Breaking News

බලය ස්වාධිපත්‍යය සහ භූ දේශපානය පිළිබඳ අවුල්කියවීමක් !! – උදය ආර්. තෙන්නකෝන්

බලය සහ මානව යහපත

කාල ගුණික විපර්යාසය නිසා පෘථිවිය වෙනස් වෙමින් තිබේ. ඒත් සමග ලෝකය ද වෙනස් වෙමින් තිබේ. මේ හා සමානව ලෝක දේශපාලනයේ බලය කියන සාධකයත් වෙනස් වෙමින් තිබේ. මේ නිසා බල දේශපලනයත් වෙනස් වෙමින් තිබේ. මේ දෙකටම බලපෑම් කරනු බලන්නේ මිනිසා ය. මේ මිනිසා බලය සඳහා බලය වෙනුවෙන්, බලය විසින් සිදු කරනු ලබන සියලු ක්‍රියාකරම් එදිනෙදා ජීවිතයටත් ඉන් ඔබ්බටත් බලපෑම් කරනු ලැබීම ලංකාවේ බලයට ද අදාල වන්නේ ය. බලය වෙනුවෙන් කරනු ලබන දේශපාලනය තුල බලය ආත්මය බවට පත්වන විට මානව යහපතට අවැසි කොන්දේසි ගමන් කරනු ඇත්තේ බලයට යටත් අංගයක් බවට පත්වීමෙනි. මෙය ධර්මතාවකි. එහෙත් එම බලය විශ්ව පැවැත්මට අනුකූල නො වන්නේ නම් එය නිතරම විශ්ව විරෝධී ය. මානව හා සෙසු සත්ව විරෝධී ය.

මේ අර්ථයෙන් අප ජීවත් වන මහ පොළොවේ වෙනස්වීම මුලු මහත් ලෝක සත්වයාගේ යහපත පිණිස වෙනස් වන්නේ ද යන පළමු ගැටලුව ඇත. ලෝක බල දේශපාලනයේ සිදු වන වෙනස් වීම මිනිස් වර්ගයාගේ යහපත පිණිස වෙනස් වෙන්නේ ද යන දෙවැනි ගැටලු ද මානව සමාජයට අභිමුක වී ඇත. පළමු වැන්න තීරණය වන්නේ දෙවැන්න විසිනි. නමුත් දෙ වැන්න විසින් පළමු වැන්න පිළිබඳව බරපතල ලෙස සැලකිල්ලක් දක්වන්නේ නැත. බල දේශපාලනයේ වෙනස් වීම ගැන බලයේ යෙදී සිටින කොටස් දිවා රෑ නොබලා වෙහෙසෙමින්, වෙනස්වීමේ වාසිය තමන්ට නතු කර ගැනීමට නො කරන දෙයක් නැත.ලෝකයට අනුවත් ලංකාවට අනුවත් මෙය එසේම ය. නමුත් මෙහිදී අවධානය යොමු විය යුත්තේ ලෝක බලයට අනුව ලංකාවේ බලය වෙනස් කිරීමත්, එම බලය මානව පැවැත්මට කොතරම් ද යන්න ය.

මානව විරෝධී ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය

ව්‍යවස්ථාපිත නීතිය අනුව බලය උර ගා බලන අවස්ථාවක් ලෙස මැතිවරණ ක්‍රමය හඳුනාගත හැකි වේ. මේ වන විට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් දී ඇති මෙවලම ඊට අයත් ආත්මීය හරය අභාබවා ගොස් ඇත. බල දේශපාලනය තුල රට අභ්‍යන්තරය දැන් එය වඩාත් හොඳින් අභ්‍යාස කරමින් සිටී. අභ්‍යන්තරයේ බලය අභ්‍යන්තරය විසින් තීරණය කිරීම එක් සාධකයක් වන අතර එය ද දූෂිත වී ඇත. එනම් ප්‍රජාතන්ත්‍රවාදය යන්න නාම මාත්‍රයක් බවට පත්ව ඇත. එය ජනතා කැමැත්ත ප්‍රකාශ කරන ඡන්දය යන සාධකය විනිවිද ගොස් ඇත. නියමිත කාලයට,නියමිත ක්‍රමයට අනුව පවා සිදු කරනු ලැබුව ද මානව හා විශ්ව දහමේ කොන්දේසි කිසිවක් පියවීමට සමත්කම් පාන්නේ නැත. මේ නිසා මානව යහපතේ දාර්ශනික ප්‍රශ්නය කලට වේලාවට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තුල සිදු කරනු ලැබුවත්, ගැටලුව ගැටලුවක් ලෙසම පවතී. මේ සඳහා විකල්ප හෝ නිර්මාණාත්මක මානව ක්‍රියාකාරීත්වයක් වෙනුවට අපට දක්නට ඇති සමාජ දේශපාලන බලවේග විකල්ප බලවේග ලෙස සැබැවින්ම ක්‍රියාත්මක වේද යන්න යන ගැටලුව සිත් තුලම පවතින්නකි.

