Breaking News

5000ක් බෙදීමේ ක්‍රියාවලියේ ගැටලු රැසක් – හදිසි තීරණය ගැන ග්‍රාම සේවක, සමෘධි නිලධාරීන්ගේ විරෝධය

අලුත් අවුරුද්දට දවසකට පෙර අඩු ආදායම්ලාභීන් වෙත රු.5000 දීමනාව ලබා දෙන ලෙස නියම කිරීමෙන් තම නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පවසා තිබේ. ඔහු පවසන්නේ ආණ්ඩුව ගහෙන් ගෙඩි එනවා වගේ චක්‍රලේඛ නිකුත් කර මහජනතාව සහ නිලධාරීන් අතර ගැටුමක ඇතිවන තත්ත්වයක් ඇති කර තිබෙන බවයි.

අද (11) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව පවසා ඇත.

”සමස්ත රාජ්‍ය සේවකයින් බහුතරයක් ඊයේ වෙනතුරු රාජකාරී කරලා හෙට දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කරලා 13 සහ 14 යන දවස් දෙක සිංහල අවුරුදු නිවාඩුව ලබා දී තිබෙන අවස්ථාවක්. සිංහල අවුරුද්දට දවසක් තියෙද්දී මේ දීමනාව ගෙවන ලෙස නිලධාරීන්ට බලපෑම් ඇති කිරීම ඉතාම කණගාටුදායකයි. ගහෙන් ගෙඩි එන්නාවගේ චක්‍රලේඛ නිකුත් කරලා මේ රටේ මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර ගැටුමක් ඇතිවන තත්ත්වයකට මෙවර රු.5000 දීමනාව ලබා දීමේ කටයුත්තට බලධාරීන් එළඹිලා ඉන්නවා. ඉතිං ඇත්තටම අපි කණගාටු වෙනවා. අපි දන්නවා සිංහල අවුරුද්ද කියන එක සෑම අවුරුද්දෙම එනවා. රජයට හෝ මේ බලධාරීන්ට රු.5000ලබාදීමට අවශ්‍ය වෙලා තිබුණා නම් මීට පෙර සාකච්ජා කරලා අදාළ දිස්ත්‍රික් ලේකම්වරු,ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා ඒ නිලධාරීන් යොදාගෙන මේ කටයුත්ත කරන්න තිබුණා. අපිට පෙන විදිහට මෙහි මුලික පරමාර්ථය රු.5000 ලබා දීම නොව රටේ ජනතාව සහ නිලධාරීන් අතර ගැටුමක් ඇති කිරීමටයි. ඒ නිසා මේ කරන්න යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විරෝධය ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කරනවා.” යනුවෙන් සුමිත් කොඩිකාර පවසයි.

රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටළුවක් නොව පවතින්නේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටළුවක් බවද ඔහු පවසා තිබේ.

මේ අතර සමෘද්ධි පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරද්දට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ ද එම මුදල් සමෘද්ධි බැංකුවලට ලබාදී නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අවුරුද්ද නිමිත්තෙන් එම පවුල්වලට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය හදිසියේ තීන්දු කිරීමෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින් අපහසුතාවයට පවත්වන බවද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ පැවැසීය.

කෝවිඩ් හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව කාණ්ඩ 10ක් යටතේ ලබාදුන් නමුත් මෙවර කාණ්ඩ 7කට අයත් පවුල් සඳහා පමණක් මෙම දීමනාව ලබාදෙන්නැයි දැන්වීම නිසා සමෘද්ධි නිලධාරින් හා ජනතාව අතර ගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබෙන බව ද ඔහු කීය.

leave a reply