Breaking News

මනුෂ්‍ය හිත් නිරන්තරව අවධානය යොමු කරන්නේ නොලැබුණ දේවල් වලටය.

දර්ශනී අබේසිංහ

ලැබී ඇති දේට අවධානය දී, නොලැබුණ දේ ගැන හිත හිතා පසුතැවීම, දුක්වීම, කණගාටු වීම අත්හැරීම මඟින්, හිත් තුල ධනාත්මක ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා පළමු පියවර තැබිය හැකිය.

මනුෂ්‍ය හිත් නිරන්තරව අවධානය යොමු කරන්නේ, ලැබී තිබෙන දේවල් වලට වඩා නොලැබුණ දේවල් වලටය.

පැතූ, එහෙත් නොලැබුණ ,
උත්සාහ කල, එහෙත් ඉටු නොවුණ, සිද්ධීන් අවස්ථාවන් ගැනම සිත යොමු කිරීමෙන්, නිතරම දුක, කලකිරීම වැනි සිතිවිලි හිත තුල ලැගුම් ගනී. එවැනි සිතිවිලි ඇති විට සාක්ෂාත් කරගත හැකි අරමුණු, කෙරෙහි ඇති වන අවධානය බිඳී යන අතර, ඉදිරි දැක්මකට හිත යොමු නොවීම නිසා කලකිරීම සමඟ කල් ගෙවීමෙන් ජීවිතය පිළිබඳව ඍණාත්මක ආකල්ප පමණක් ඉතිරි වේ. ඉන් සිත පමණක් නොව ශරීරය ද රෝගාතුර වේ. තමන්ට නොදැනීම ලැබුණ වටිනා මනුෂ්‍ය ජීවිතය නිකරුනේ නාස්ති වේ.

සමහර වෙලාවට, බලාපොරොත්තු නොවූ, එසේත් නොමැතිනම් නොපැතූ නමුත් වටිනා දේවල් අපේ ජීවිත වලට එක්කාසු වේ. අවධානයක් නොමැති නිසාම, කාලයක් ගතවන තුරු ඒ දේවල් හඳුනාගැනීමට නොහැකි වුනත් ජන වහරේ එන ” කොයි දේ වෙන්නෙත් හොඳටයි” කියන තැනකදී එය හඳුනාගැනේ.

කැමති, ප්‍රාර්ථනා කල දේ නොලැබී යද්දී, සියල්ල අතහැර කලකිරීමෙන් ජීවත් වනවාට වඩා ලැබුණ දේ ට වටිනාකමක් එකතු කරන්නට උත්සාහ කිරීම වටී. සාර්ථකත්වය ජීවිත කරා ඇදී එන්නේ එවිටයි.

ප්‍රාර්ථනය කලේ නිවැරදි දේ නොවිය හැකිය. නමුත් ලැබුනේ ලැබිය යුතුම දේ වීය හැකිය. එබැවින් අහිමිවීම්, ඉටු නොවීම්, නොලැබීම් හමුවේ පරාජිත ආකල්ප දරනවාට වඩා, ධනාත්මක ආකල්ප වර්ධනය කර ගැනීම වටී. ඒ ඔස්සේ ගමන් කිරීම වටී.
සාර්ථක ජීවිතයක් යනු, නිර්වචනය කිරීම අතිශය සංකීර්ණය සංසිද්ධිකි..එය පුද්ගලානුබද්ධ වේ.

මට අනුව සාර්ථකත්වය යනු උසස් යයි පිළිගත් නිලයක් දරන රැකියාවක නියුක්ත වීම , හා ඉහළ වැටුපක් ලැබීම නොවන්නේය.

මනුෂ්‍ය ජීවිතය සමබර විය යුතුය. එසේ සමබර විය යුත්තේ මොනවායින්ද?

● මිනිසෙකුට ස්වාධීන ජීවිතයක් ගෙවීම සඳහා වැටුපක් හෝ වේතනයක් ලැබිය යුතුය. ඒ සඳහා රැකියාවක, කර්මාන්තයක නියුක්ත විය යුතුය.
● තමන් යෙදෙන රැකියාව වේවා, කර්මාන්තය වේවා කවරකට වුවද කැමැත්තෙන් යෙදීම ඉතාම අවශ්‍ය වේ. තමන් කරන දෙයට කැමති වීම යනු ස්වාධීන සාර්ථක ජීවිතයක පදනම වේ.

● සාර්ථක ජීවිතයක විවේකය සඳහා වැඩි හෝ ප්‍රමාණවත් කාලයක් වෙන්ව තිබීම වටී. තම තමන්ගේ ජීවන රටාවට අනුව විවේකය ගත කරන අයුරු වෙනස් විය හැකි නමුත් සාර්ථකත්වය තුල විවේකයට ඇත්තේ වැඩි ඉඩකි.

● ඉහත කරුණු සමබර වූ ජීවිතයක මානසික හා ශාරීරික සුවතාව සඳහා වෙනම පියවර අනුගමනය කලයුතු නොවන අතර නිරායාසයෙන්ම ශාරීරික, මානසික, සුවතාව වර්ධනය වේ.

සාර්ථකත්වය මැනීමේ මිනුම් දඬු භාවිතයේ දී කරන රැකියාවට හා ලැබෙන වැටුප ට 25% සාර්ථකත්වයේ ප්‍රතිශතයක් ලබා දිය හැකි අතර ඉතිරි 75% ලබා දිය හැකි වන්නේ කරන දෙයට කැමති වීම, විවේකය, මානසික හා ශාරීරික සුවතාව වෙනුවෙනි.

සාර්ථකත්වය යනු භෞතිකමය මිණුමක ගත නොහැකි ශක්තිමත් මානසික තත්වයක් බව ලියා තැබීම සඳහා මෙය ලියන්නට යෙදුනි.

 

leave a reply