විකල්ප බලයේ සත්භාවය

මෙකී සත්භවවාදී දැක්ම එසේ පැවතිය දී, ලංකාවේ බල දේශපාලනයේ වෙනසක් පිණිස මෙතෙක් පැවැති හා පවතිමින් තිබෙන බලයට ප්‍රතිචාරයක් ලෙස නව බලයක් මතු වෙමින් තිබීම මෙතෙක් පැවැති බල ව්‍යුහය්නට මෙන්ම එය මත පිහිටා පවතින සමාජ පංති ස්ථරයට ද තම තමන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගනු ලබන්නේ කෙසේද යන ගැටලුව පංතිමය සාධකයක් ලෙස වැදගත් වී ඇත. එයම භූ දේශපාලනයට ද වැදගත් සාධකයක් ලෙස මතුව එමින් තිබේ. එය කලින් පැවති සහ දැනට පවතින බලයට අභියෝගයක් නො වී ලංකාවේ අභ්‍යන්තර බලය භාහිර බලයේම කොටසක් වීම අඩු වැඩි වශයෙන් සිදු විය. එයම භාහිර ගෝලීය බල ව්‍යුහයන්ගේ කොටසක් වූ නිසා නව බලයක් බවට වෙනස් වීමේ අවස්ථාව කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු වී තිබේ. එහි ප්‍රතිඵලයක එක් අවස්ථාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා මාලිමාවේ ඉන්දීය සංචාරය හඳුනා ගත හැකි ය.

භූ දේශපාලනය සහ ජාතික ජනබලවේගය

ගෝලීය හා කලාපීය සංයුතිය අනුව ලංකාවේ බලය සඳහා තීරණාත්මක බලපෑම් කරනු ලබන පාර්ශව තුනක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. චීනය, ඉන්දියාව සහ අමෙරිකාව එම ත්‍රිත්වය යි. මේ බල ත්‍රිකෝණයේ ඉන්දියාව සහ අමෙරිකාව කෝණ දෙකක බලය වෙන් වෙන්වත් එකතුවීමෙනුත් යොදා ගනිද්දී, චීනය තනි බල කෝණයක් බවට පත්ව සිටී. ගණිත සූත්‍රයකට අනුව බැලුවොත් මේ බල ත්‍රිත්ව ත්‍රිකෝණය සෘජු කෝණාශ්‍රයක් වන්නේ නම්, චීනයේ බලය සමාන වන්නේ අමෙරිකාවේ සහ ඉන්දියාවේ බලයන් දෙකේ එකතුවට ය. එවැනි සමාන තනි බලයක් චීනය සතුව තිබේ ද යන්න හරි හැටි ගණනයකට පැමිණය නො හැකි වුවත්, චීනය හේතු කොටගෙන ඉන්දියාවත් අමෙරිකාවත් සිය බලයන් වැඩි කර ගනිමින් ලංකාවේ දේශපාලනයට තීරණාත්මකව මැදිහත්වීමක් සිදු කරනු ලබයි. මේ සම්මුති බල හවුල සඳහා වක්‍රව ලෝකයේ සෙසු රටවල් ද සංවිධානාත්මකව සෘජු හා වක්‍රව සම්න්ධ වී සිටී. චීනයේ සහයට ද බටහිරට සාපේක්ෂව සහයක් පැවැතිය ද සෙසු බටහිර බලයන් තරමට මැදිහත්වීම සිදු වීම දැකිය හැකි නොවේ.

