පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කමිටු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම මේ වන විට ආන්දෝලනයට තුඩුදී තිබේ.
මෙරට ඉතිහාසය පිරික්සීමේදී කිසියම් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වූ වහා ම ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරුන් විසින් පරීක්ෂණ කොමිෂන් සභා පත් කිරීම සුලභව දක්නට ලැබේ.
මෙරට ස්ථාපනය කෙරුණු පරීක්ෂණ කොමිෂන් සභා තුළින් ඵලදායී කාර්යභාරයක් ඉටු වී තිබේ ද? යන්න ප්‍රශ්නසහගත ය.
ඇතැම් අවස්ථාවල මතු වී තිබෙන ප්‍රශ්නය යට ගසා මහ ජනතාව සන්සුන් කිරීමේ අරමුණින් මෙම පරීක්‍ෂණ කොමිෂන් සභා පත් කරන බවට ද ඇතැම් පිරිස් චෝදනා කරති.
මෙවැනි කොමිෂන් සභා තුළින් අනාවරණය කර ගන්නා තොරතුරුවලින් නීති කෘත්‍යයන් පවත්වාගෙන යාම ගැටලුසහගත බවටත් ඒවා හුදෙක් කාලය හා මහජන මුදල් කා දමන උත්සාහයන් බවටත් තවත් චෝදනා පවතී.
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන පරීක්‍ෂණ කොමිෂන් සභාවලට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන අධිකරණවල අපරාධ නඩු ගොනු කළ හැකි දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හා අපරාධ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නගෙන් බීබීසී සිංහල විමසීමක් කර ඇත.
“පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන සාක්ෂි සෘජුව ම යොදාගෙන අධිකරණවල නඩු පවරන්න බැහැ. 2008 වසරේ කොමිෂන් සභා පනතට සංශෝධනයක් ඉදිරිපත් කළා. ඒ තුළින් කොමිෂන් සභාවලට ඉදිරිපත් වන යම් සාක්ෂියක් සලකා බලන්න නීතිපතිවරයාට හැකියාව ලැබෙනවා. ඒත් ඒකෙන් අදහස් වන්නේ නැහැ ඒ සාක්ෂි පදනම් කරගෙන අධිකරණවල නඩු දාන්න පුළුවන් කියලා.”
“මොක ද පරීක්ෂණ කොමිෂන් සභාවලින් කරන්නේ කරුණු සොයා බැලීම පමණ යි. එහි සැකකාරයෝ නැහැ. නඩු පැවරීමට නම් කොමිෂන් සභාවල ඉදිරිපත් වන කරුණු පිළිබඳව පොලිසිය යොදවා නව විමර්ශනයක් කළ යුතු යි. එම නව විමර්ශනයේදී සටහන් කර ගන්නා ප්‍රකාශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු යි. නීතිපතිවරයා ඒවා අධ්‍යයනය කර ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට තීරණය කරන්නේ නම් නඩු පැවරීමට හැකියාව තිබෙනවා. එසේ නොමැතිව කොමිෂන් සභාවක් ඉදිරිපිට ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන සෘජුව ම නඩු පැවරීමට හැකියාවක් නැහැ. මේ දක්වා කොමිෂන් සභාවල ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කරගෙන කිසිදු අධිකරණයක නඩු පවරලත් නෑ,” යනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සඳහන් කළේ ය.
මෙරට පත් කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවල ඵලදායීතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පැහැදිලි කළේ ය.
“ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා කියන්නේ මායාවක් විතරයි. මේවා නිකන් ඇස්බැන්දුමක් විතරයි. මොක ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කොමිෂන් සභා ගණනාවක් මේ වන විට පවත්වා තිබෙනවා. ඒවායේ අනාවරණය වූ සාක්ෂි පදනම් කරගෙන කිසිදු නඩු පැවරීමක් සිදුවෙලා නැහැ. මේ කොමිෂන් සභාවලට විනිසුරුවරු පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. එහෙත් සමාජයේ ඇතැම් අවස්ථාවල මෙම විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීභාවය ගැන කරුණු මතු කළ අවස්ථා වාර්තා වී තිබෙනවා. මේ කොමිෂන් සභා හරහා සිදුවන්නේ ජනාධිපතිවරයාගේ දැන ගැනීම සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම යි. එහිදී කොමිසමක් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පදනම් කරගෙන අනාගතයේදී යම් යම් ක්‍රියා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඒ හැරුණු විට අපරාධ නඩු කටයුතු සඳහා මේවා යොදාගන්න බෑ,” යනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන වැඩිදුරටත් සඳහන් කළේ ය.
BBC සිංහල වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි