Breaking News

රාජපක්ෂලා විතරද?

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන්වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙස ද වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහත්වරුන් විසින් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන්, 2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් වේ

මෙම ආර්ථික අවපාතය හේතුවෙන් ජනතාවට ඉන්ධන ඖෂධ ආදී මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලෙස වගඋත්තරකරුවන් ඊට සෘජුවම වගකිය යුතු බවත් ඔවුන් ජනතාවගේ විශ්වාසය සහ ජනතා භාරය උල්ලංඝනය කර ඇති බවත් එමගින් සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී වගඋත්තරකරුවන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු වුවත් ඔවුනට වන්දි මුදල් නියම කිරීම සිදු නොකරන බවද ඒ වෙනුවට පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් නඩු ගාස්තු පමණක් ගෙවීමට නියෝගයක් නිකුත් කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාජය තුළ යම් ආන්දෝලනයක් ඇතිව තිබේ. ඇතැමුන් පවසමින් සිටින්නේ රාජපක්ෂලාට කෙළවී ඇති බවයි. රාජපක්ෂලා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුතු බව අධිකරණයක් විසින් ද තීන්දු කිරීම හරහා සමාජයට යම් බලපෑමක් සිදුවන බව සැබෑය. නමුත් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රාජපක්ෂලා පමණක්ද? ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට රාජපක්ෂ පාලන කාල තුළ ගන්නා ලද ක්‍රියා මාර්ග හේතු වූ බවට විවාදයක් නැත. නමුත් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රාජපක්ෂලා පමණක් නොවේ.

විගණකාධිපති වාර්තා පවසන ආකාරයට 2006 වසරේ සිට 2021 වසර දක්වා ගන්නා ලද විදේශ ණය සියයට 65%ක් ලංකාවේ ගිණුම්වල නැත. එම මුදල ඩොලර් බිලියන 42ක් පමණ වේ. ලංකාවේ සමස්ත විදෙස් ණය ප්‍රතිශතය ද ඩොලර් බිලියන 47ක් වැනි ප්‍රමාණයකි. එසේම ආදායම් බදු දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වෙන්නේ වසර 10ක වැනි කාලයක් තුළ නොගෙවන ලද බදු රුපියල් බිලියන 1000ට ආසන්න වේ. එසේම වසර ගණනාවක් පුරා විදේශ විනිමය නීති විරෝධී ලෙස මෙරටට නොඑවා විදේශවල තැන්පත් කර ඇති බව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා පිළිගැනීමට සිදුව තිබේ. මෙම කාලය තුළ රට පාලනය කරේ රාජපක්ෂලා පමණක් නොවේ.

ප්‍රධාන ලෙස මේ ආකාරයට ණය කන්දක් ගොඩ ගැසී රට අර්බුදයට යාමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ වසර 74ක් පුරා රට පාලනය කළ විවිධ පාලකයන් විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමයයි. එම ආර්ථික ක්‍රමය හැර වෙන විකල්පයක් මේ කාලයේ සිටි පාලකයන් ගෙන ඒමට අසමත් විය. රනිල්ද ඒ සඳහා වගකිව යුතුය. ඔහු ඉදිරියට කරන්නට නියමිතව ඇත්තේ ද පරණ ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙනයාම බව මෙවර අයවැය අනුව පැහැදිලි වේ.

අනික් අතින් රාජපක්ෂලා වගකිවයුතු බව කීම මිස කිසිදු දඬුවමක් ලබා නොදීමද සෑම විටම සිදුවන්නකි. රටේ මහ බැංකුව කොල්ලකමින් ජනතාවගේ මුදල් විනාශ කළ රනිල්ලාටද කිසිදු දෙයක් සිදුවී නැත. ඔවුන් තවමත් ජනතාවගේ කැමැත්තට පිටින් ජනතාව ගැන තීන්දු තීරණ ගනිමින් සිටියි. රාජපක්ෂලා ද එම ආණ්ඩුවේ සිටිමින් ඔහුට උඩගෙඩි දෙමින් සිටියි. කිසිදු දෙයක් වෙනස් වී නැත.

leave a reply