එම හේතුවෙන් ලංකා සාධකයේ ඊ ලඟ බල මාරුව ජනතා කැමැත්තෙන් සිදු වන කොටස විකල්ප දිසාව වෙතට ගමන් කරමින් තිබෙන අන්දම ගැන ගෝලීය බලයන් විමසිල්ලෙන් පසු වෙති. අභ්‍යන්තර බලයේ වෙනස් වීම හා එහි අධිකාරිය කා අත සතු වුවත්, එය ගෝලිය බලයන්ට අනුගත වන්නේ ද යන කාරණය හමුවේ දී, ගෝලීය බලයන් තීන්දු තීරණ ගනිමින් සිටිති. එය එසේ කිරිරීමට ලංකාව එතරම් වැදගත් වන්නේ ලංකාව කලාපීය සහ ගෝලීය බලයේ උපායමාර්කි භූමියක් ලෙස ඇති වැදගත්කම නිසාවෙනි. පුරෝකතනයන්ට අනුව මෙන්ම සිදුවෙමින් පවති යථාර්ථයට අනුව චීනය ලෝක බල අධිකාරයේ කේන්ද්‍රය හිමි කරගැනීමට මාන බලමින් වැඩ කිරීමේ දී, ලංකාව යන සාධකය චීනයට වැදගත් වී තිබේ. චීනයට මුහුණ දීම සඳහා දැනට ලෝකයේ මහා බලවතා වන අමෙරිකාවට ද මේ අර්ථයෙන් ලංකාව නම් සාධකය තීරණාත්මය ය. ඉන්දියාවට චීනයේ බලපෑම වැදගත් නිසා කලාපීය බලවතා ලෙස ලංකාව ඉන්දියාවට ද තීරණාත්මක ය. මේ නිසා හතුරාගේ හතුරා මිතුරා වීමේ වාසිය ඉන්දියාවත් අමෙරිකාවත් සහයෝගයක් කරා ගෙන යෑම ඉතිහාසය පුරාම දැකිය හැකි වේ. දැනටමත් ලංකාව මෙම තුන් පාර්ශවයන්ගේ යටතට පත්ව ඇත. ඔවුන්ගේ ණයකරුවා බවට පත්ව ඇත. ලංකාවට මේ ත්‍රිත්වයෙන්ම ගැලවිය නො හැකි ය. බංකොලොත් රටක් බවට පත්වීමේ දී එයින් ගොඩ ඒමට අවැසි මාර්ගය කියා දෙන්නේද ඔවුන් විසිනි. මෙවැනි තත්ත්වයක වික්‍රමසිංහ පාලනය ඒ සඳහා අවතීර්ණය වී ඇත. එහි ඇති ගැටලුවේ ප්‍රථිඵලයක් ලෙස මතුව එන මාලිමාවේ බලය පැවැත ආ ගමන් මාර්ගයේ යන ගමනට සහයෝගයක් ලැබේද යන්න ඉන්දියාව සහ අමෙරිකාවට වැදගත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන දර්ශනයෙන් චීන පාර්ශවයට ඇති නැඹුරුව නිසා ය.

රාජ්‍ය සහ ස්වාධිපත්‍යය

පශ්චාත් යටත් විජිත දේශපාලනය විසින් රාජ්‍යය ගොඩ නැංවීමේ ඇති අසාර්ථකත්වයේ ඉහලම අවධියේ පසුවන අසාර්ථක රාජ්‍යය සාර්ථක රාජ්‍යයක් බවට පත්කිරීම නව පංතියකට බලය මාරු වීමෙන් සිදු විය හැකිද යන්න ජාතික ජනබල වේගයට ඇති අභියෝගයකි. එම අභියෝගය අද වන විට ලංකාව යනු කුමක්දැයි යන සංජානන සංඥාව අර්ථ ගන්වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණට මුණ ගැසෙන ගැටලුව ය. එය ලංකාව යනු ස්වාධීන රාජ්‍යයක් ද යන්න සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත් කර ගත හැකි ද යන දැනුම ය. එය කලින් පවතින සංඥාවෙන් වෙනස් කිරීමකට ගමන් කරවීමට ඇති ක්‍රමවේදය කුමක් ද යන්න ය.තවත් විදිහකට කිවහොත් පවතින දෘෂ්ටියෙන් වෙනස් වීමකට ගමන් කිරීමට ඇති හැකියාව කෙබඳු ද සහ ඒ සඳහා වූ ස්වකීය චින්තනයත් දර්ශනයත් ලබා ගන්නට නියමිත බලය සතුව තිබේ ද

ලංකාව නම් වූ රාජ්‍යය සම්බන්ධව තම තමන් සතුව පවතින දැනුම මත පදනම් භෞතික හා මානසික ක්‍රියාකාරිත්වයට අනුව මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. නමුත් තම මව් රට, තමන්ගේ දේශය, තමන්ගේ භූමිය වැනි පුළුල් සංඥාවන් තුල දී, යම් සමස්ථතාවයක් සමඟ ලංකාව යනු කුමක් දැයි යන්නට ඇති අදහස සහ යථාර්ථය කෙබඳු වේ ද.

