ශ‍්‍රී ලංකාවේ වසර හතළිහක් පමණ ජීවත් වූ ඉංගිරිසි ජාතික සී. බෲක් එලියට් විසින් රචනා කරන ලද “ද රියල් සිලෝන් ” නම් කෘතිය ‘සැබෑ ලක්දිව’ යන නමින් මනෝ ප‍්‍රනාන්දු විසින් සිංහලයට පරිවර්තනය කොට තිබේ.
“ද රියල් සිලෝන් “නම් කෘතිය මුලින් ම පළ කොට ඇත්තේ 1924 දී ය. එය 1937 දී දෙ වන වරටත්, 1938 දී තෙ වන වරටත් මුද්‍රණය කර ඇත. පරිවර්තක ඔහුගේ පෙරවදනහි සඳහන් කරන්නේ මේ මුද්‍රණ වාර තුනේ දී පිටපත් 17,000ක් මුද්‍රණය කර ඇති බව යි. පොතේ ජනප‍්‍රියත්වය ඒ අනුව සිතාගත හැකි ය.
එවැනි වූ කෘතියක් සිංහලට නැගීම සඳහා තෝරා ගැනීම ගැන මනෝ ප‍්‍රනාන්දු මහතාට අපගේ ස්තුතිය හිමි වෙයි.
කතුවරයා ලංකාවේ ජීවත් වූ කාලය තුළ කොළඹින් ආරම්භ කොට නොයෙක් නගර, ගම්, නියම්ගම් ද, අතීත සෞභාග්‍යය පිළිබිඹු කරන අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි නගර ද, රටේ වෙනත් නොයෙක් සුන්දර ස්ථානයන් ද නරඹමින්, රට වැසියන් ඇසුරු කරමින් ලබා ගත් අත්දැකිම් මේ කෘතියට වස්තු විෂය වී තිබේ.
ඒ හැරුණු කොට රොබට් නොක්ස්. ෆාහියන් හිමි, එල්. ජේ. බී. ටර්නර්, ජේ. එමර්සන් ටෙනට් ආදි විදේශික කතුවරුන්ගේ වාර්තා ද යම් යම් පැහැදිලි කිරීම් සඳහා උපයෝගි කරගෙන තිබේ. කෘතියේ මුල් හරියේ දී පෘතුගිසි, ලන්දේසි, ඉංගිරිසි ආක‍්‍රමණ ගැන ද මොවුන්ගේ බළකොටු හා පාලනය පිළිබඳ තොරතුරු ඇතුළත් කොට තිබේ.
පළමු වන පරිච්ෙඡ්දය නම්කර ඇත්තේ ‘මේ දිවයින රිදී මුහුදේ පිහිටා ඇත යනුවෙනි. එතැන් සිට කොළඹ, කොළඔ ඉතිහාසය, දකුණු පළාත, අලි පිළිබඳ ව, මහනුවර රාජධානිය, වැව් සහ දාගැබ් යනුවෙන් පරිච්චේද 18 කින් කෘතිය නිමවා ඇත.
මේ අයුරින් ඔහු ලංකාව පිළිබඳවත්, එහි වැසියන් පිළිබඳවත් තොරතුරු අනාවරණය කරන්නේ ඔහුගේ ම සුවිශේෂ ධනාත්මක ආකල්පය මතුවෙන පරිද්දෙනි.
කොළඹ යැයි හැඳීන්වෙන දෙ වන පරිච්ජේයේ දී, ඔහු ලංකාව පාරාදිසියක් ලෙස හඳුන්වයි.
‘‘ලංකාව යනු මුළු ලෝකයේ ම ඉන්නා වූ සෙල්ලම්කාරයන්ගේ සහ සෙල්ලම්කාරියන්ගේ නිවර්තන කලාපීය පාරාදිසිය යි. එහි සෑම කෙනෙකුට ම යමක් ඇත. අපගෙන් සමහරකට සෑම දෙයක් ම ඇත. මෙයාකාර වූ වෙන් නො වන හා ඇසට. කනට හා නාසයට දැනෙන්නා වූ සුන්දර විවිධත්වයක් වෙනත් කිසිම දිවයිනක නොමැත ’’ මේ අයුරින් අතිශයෝක්තියෙන් ලංකාව වර්ණනා කරන ඔහු නිර්ව්‍යාජ ලෙස තම අදහස් ප‍්‍රකාශ කරන්නේ යැයි සිතාගත හැකි ය. 20 වන සිය වසේ මුල් භාගයේ ලංකාවේ තත්වය පිළිබඳව ගවේෂණය කරන අයෙකුට මේ කෘතියෙන් මහත් පිටිවහලක් ලද හැකි ය. ඒ හැරුණු විට සාමාන්‍ය පාඨකයන්ට ද ආශාවෙන් කියවිය හැකි කෘතියක් බව ද සඳහන් කළ හැකි ය.
මේ සිංහල පරිවර්තනයේ වටිනාකම තවත් වැඩි වන්නේ පරිවර්තක මනෝ ප‍්‍රනාන්දු මහතාගේ පරිවර්තන කුසලතාව ම`ගිනි. මුල් කතුවරයාගේ වර්ණනාත්මක රීතියට කිසිදු හානියක් සිදු නො වන පරිද්දෙන් නිවැරදි සිංහල බසින් පරිවර්තනය සිදුකොට තිබේ. මේ සඳහා එක් නිදර්ශනයක් පමණක් මෙහි දක්වමි. මේ ගල් විහාරය පිළිබඳ විස්තරය යි.
‘‘මම අවසානය වෙන තෙක් ම වඩාත් ම ආකර්ෂණීය කාරණය සිතෙහි රඳවාගෙන සිටියෙමි. එය මුළු ලොවෙන් ම හොඳ දෙය යි. මට යහපත් කටයුත්තකට ඇතුළත් වෙන්නට පුළුවන්කම ලැබුණි. සන්ධ්‍යා යාමේ දී සිසිල් කාලය තුළ කෙටි දුරකින් ඇති ගල් විහාරයට ඇවිදගෙන යන්න. එය වනයේ කෙළවර එළිමහන් ප‍්‍රදේශයේ පිහිටා ඇත. මෙම කුඩා සිද්ධස්ථානයේ දිගු ලෙණ තුළ බුදු රදුන්ගේ විශාල සැතපෙන පිළිමයක් තිබින.
බුදුන්ගේ ශිර්ෂය අසල සිටගෙන උන්වහන්සේගේ අනුගාමික ආනන්ද තෙරණුවන්ගේ පිළිමයක් ද විය. එය සදාතනික සංසිදීමකි. එය මා දන්නා වඩාත් සිත් කාවදින හා වඩාත් සිත නිවන පෙරදිග දර්ශනය විය. මරණය මේ තරම් රමණීය ලෙස චිත‍්‍රනය කළ අන් තැනක් නො වී ය. එහි කිසිදු සංත‍්‍රාසයක් නො තිබිණ. එහි පැවතියේ අනන්තවූත්, ගැඹුරු වුත් සදාතනික ශාන්ත භාවය පමණි’’ (පිටු 183/184)
‘සැබෑ ලක්දිව’ නම් වූ මේ පරිවර්තනය සිංහල පාඨකයන්ට බෙහෙවින් ආස්වාදනීය වනු ඇතැයි සිතමි.