කැනීම් කටයුතු ආරම්භ කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද කුරුක්කල්මඩම් සමුහ සුසානයේ කැනීම් කටයුතු ද මුදල් ප්‍රතිපාදන ප්‍රමාද වීම නිසා දිනෙන් දින කල් ඇදෙමින් තිබේ.
ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 28 ක මුදල් ඇස්තමේන්තුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ 2025 සැප්තැම්බර් 23 වැනි දිනයි.
කුරුක්කල්මඩම් සමුහ මිනීවල පිලිබඳ නඩුව 2025 ඔක්තෝබර් 30 වැනි බ්‍රහස්පතින්දා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ යළි විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එස්.එච්.එම් මනාරුදීන් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ කැනීම් කටයුතු ආරම්භ කිරීම සදහා මුදල් ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තිරණය කිරීම සදහා සියළු පාර්ශවයන්ට නොවැම්බර් 17 වැනිදා අධිකරණයේ දී සාකච්ඡාවක් සදහා සහභාගී වීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.
” මළ සිරුරු සොයා ගැනීම සඳහා මුදල් ලබා ගැනීමේ ප්‍රමාදය දැනගත් මහේස්ත්‍රාත්වරයා, නඩුවට සම්බන්ධ සියලුම පාර්ශවයන්ට, පැහැදිලි තීරණයකට එළඹීම සඳහා 2025 නොවැම්බර් 17 වැනිදා පස්වරු 2 ට අධිකරණයේ සාකච්ඡාවක් සදහා රැස්වන ලෙස නියෝග කළා.”
කැනීම් කටයුතු ආරම්භ කිරීම සඳහා සැප්තැම්බර් 23 වැනි දා ඉදිරිපත් කරන ලද මුදල් ඇස්තමේන්තුව මහාධිකරණයට ලැබී ඇති බවත් එය අධිකරණ හා මුදල් අමාත්‍යාංශ දෙක වෙත යොමු කරන බවත් මහාධිකරණය විසින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත 2025 ඔක්තෝබර් 9 වැනි බ්‍රහස්පතින්දා දැනුම් දී තිබුනි.
දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.
ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී කැනීම් ආරම්භ කිරීමට නියමිත පළමු සමූහ මිනීවල මෙය වේ.


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	