ලංකාව ජාතික රාජ්‍යයක් ලෙස කාලාපීය හා ගෝලීය සන්දර්භය තුළ ඉහලම අනතුරුදායක තලයකට වේගයෙන් සීරුමාරුවෙමින් සිටියි. මොනම තත්ත්වයන් යටතේ වුවත් ලංකාවේ ඉදිරි කාල පරිච්ඡේදය ලංකා දේශපාලනයට පහසු වනු නොමැත. විශාල අනතුරකට පත් වීමට නියමිත ය. එය හරියට අන්තෝ ජටා බහි ජටා ය. මේ වනාහී යටත් විජිත කරණයෙන් පසු නාම මාත්‍රිකව නිදහස ලබා ගොඩ නගා ගත් ජාතික රාජ්‍යය යන්නෙහි තාර්කීක වර්ධනයකි. මේ අනතුර සමඟ කරන සෙල්ලමක් ලෙස සමස්ථ දේශපාලනය අන්තර්ගත වී ඇත.

නුතන දේශපාලන අර්ථයෙන් ගම්‍යය වෙන හොබ්සියානු (ජාතික) රාජ්‍යය යන සංඥාව එහි ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකාව නම් වූ ජාතික රාජ්‍යය සම්බන්ධයෙන් ඇති ගැටලුවක් ලෙස පුනරාවර්තනය වන්නේ රාජ්‍යය ගොඩ නැගිය යුත්තේ කෙසේද යන ප්‍රශ්නයට ඇති අසම්පූර්ණ පිළිතුරු ලෙස ය. ඒ තුළ ගැටළු නිරාකරණය වෙනුවට ගැටලු වැල් පොලී ආකාරයෙන් වර්ධනය වීමක් පශ්චාත් යටත් විජිත කාලය තුල වර්ධනය රාජ්‍යයකට අවැසි දැක්මේ හා චින්තනයේ ගැටලුවක් ලෙස පෙන්නුම් කරයි. ජාතික රාජ්‍යයක තිබෙන මූලික ගුණාංගයන් වන ((1) ජනගහනය population, (2) භූමිය territory, (3) ආණ්ඩුව government, (4) ස්වාධිපත්‍යය sovereignty (or independence) අන්තර්ගත වේ. මෙයින් භෞතික කොටස් ලෙස ජනතාව සහ භූමිය පෙනී සිටින විට අනෙක් ප්‍රධාන අංගයන් දෙක වන ආණ්ඩුව සහ ස්වාධීපත්‍යය මානසික කොටස කියෝජනය කරයි. මේ අනුව රාජ්‍යය යන්න භෞතික කොටසකින් සහ පාර භෞතික කොටසකින් යුක්ත වේ යන්න හොබ්සියානු අර්ථය වන්නේය. අද වන විට එය එසේ ද යන්න රාජ්‍යය පිළිබඳ ඇති යථාව තුල ගැටලුකාරී වී ඇත්තේ, රාජ්‍යයේ ඇති මානසික කොටස් දෙකත්, භෞතික කොටස් දෙකත් අතර ඇති සම්බන්ධයේ යථාර්ථයට කර ඇති බල පෑම හේතුවෙන් ය.

මෙතැන දී රාජ්‍යයක් ලෙස පිළිගන්නට ඇති ඉහත සඳහන් සම්මුති මෙවලම්වලට අනුව බැලීමේ දී මෙම ප්‍රධාන සංකල්ප මත මෙම සංජානනය වෙනස් කරනු ලබයි. එ් අතර භූමිය සහ ස්වාධිපත්‍යය යන්න තවත් සුවිශේෂී ලෙස අධිනිෂ්චය වෙමින් පවතී. මේ හැඟීම දෙමළ සිංහල මුස්ලිම් හැම ජන කොට්ඨාසයකටම තමන්ගේ ආස්ථානය අනුව පොදු වනු ඇත. යුද්ධයෙන් පසුව භූමිය සහ ස්වාධිපත්‍යය යන්න මත නැවත ඒකාග්‍රකරමින් මනස තුල ලංකාව යැයි සංඥාවක් ඇති කිරීමට හැකි වූයේ යැයි සිතන යථාර්ථය පාර භෞතික වී ඇත. එය ආකෘතික සංඥාවකි. මේ අකෘතික සංඥාව අන්තර්ගතයට අනුව යථාර්ථයක් වන්නේ නැත. මිනිසුන් තුල පෙර පැවැති මනසේ කැඩුණු සංජානන සිතුවම වෙනස් වී මනස තුල නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් යැයි දෘෂ්ටිවාද කර ඇත්තේ දෙමළා හා මුසල්මානුවන් අනෙකා කර ගැනීමෙනි. මේ නිසා මහින්ද රාජපක්ෂ පවුල් පාලනය විසින් මෙන්ම කලින් පැවැති ආණ්ඩුව විසින් කරන ආණ්ඩුකරණය තුල ලංකාව ස්වාධීන යැයි පෙන්වන යථාර්ථය භාහිර යථාර්ථයන් විසින් වෙනස් කරමින් පැවතීම රාජ්‍යයේ එක් කොන්දේසියක් (මෙවළම) වන ජනතාවට වැටහෙන්නේ නැත. බහුතරයක් වන සිංහල මහ ජාතිය සංතෘප්ත වන ස්වාධීනතාව සහ භූමිය යන්න නිර්ණය කර ඇත්තේ අභ්‍යන්තර සතුරාට අනුව වන නිසා ය. මෙම මිථ්‍යාවෙන් ඇහැරීමට නම් දැනෙන සුලු පැල්මක් ඇති කරන තුරු ජනතාව යැයි සලකන රාජ්‍යයේ භෞතික කොටසට නො දැනෙණු ඇත.

