අද උදෑසන සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම පුවත බවට පත්වෙලා තිබුණේ තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ නැගණිය යැයි පවසමින් පොලිසියට බාධා කරමින් හැසිරුණු කාන්තාවකගේ වීඩියෝවයි . ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ බණ්ඩරණායක අනුස්මරණ පොදු පුස්තකාලය ඉදිරිපිට සිදුවූ මෙම සිදුවීමේදී පොලිසිය සමඟ ආරවුලක් ඇතිකරගත් එම කාන්තාව ඉහත සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නැගණිය නොවන බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා .
වන විට ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙනවා .
පොලිසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
කාන්තාවක් ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් ප්‍රකෝපකාරීව හැසිරන වීඩියෝවක් මේ වන විට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම වීඩියෝපටයට අදාළ සිදුවීම 2025.10.31 වන දින ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ උඩුගම්පොළ මාර්ගයේ සිදුව ඇති අතර, කාර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, කාර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථ වාහන නිලධාරීන් විසින් මෙම කාර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේදී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදී මෙසේ හැසිරී ඇත.
අනතුරුව මෙම ස්ථානයෙන්ද මෙම කාන්තාව පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේදී රථය නවත්වාගෙන මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකාර කාන්තාව, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදු කරන ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් වන අතර එවැනි කිසිම සබඳතාවයක් අනාවරණය වී නොමැත.
ඒ අනුව, සැකකාරිය අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම හා අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ 2025.11.01 වන අද දින ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






