදෙන්නේ මද වශයෙනි.එහෙත් ජනවාර්ගික අර්බුදය විසඳීමේ දී ආණ්ඩුවට ප්‍රමාද වීමට හේතුවක් නැත. කෙටි කාලීන, කෝකටත් තෛලයක් වැනි විසඳුම් ලබාදුන් පසුගිය ආර්ථික ප්රකෘතියේ දී මෙන් නොව, වාර්ගික ගැටුමට විසඳුම අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර, ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, නායකත්වයේ අසාර්ථකත්වය හේතුවෙන් ඒවා ක්‍රියාත්මක නොවූ නමුත්, ඉක්මණින් විසඳිය හැකි ගැටළු එහි පවතී.
ජනවාර්ගික ගැටලුවට විසඳුමක්, රට තුළ සිටින ජනවාර්ගික හා ආගමික සුළුතරයන් පමණක් නොව, ඩයස්පෝරාවේ පිටත ජීවත් වන අය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් ද, විශේෂයෙන් සෑම විටම ශ්‍රී ලංකාවට වඩා හොඳ යැයි ප්‍රවර්ධනය කරන ඉන්දියාව විසින්ද එවැන්නක් සාදරයෙන් පිළිගනු ඇත. මෙම ගැටලුව සාර්ථක ලෙස විසඳා ගැනීම, සාර්ථක කතා සොයන ලෝකයක අන්තර්ජාතික පිළිගැනීමක් ලබාගනු ඇති අතර, සාමයේ සහතිකය හේතුවෙන් විදේශීය ආයෝජකයන් රටට පැමිණීමට පොළඹවනු ඇත. ස්ථීර සාමය සහ සංහිඳියාව සහතික කෙරෙන තිරසාර දේශපාලන විසඳුමක් සැකසීම සඳහා සිවිල් සමාජය සහ විරුද්ධ පක්ෂ ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් පූර්වාදර්ශයක් තැබීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට අවස්ථාව තිබේ. කාලයාගේ ඇවෑමෙන් කල් පවතින තිරසාර දේශපාලන විසඳුමක් සාක්ෂාත් කරගැනීම සඳහා සියලු ප්රජාවන්ගේ සහභාගීත්වය සහ එකඟතාව මෙන්ම විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වන බව අතිශයින් අවධාරණය කළ යුතුව ඇත.