ඇත්තටම නම් යුද්ධයෙන් පසුව ලංකාව බරපතල වෙනසකට ලක් වී ඇත. එය නොතේරෙන විපරිවර්තනයකි. එනම් තවත් එක් නව යටත් විජිතවාදයක් සමග පවතින පශ්චාත් යටත්විජිතවාදී ස්වාභාවයේම දිගුවක් ලෙස විනාශය කරා ගමන් කරන්නකි.මේ ස්වභාවය විසින් ආකෘතිය විපරිවර්තනය කරන අතර අන්තර්ගතය විනාශ කර දමනු ඇත. මේ නිසා රාජ්‍යය යැයි සම්මත මෙවලම් අතර ඇති ස්වාධිපත්‍යය යන්න අභ්‍යන්තරයේ සිට භාහිර වෙත ගමන් කර ඇත.

ස්වාධිපත්‍යය හා පරමාධිපත්‍යය යන්න සිංහල භාෂාව තුල සමාන අරුත් අරගෙන භාවිතයේ යෙදුන ද මේ දෙක අතර ඇති වෙනස තේරුම් ගැනීමට ඉංග්‍රීසි අර්ථයේ ස්වාධිපත්‍යය යන්න කොටස් දෙකක් තුල විග්‍රහ වීම වැදගත් වේ

භාහිර ස්වාධිපත්‍යය (External sovereinnity) හා අභ්‍යන්තර ස්වාධිපත්‍යය (Internal sovereignity ) එහි ආරම්භයේ සිට අද දක්වාම ජාතික රාජ්‍යයක් ලෙස අභියෝගයට ලක්වෙමින් තිබේ.

නූතන අර්ථයෙන් ජාතික රාජ්‍යයක් ගොඩ නැගී නොතිබුනු 15වන සීයවසේ පටන්ම ශ්‍රී ලංකාව නම් වු භූමියේ ස්වාධිපත්තිය අභියෝගයන්ට මුහුන දෙන්නට සිදු විය. ඒ වකවානුවේ භූමින් හා එවායේ වැසියන් යටත් කරගනිමින් ගෙන ගිය යටත්විජිතවාදී කොල්ල කෑමට ශ්‍රී ලංකාව එදා සිටම මුහුණ දෙනු ලැබීය. එය සිදු වීමට මූළිකම හේතුව වූයේ රට අභ්‍යන්තරය කොල්ල කෑමට ඇති ස්භාවික සම්පත්වල ඇති වැදගත්කම නොවේ. එයට බලපෑ මූළිකම හේතුව වූයේ එහි භූගෝලීය පිහිටිමයි. ඕනෑම බලවතෙක් ඉන්දියන් සාගරයේ බලය පිටවීමට නම් ලංකාව නම් වු කුඩා දූපත තම අනසක යටතේ පවත්වාගෙන යා යුතු වීම එදා සිට අද දක්වාම යථාර්ථයකි. ගෝලීයකරණය නම් වූ නව ලෝක රටාව, චීනය හා ඉන්දියාව ගෝලීය බලවතුන් ලෙස නැගී ඒම මෙම අවශ්‍යතාව තව තවත් තීව්‍ර කරමින් සිටී. (මේ පිළිබඳව ගැඹුරු අවබෝදයක් ලැබීමට කියවන්න : MONSOON, THE INDIAN OCEAN AND THE FUTURE OF AMERICAN POWER – Robert D. Kaplan )

