මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අධික නියෝජනයක් ලැබී ඇත. සම්ප්‍රදායික දක්ෂිනාංශික දේශපාලන පක්ෂ, සම්ප්‍රදායික දේශපාලඥයන් සහ සම්ප්‍රදායික දේශපාලන ධාරාවන් සියල්ල ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට මෙම මැතිවරණ ප්‍රතිඵලය නිදසුනකි. දශක අටකට ආසන්න කාලයක් තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ කඳවුරු දෙකෙන් ඉවත් වීමට සහ ඒවා සමග පැවතුණු ඓතිහාසික බැඳීම් අවසන් කිරීමට ජනතාව තීරණය කිරීම සාධනීය ඉදිරි පියවරකි. එම ඉවත්වීමේ තීරණයට සියලුම ජාතික – ආගමික ජන කොටස් සහ සියලු ජන බලවේග එක්වීම ඊටත් වඩා සාධනීය පියවරකි. පැරණි මාවතෙන් ගැලවීමට සහ අලුත් මාවත් සොයා යාමට ලංකාවේ සමාජය ප්‍රථම ප්‍රවේශය ගෙන ඇත. එහිදී උතුර – නැගෙනහිර – කඳුකරය වැනි ජනගහනයෙන් සුළුතර ජන කොටස් වාසය කරන ප්‍රදේශ මෙන්ම සියලු ජාතික අනන්‍යතාවන් එකට ජීවත් වන කොළඹ නගරයට අදාළ මැතිවරණ කොට්ඨාශ එකට එක්ව තිබේ. සිදුව ඇත්තේ මැතිවරණ දේශපාලනයේ වෙනසක් පමණි. නමුත් එය වඩාත් ගැඹුරු සහ කල් පවත්නා වෙනසක් සඳහා වන ආරම්භයක් කර ගැනීමට අපට පුළුවන.
ජන අරගල සන්ධානය පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව වර්ධනයක් අත්පත් කරගත් නමුදු පාර්ලිමේන්තු නියෝජනයක් සඳහා අවශ්‍ය වර්ධනය අත්පත් කර ගත්තේ නැත. ජන අරගල සන්ධානයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජනතාවට බලය ලැබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, IMF මර උගුලෙන් ඉවත් වන විකල්ප වැඩසටහනක් සකස් කිරීම, ඒකාධිකාර වල ග්රහණයෙන් ජනතාව මුදාගෙන ආර්ථික යුක්තිය ස්ථාපිත කිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුමක් නිර්මාණය කිරීම, පවතින භූ දේශපාලන බලපොරයෙන් ලංකාව බේරා ගන්නා විදෙස් ප්‍රතිපත්තියක් වෙත යාම ඇතුළු පුළුල් වැඩපිළිවෙලක් තිබිණි. එම පණිවුඩය සියලු ආකාර වලින් හොඳින්ම සමාජගත නොවූ නමුත් මෙම තීරණයට බලපාන දේශපාලන සාක්ෂරතාවය වර්ධනය වීමට එම පණිවුඩයේ ඇතැම් පාර්ශව සන්නිවේදනය වීම ද බලපාන ලදි මැතිවරණ ප්රචාරක සංදර්ශන වල ඝෝෂාව ත් දූෂිත දේශපාලනය පලවා හැරීමේ උවමනාවත් හමුවේ ජනතාවට අපගේ පණිවුඩය නොඇසී යාම මෙන්ම එම පණිවුඩය සමාජගත කිරීමේදී අප සතුව තිබු සීමාකාරීත්වයන්ද එම ගැටලුවට හේතු විය. ජනතාව මේ මොහොතේ දූෂිත – ප්රතිගාමී දේශපාලනය ඉදිරියේ මුහුණදුන් අභියෝගයට ප්‍රමුඛත්වය දෙන ලදි. ජන අරගල සන්ධානයේ වැඩපිළිවෙල සංයුක්ත වනුයේ අනාගත අභියෝග වලට මුහුණදීමට අදාළ ප්‍රතිපත්ති වලිනි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි ආණ්ඩු පක්ෂයට ජනතාවගේ අභිලාෂයන් පූර්ණ කිරීම සඳහා අවශ්‍ය බලය උපරිමයෙන් ම ලැබී තිබීම විසින් කඩිනමින් ඉටු කිරීම සදහා වන වගකීමද අවධාරණය වෙයි. ජනතා බලාපොරොත්තු ඉටු කර ගැනීමේ කර්තව්‍යයේදී අප නිරතුරුව ජනතාව සමග සිටිමු. ජන අරගල සන්ධානයට ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රකාශයට පත් නොවන දේශපාලන පදනමක් සහ ජනතා අනුමැතියක් පවතින අතර එය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි කාලය පුළුල් අවකාශයක් විවර කරනු ඇත. එම ශක්තිය ජනතාවගේ අයිතීන් දිනා ගැනීම සඳහා භාවිතා කරන බවට වන සහතිකය අපට ලබාදිය හැක. කෝටි ගණනින් මුදල් කඳු වැය කරමින් සිදු කරන ලද මැතිවරණ ව්‍යාපාරයක ඉතාම දුෂ්කර තත්වයන් යටතේ ජන අරගල සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට නන් අයුරින් සහය දුන් සියලු දෙනාටත්, ඡන්දය දුන් සියලු දෙනාටත් අපගේ සහෝදරාත්මක ස්තුතිය පිරිනමමු.