Breaking News

අයවැය ගැන විපක්ෂයේ අදහස්

ඊයේ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ අදහස් පළකර තිබේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ පොදු මතය වී ඇත්තේ අයවැය තුළින් මේ මොහොතේ ජනතාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට පිළිතුරක් නොලැබෙන බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රට හමුවේ ඉදිරිපත් කළේ සෝමාලියානු, ඉතියෝපියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා කළ කිසිදු සහනයක් නොතිබූ බවත් එය ජනතාව රැවටූ හිස් ලියවිල්ලක් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2002 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

2022 වසර සඳහා රජය ගෙන ආ අයවැය තුළ මේ දිනවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බඩුමිල වැඩිවීම පාලනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් තාවකාලිකව හෝ යෝජනා නොවුණු බවට විපක්ෂය චෝදනා කර සිටියි.

ආහාර, ගෑස්, කිරිපිටි, ඉන්ධන, සිමෙන්ති ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හී සියලු භාණ්ඩ මිල දිනපතා වැඩිවන තත්ත්වයක් තුළදී ඒ පිළිබදව සැලකිල්ලක් නොදැක්වීම ජනතාව කෙරෙහි ආණ්ඩුව තුළ ඇති ආකල්පය පැහැදිලි වන බව විපක්ෂ මන්ත්‍රීවරුන් පවසයි.

රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවකදීත් ආණ්ඩුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6කින් අඩු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන 2022 අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.

රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම බඩගින්දර ගැන නොසිතන ආණ්ඩුවක් කුමටදැයි එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ මෙය කෝටි තුන් ලක්ෂයකට අධික මුදලක් ණය වශයෙන් ලබාගන්නා අයවැයක් බවට පත්වී ඇති බවයි.

එසේම රජය ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ද පවසා තිබේ.

ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට සිදුවීමෙන් ජනතාවගේ හිස මත තවත් ණය කන්දක් පාත්වන බව කී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා අධික බඩු මිල ප්‍රශ්නයට ජනතාවට කිසිඳු උත්තරයක් අයවැයේ නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.

මිල අධික ලෙස ඉහළ ගිය ගෑස්, තෙල්, පරිප්පු, හාල්, සීනි සහ පිටි ආදි සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී ජීවන වියදම් සහනක් ජනතාව බලාපොරොත්තු වූ බව කී විජිත හේරත් පවසා ඇත්තේ මෙවර අයවැය ද වෙන්දා මෙන්ම නිකම්ම නිකන් වචන හරඹයක් පමණක් බවත්ය.

leave a reply