ඒ අනුව අද ස්වාධිපත්‍යය යන්න එලියේ ඇති, භාහිර විසින් කළමනාකරණය කරන සංකල්පයක් වී ඇත. කලින් පැවැති විශ්වාසය තවමත් මනස තුල පැවැතියත්, ඇත්තටම ස්වධිපත්‍යය යැයි කියා දෙයක් නැත. එය මෙහෙයවන්නේ ප්‍රාග්ධන ස්වාධිපත්‍යයන්ගේ ලෝක දේශපාලනය විසිනි.මේ අනතුර දන්නවා යැයි ප්‍රකාශ කරන හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලනයන්ට පවා තේරුම්ගත නො හැකි කාරණය වන්නේ අද ස්වාධිපත්‍ය යැයි කියා දෙයක් තිබේද යන්න ය. අභ්‍යන්තරයේ නැති ස්වාධිපත්‍යයට සිදුව ඇත්තේ කුමක්ද යන්න හා එය නැවත අභ්‍යන්තරය කරා කැඳවා ගන්නේ කෙසේද යන්නට ඇති දේශපාලන චින්තනයේ ඇති ගැටලුව යි. ස්වාධිපත්‍යය ඇත්තේ කොහේ දැයි සෙවීමේ දී, එදා සංකේත වූ දළදා වහන්සේ මෙන් එක තැනක නැත. එය කැබලි කඩා බෙදාගෙන ඇත. චීනය, ඉන්දියාව, අමෙරිකාව, යුරෝපය ආදි ප්‍රාග්ධන බලකඳවුරු සතුව මෙම කරඬුවේ කොටස් ඇත. මෙම තත්ත්වය හඳුනාගත හැකි වන්නේ පාර ජාතික ප්‍රාග්ධන ස්වාධිපත්‍යය ලෙසිනි. යටත් විජිත මෙන්ම පශ්චාත් යටත් විජිත මුල් කාලයන්හි දී, තනි ප්‍රාග්ධන ආධිපත්‍යය මත සිය අණසක පතුරා ගත් ලෝකයේ බල දේශපාලනය බෙදී යන්නට වීම නිසා තනි අණසකට බලපෑම් කරමින් ප්‍රාග්ධනයේම අනෙකුන් ලෙස අමෙරිකානු බලයට විකල්ප ලෙස ගොඩ ගැනී ඇති රටවල් සමූහයන්ගේ එකතුවේ (BRICS) (TRIAD) ප්‍රාග්ධන බලය විසින් ප්‍රාග්ධනයේ ඒකාධිකාරය චලනයකට ලක් කිරීම ප්‍රාග්ධනයේ පාර ජාතික ස්වභාවය පටන් ගැන්මකි. මිතුරන් එකෙක් වෙනුවට සමූහයක් ඇති වීමත්, එහි විලෝමය ලෙස සතුරන් එකෙක් වෙනුවට සමූහයක් ඇති වීමත් නිසා මේවායේ පාලනයට නතු ජාතීන්ට තමන්ගේ අනන්‍යතාවන් මෙන්ම ස්වාධිපත්‍යය පිළිබඳ තව තවත් ගැටලු ඇති කර ඇත. මෙහි දී විශේෂයෙන්ම ජාතිකවාදී මානසික සංජානනයන් දවසින් දවස නන්නත්තාර කර දමන්නට මෙම පාර ජාතික ස්වාධිපත්‍යයට හැකි වී ඇත.

පැරනොය්යානු අනතුර

මේ නිසා ස්වෛරීභාවය යන්න සංකේතයක් වීමත් කිසියම් රටක් රාජ්‍යයක් යනුවෙන් හඳුනා ගන්නා පොදු සම්භාව්‍ය මිණුම් දඬු පාර යටත් විජිතවාදය තුල බිඳ වැටී ඇත. ස්වාධීනත්වය හා ස්වෛරීභාවය ලෙවල් කැටේ ජල බිංදුව වැනිය. මෙය මානසික හැඟීම් සමුදායක් වන බැවින් එය පුද්ගලබද්ධ වන අතර එයට පාලක දෘෂ්ටිවාදය ඇතුලු වී ස්ථාපිත කරන සාමූහික දෘෂ්ටිවාදය මෙහෙය වන්නේ හා පාලනය කරන්නේ අභ්‍යන්තර ස්වාධිපත්‍යයේ ඇති විශ්වාසයන් විසිනි.

