Breaking News

‘අවදානම උඹලා දරපල්ලා, අපි ණය දෙනවා ‘ – IMF තෙවැනි වාරිකයත් අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන ණය වාරිකය අනුමත කිරීමට පෙර එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් පැවැත් වූ සමාලෝචනය අවසන් කර ශ්‍රී ලංකාවට, තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමට ජාත්‍යන්තර අරමුදල විසින් මේ වන විට අනුමැතිය ලබා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය රමුදල විසින් ජුනි 12 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙන අතර සමාජ සුභසාධන වියදම් හැර අනෙක් සියළු ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් 2023 දෙසැම්බර් වන විට සපුරා ඇතැයි එහි දැක් වේ.

නමුත් තවමත් ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතින අතර ණය තිරසාරත්වයේ මාවත තවමත් අවදානම් තත්ත්වයක ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර තිබේ.

දළ දේශීය නිෂ්පාදිතය 2023 දෙවන භාගයේදී 3%කින් ප්‍රසාරණය වී ඇති අතර, 2024 මැයි උද්ධමනය 0.9%ක් වූ බවත්, 2024 අප්‍රේල් අවසන් වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් ය.

වර්තමානය වන විට උද්ධමනය තනි අගයක පවත්වාගෙන යාමට රජය සමත්ව තිබුණ ද එයින් අදහස් වන්නේ භාණ්ඩ වල මිල ගණන් අඩුවනවා යන්න නොවේ. එයින් අදහස් වන්නේ භාණ්ඩවල මිල ගනන් ඉහළ යාඅමේ වේගය අඩු වී ඇති බවයි. යම්හෙයකින් භාණ්ඩ මිල අඩුවීමට නම් උද්ධමනය සෘණ අගයක පවත්වාගෙන යා යුතුයි.

කාර්යය සාධනය අතින් ශ්‍රී ලංකාව ශක්තිමත් බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළද, ස්වාධීන පර්යේෂණ ආයතන පසුගිය සතිය තුළ අනාවරණය කර තිබුණේ, ශ්‍රී ලංකාව තවමත් IMF වෙත පොරොන්දු වූ කැපවීම් ඉටුකර නොමැති බවය.

ශ්‍රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන “Verite Research” ආයතනය ජුනි 9 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 2024 මැයි මස අවසන්වන විට ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් ඉටු කර නොමැති බව ය. එම ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට සමස්ත කැපවීම්වලින් ශ්‍රී ලංකාව මේ වන විට ඉටු කර තිබෙන්නේ 30%ක් පමණි. 15%ක් ඉටු කිරීමට නොහැකි වී ඇති අතර, 41%ක් තවමත් ඉටු කිරීමට අදාළ කටයුතු කෙරෙමින් පවතියි. 14%ක කැපවීම් සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇත.

Verite Research ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ රාජාකුලේන්ද්‍රන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තෙවන වාරිකය ලබා ගැනීමට මෙම කැපවීම් ඉටු නොකිරීම බලපෑමක් ඇති නොකළත් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වැදගත් කැපවීම් රැසක් ශ්‍රී ලංකාව විසින් ඉටු කර නොමැති බවයි.

“ශ්‍රී ලංකාව දැනට ඉටු කරලා නැති කැපවීම් 16 ප්‍රධාන කොටස් තුනකට බෙදුවොත් ඒවා අයත් වෙන්නේ මූල්‍ය විනිවිදභාවයට, මූල්‍ය කළමනාකරණයට සහ දූෂණ මර්දනයට. මේ දේවල් යහපත් ආණ්ඩුකරණයකට ඉතාම වැදගත් දේවල්. ”

මෙහි ඇති පුදුමයට කරුණ නම් කිසිදු කැපවීමක් නොපෙන්නුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම ණය ලබාදීමයි.

අනිත් අතින් මෙම ණය ලබාදෙන්නේ මැතිවරණ පැවැත්වීම කල් දමමින් තවදුරටත් බලයේ සිටීමට විවිධ ගේම් ගැසීමට උත්සාහ කරමින් සිටින රනිල් රාජපක්ෂ පාලනයකට වීමද විශේෂත්වයකි.

ණය ලබාදීමේදී IMF එක සැළකිලිමත් වන බව පැවසූ වංචාව, දූෂණය, වගවීම වැනි වැනි දේවල් වචන පමණක් බව පැහැදිලිය.

තවමත් විදේශ ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය සාර්ථක වී නොමැත. එසේම ණය ප්‍රතිව්‍යුගතකරණයට එකඟ වුවද ඒ හරහා ලැබෙන්නේ ඉතා අවම වාසියක් බව දැනටම මත පළවෙමින් තිබේ.

එසේම අනිත් පැත්තෙන් ණය බර දිනෙන් දින ඉහළ යමින් පවතියි.

 

leave a reply