Breaking News

ඔබ මියගොස් නැත!

නොවැම්බර් මාසය එළඹෙත්ම වමේ දේශපාලනයේ යෙදී සිටින ඕනෑම කෙනෙකුට අඳුරු මතකයක් ලෙස සිහිපත් වන්නේ මීට වසර 36කට පෙර පාලක පන්තිය විසින් බිහිසුණු ලෙස මරා දැමූ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඉල්මහ විරුවන්ය. සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් වැද දිවිදුන් විප්ලවවාදීන්ය. 1987 ආරම්භ වී 1989 අග භාගය දක්වා සන්නද්ධ අරගලයක් ඇදී යන්නේ එවකට ජේ.ආර්. ජයවර්ධන නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයේ අත්තනෝමතික ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට අභියෝග කරමිනි.

ඔවුන් ගෙනගිය ඒ සන්නද්ධ අරගලය, දේශපාලන මැදිහත්වීමක් ලෙස එවකට සමාජ දේශපාලන පසුබිමෙන් වෙන් කළ නොහැකි වර්ධනයකි. 70 දසකය අවසානයේ පාලක පන්තිය විසින් ‘විවෘත ආර්ථිකය’ නමින් ගෙන ආ නවලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණවලින් ජනතාව වෙත දිනා දෙන්නට පොරොන්දු වූ කිසිවක් ඇත්ත වශයෙන්ම හිමි වූයේ නැත. තොරොම්බල්කාර විවෘත ආර්ථිකයේ කප්පිත්තා වූ ජේ.ආර්., අරගලයේ බලයෙන් වේදිකාවෙන් ඇද දමන තුරුම ජනතාවට කීවේ තමන් අභිභවනය කරන්නට සමතකු නැති බවය. තම දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළේ සාර්ථකත්වය සැක කරන්නට හේතුවක් නැති බවය.

මර්දනකාරී පාලනයක් සඳහා ඒකාධිපති ව්‍යවස්ථාවක් අටවා, ඉන්පසුව ඡන්දයෙන් පත් කළ නියෝජිතයන්ද හුදු රූකඩ ලෙස තබා ගෙන දසවසරක් ගෙන ගිය පාලනය තුළ ජනතා පරමාධිපත්‍ය නොසළකා හරින ලදී. වැඩකරන ජනතාව ගෙන ආ සාධාරණ ඉල්ලීම් යටකර මර්දනයම ස්ථාපිත කරන ලදී. ඒ දසවසර ඉවසා සිටි ජනකායක් අවිගත් නැගිටීමකට අනුබල දීම අහම්බයක් නොවේ.

එසේ පැන නැගුණු අරගලයේ උදාරත්වය, හුදෙක්ම ඔවුන්ගේ මැදිහත්වීමේදී පැවැති දුර්වලතා ගෙන හැර පෑමෙන් යටපත් කර දැමිය නොහැකිය. නමුත්, එවැනි දීර්ඝ දේශපාලන නැගිටීමක් සඳහා සමාජයක් ලෙස පෝෂණය හා රැකවරණ දුන් බවද අමතක කළ නොහැකිය. ඒ නිසා මෙම වසර ගණනක් පැවති ඒ සුවිශේෂී අරගලය ලෙයින් හා යකඩින් මර්දනය කර දේශපාලන ව්‍යාපාරයම සමතලා කර දැමුවද එය කෙටි කාලයකින් නැවත මෙරට දේශපාලනය වෙත පිළිගන්නා ලද්දේ පොදුජන සමාජයේ උවමනාවන් විසිනි.

1987-89 නැගිටීමේ සුවිශේෂත්වය හා ඔවුන්ගේ ආදර්ශය, අප නැවත නැවත සිහිපත් කළ යුත්තේ අද දවසේත් මෙරට පීඩිත ජන සමාජය ඉල්ලා සිටින මානව සහෝදරත්වය, සමාජ සාධාරණත්වය, යුක්තිය හා සමානාත්මතාව පිළිබඳ පිපාසය සංසිඳවන ජයග්‍රහණ, අප සාමුහිකව අත්පත් කරගත යුතු බැවිනි.

leave a reply