ධනවාදයේ හා නව අධිරාජ්‍යවාදයේ ගතිකතාවන්ට අනුව ස්වාධිපත්‍යය පිළිබඳ සංකල්පය රටකට බැලපෑම් කරනු ඇත. ලංකාව සම්බන්ධයෙන් බරපතල ලෙස කල්පනා කළොත් අද ගෝලීය බල දේශපාලනය තුල ලංකාව ස්ථානගත වී ඇති ආකාරය ඇත්ත වශයෙන්ම බැරූරුම්සහගතය. ඇඟ හිරු ගඩු දනවන්නකි. මෙය පැරනොයියානු මාකසිකත්වයකට ලක් කරන්නකි. චීනය, අමෙරිකාව සහ ඉන්දියාව යන ත්‍රිකෝණාකාර බල කෝණයන්ට මැදි වී සිටින ලංකාව රාජ්‍යයක් ලෙස නියෝජනය කරන ආණ්ඩුවල සම්ප්‍රධායික අර්ථය ඉෂ්ට කිරීමට හැකියාවක් නැත. එය මීට කලින් බටහිර ගැති ආණ්ඩු ලෙස නාමකරණය වූ භාවිතාවට අමතරට චීනය බැඳී ඇත්තේ ඉතාම උපක්‍රමික ආකාරයකට ය. රොබට් කප්ලාන්ට Robert D. Kaplan) අනුව ලංකාව සම්බන්ධයෙන් කරන විමර්ශනය අද වන විට සමීප යථාර්ථයක් වී තිබේ. එයින් පැහැදිලි වන එක් දෙයක් වන්නේ, තුන් ඈඳතු යටත් විජිතවාදීන්ට ද පෙරාතුව සිට චීනය ලංකාව සම්බන්ධයෙන් සැලසුම් සහගත ගෝලීය දේශපාලනයක යෙදී සිට ඇති බව ය. එහි ප්‍රධාන ජයග්‍රහනයක් ලෙස බටහිරට පෙර චීනය නැවත පෙරට පැමිණ හම්බන්තොට වරාය අත්පත් කර ගැනීම එක් ප්‍රධාන ඇඟවුම වන්නේ ය. ගෝලීය වශයෙන් මෙම මුහුදු බලයේ තරම දන්නා අමෙරිකාව හා ඉන්දියාව ද ඊට දක්වන ප්‍රතිචාරයන් ලෙස සැලසුම් කරන උපාය උපක්‍රමයන් විසින් ලංකාවේ ස්වාධිපත්‍යය යන්න හුදු සංකල්පයක් බවටම පත්කිරීමට ඉදිරියට කටයුතු කරනු ඇත.

මේ හරහා අපට නො පෙන්වන අනාගත ඉරනමේ ඇති භයංකාරීත්වය කියා නො පාන්නේ මොනවාද. ප්‍රධාන හේතුවේ ඵලය වෙනුවට රට තුල කෙරෙන ප්‍රතිසංස්කරණ හා පාරිසරික විරෝධයන් යටපත් කරමින් එළඹිය හැකි අනතුර වන්නේ අනාගත යුද පිටියක සූදානම ය. පෙර සිට බලය හෙබවූවන්ගේ මෙන්ම දැනට බලය හොබවන පිරිස අතරට නව බලයක් එක් වන්නේ භූ දේශපාලනික බල අඬුවට හසු කරගත කට් එකක් ලෙසිනි. මෙයින් මිදීමට හැකියාව ඇති බව බලය ලබා ගැනීමට පෙර එක එක ආකාරයට වර නැගුවද බලය ලබා ගැනීමේ ආසන්නයට පැමිණෙද්දී, අඬුවට හිරකරන අයුරු ඉන්දීය අමෙරිකානු මැදිහත්වීමත් චීන ලංවීමත් තුල දැක ගත හැකි වේ.

චීනය හා අනාගතය

ඒ අනුව බලය ලබා ගන්නා කාට වුවද සිදු වීමට නියමිත වී ඇත්තේ චීන ගැති ආණ්ඩුවක් ද නැතිනම් අමෙරිකා- ඉන්දියා ගැති ආණ්ඩුවක් ද යන්න තොරා ගැනීම පමණි. නැතිනම් මේ දෙකම තෘප්තිමත් කරමින් අනතුර අනාගතයට ගෙන යමින් ගැටලුව තීව්‍ර කරන උපායන්ට ඉඩ සලසන ආණ්ඩුවකට බලය ලබා ගැනීම ද යන්න ය.

