Breaking News

ගිය වසරේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම 88%ක් – මේ වසරේත් එය නැවත සිදුවන ලකුණු

ඉන්ධන අර්බුදය හේතුවෙන් නැවත පාසල් අධ්‍යාපන කටයුතු අඩපණව තිබේ. ඊයේ (17) සියලුම පාසල්වලට නිවාඩු දුන් අතර අද දිනයේ නිවේදනය කෙරුනේ කොළඹ නගරයේ පාසල් පමණක් සතියක කාලයක් නිවාඩු ලබාදෙන බවයි. කොළඹ නගරයෙන් පිට පාසල්වලට නිවාඩු ලබා නොදුන්නද දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් වෙත පැමිණීම දුෂ්කර වී තිබේ. මේ වසරේ මෙම තත්ත්වය උදා වන්නේ ගිය වසරේදීත් දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බවට පත්ව තිබියදීයි.

කොවිඩ් තත්වය සහ ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරේදී දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

ඊට පෙර 2020 වර්ෂයේ දී දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම සියයට 54 ක් බව සඳහන් කළ අධ්‍යාපන ලේකම්වරයා කොවිඩ් තත්ත්වයට වඩා වැඩි අභියෝගයක් ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කර තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

සමස්තයක් ලෙස ගත්විට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවී සිටින බවත් කොවිඩ් තත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්වය කළමනාකරණය කර ගැනීම අපහසුවී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පවසා ඇත.

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, ඉන්ධන හිගය, දරුවන්ගේ පවුල්වල ආර්ථික අපහසුතා, මවුපියන්ට රැකියා අහිමිවීම ආදී කරුණුද අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතළ තත්වයක් මතු කර ඇතැයි ද මෙහිදී හෙළිව ඇත.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් ඒ සඳහා විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවත් අධ්‍යාපන නිලධාරීහු පෙන්වා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන්වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.

දරුවන් සහ ගුරුවරුන්ට ළඟම පාසලට ඇතුළුවිය හැකි පරිදි වැඩසටහනක් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇති මුත් ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසයක් ඇති බව නොපෙනේ. අනිත් අතින් මෙවැනි වැඩපිළිවෙලක් සඳහා සූදානම් විය යුතුව තිබුණේ මීට මාස කිහිපයකට කලිනි.

 

leave a reply