එක්කෝ රාජ්‍යය පිළිබඳ ඇති පැරණි හා පරිකල්පනීය අර්ථය ඉදිරියේ දී ඇතිවන විනාශයන් තුලින් අලුත් හැඩයකට පෙරළණු ඇත. නැතිනම්, පවතින රාජ්‍යය යන සංකල්පයට නිමය අර්ථයක් ගෙනදීමට නව ජාතික විමුක්ති අරගලයන්ට යොමු වීමට සිදු වනු ඇත. එය සිදු වීම පවා වීමට නියමිතව ඇත්තේ දකුණේ අභිලාෂයන්ට යොමු වීමෙන් පෙන්නුම්කරන ජාතිකවාදය තුලිනි. නියම ජාතික විමුක්ති අරගලයක් දියත් කිරීමට පැරණි ලෙනිනියානු මාදිලියට හැකියාවක් නැති අතර නව ආකාරයකට පෙරට එන සාකල්‍යවාදීත්වයක් ද දැකිය නො හැකි ය.

2024 පරීක්ෂාව

අප කැමැති වුවත් නැතැත් යථාර්ථය වන්නේ කැමැති දෙය නො වන නිසා ලංකාවේ නව දේශපාලන ප්‍රවණතාවන්ට අනුව පුරෝකතනය කිරීමට සිදුව ඇත්තේ අද දේශපාලනය යනු අනතුරට පෙම් බැඳීමක් ලෙස ය. එය වඩාත් හොඳින් 2024 බල මාරුව සඳහා සූදානම් වන රංගන සිනාරියෝවෙන් බලා ගත හැකි වේ. තිරය වසා දැන් කරමින් සිටින පුහුණුවීම්, වේස නිරූපනයන් ප්‍රධාන දේශපාලනයන්ට අමතරව ජාතික ජන බලවේගය දැනටමත් එකී රංගනයට අවතීර්ණ වී ඇත.

රාජපක්ෂ කඳවුරේ කුමන කොටසක් වේවා, විපක්යේ සන්ධාන ගත කුමන කොටසක් වේවා, ඒ නොවන කුමන කොටසක් වේවා, ඔවුන්ට සහය දක්වන පිරිස විසින් පෙන්වන අඩු නපුර හෝ වැඩි නපුර වේවා, එහි කුමන පැත්තක් ගනු ලැබුවද ලංකාව රාජ්‍යයක් ලෙස මුහුණ දීමට නියමිතව ඇත්තේ පරාජයකට හෝ අභියෝගයකටය. එහි ප්‍රධාන හා සුළු නළුවන් වීම හැර වෙන දෙයක් නැත.

ගැටලුව ඇත්තේ ස්වාධීන රාජ්‍යයක් ලෙස අලුතින් ගොඩ නැගීමට ජනයා සූදානම් කිරීමට ඇති දැක්මේ දිග පළල ය.

දෘෂ්ටිය චින්තනය හා භාවිතාව

මේ නිසා පව් කරන, පව් නො කළ කියා භේදයකින් තොරව සියල්ල සුනාමියට සූදානම් විය යුතු ය. බලය වෙනුවෙන් සිදු වන දේශපාලනයේ දී එය සිදු වෙමින් පවතී. එහෙත් සත්‍ය වශයෙන් යැයි කිව හැකි ඉහත බල පීඩනයෙන් මිදීමට කළ යුත්තේ කුමක්ද යන්නට ඇති විකල්ප කොතෙක් ශක්තිමත්ද යන්න ය. අවම වශයෙන් කුඩා හෝ උත්සාහයක් දැමිය යුතු ය. එය වනාහි කොන්දේසි විරහිත විශ්වීය මිනිසකු බවට පත්කිරීමට අවශ්‍ය කර ක්‍රම විරෝධය භාවිතාව හරහා ප්‍රගුණ කිරීමකි. එය මහජන මෙන්ම බහු ජන බහු විසංවාදී ඒකකත්වයක් ඇති කරන ව්‍යවස්ථාපිත, අධ්‍යාත්මික කැපකිරීමකි. අනන්‍යතා බෝඩ් ලෑලි කඩ කාමර වසා දමා හර සුං සංවාද හරවත් සංවාද බවට ද, මමත්වය බිඳ හෙලන නව නිර්මාණාත්මක නායකත්ව සම්මුතියකට අනෙකා නොව තමා දෙන ප්‍රතිඥාව තුල ක්‍රියාත්මක භාවිතාවකින් මිස වෙන ක්‍රමයක් නැත. වැදගත් වන්නේ බොල්ෂේවික් ද මෙන්ෂේවික්ද යන්න නොව අනෙකා වෙනුවෙන් බෝධිසත්වයෙකු මීමෙනි. පාරමිතාව භාවිතාවකි. භාවිතාව මේ මොහොත ය.

 

 

 

 

 

leave a reply