Breaking News

දර්ශනීගේ සටහන 1 – යුද්ධය නිසා දෙමාපියන් අහිමි වූ දරුවෝ

දර්ශනී අබේසිංහ

අපි ජීවත් වන ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද තත්වය නිසා තිස් වසරක් පුරා සියලු ජන කොට්ඨාස වලට අයත් ජීවිත වලට කණගාටුදායක මතකයන් එක්කර දෙමින් අදින් වසර පහළොවකට පමණ පෙර නිමාවූ බව දනිමු.

ජීවිත හා දේපොල වලට මෙන්ම රටේ ආර්ථිකය, දේශපාලන තත්ත්වය හා ජන ජීවිතය අස්ථාවර කාලපරිච්ඡේදය සඳහා නිමාවක් දැකිය හැකි යයි සිතූ නමුත්, ජාතියක් වෙන් නොකර ගත් කල එම උපද්‍රවය ට මුහුණ දුන් ළමා පරපුරේ මානසික අරගලයේ නිමාවක් අපි දුටිමු ද?. යුද්ධය නිසා ජීවිත අහිමි දෙමාපියන් ගේ පවුල් වල දරුවන්ගේ සුබසාධනය පිළිබඳව ප්‍රමාණවත් මැදිහත් වීමක් වගකිව යුතු පාර්ශ්ව වලින් ඉටු වුණා ද?. මව්පිය දෙපොලම ජීවත් වන ආදරණීය කුටුම්භ විනාශ වී ගිය ඒ අවධියේ කිරි සප්පයන්ව සිටි මල්වැනි කුඩා හිත් ඇති දරුවන්ගේ මනෝභාවයන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වූවා ද?

කුඩා හිත් වලට දැරිය නොහැකි තරමේ අතිශය කණගාටුදායක අහිමි වීම් දරා ගත් ඒ හිත්, සාමාජීය වටපිටාවට ප්‍රවිශ්ඨ වීමේදී පසුබෑමක් ඇතිවීමට හේතු කාරණා නිතැතින්ම පැන නගිනු ඇත. මව හෝ පියා, එසේත් නොමැතිනම් ඒ දෙදෙනාම අහිමි දරුවන් පාසැලට ඇතුලත් වීමේදී ම දෙමාපිය සෙනෙහස රැකවරණ ලැබී හැදෙන වැඩෙන මානසික ශක්තිය ඉහළින් ඇති දරුවන් අභිමුව හීනමානය හෙවත්, හීනෝන්මාදී සිතිවිලි සහිතව පසුගාමී චින්තනයක් සහිතව සමාජ ගත වනු ඇත. එවන් දරුවන් පාසල් සමාජය තුලදී ම අනෙකුත් දරුවන් සමඟ සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී අසාර්ථක උත්සාහයකින් පසු වැඩිපුර තනිව සිටීමට උත්සාහ ගනු ඇත. පන්ති කාමරය තුල ඉගෙනුම් සංකල්ප සඳහා ඇස යොමු කල ද මනසින් ඒකාබද්ධ නොවී සිටිනු ඇත. ඉතාම සෙමින් වැඩ කිරීම, ක්‍රියාශීලී නොවීම, වැඩි කතාබහක් නොමැති වීම, අධික ලැජ්ජාශීලී බව, යහලු මිත්‍ර සමාගමය මග හරින බව, විශේෂයෙන්ම තනිව කල්හැරීමට වැඩි නැඹුරුවක් දැක්වීම මගින් මෙවන් දරුවන් කල්තියාම හඳුනාගැනීමට හැකිය.

මෙවැනි දරුවන් සම්බන්ධයෙන් ගුරු, දෙගුරු වැඩිහිටි සෑම දෙනාගේම වැඩි අවධානයක්, ආදරයක්, කරුණාවක්, යොමුවීම ඉතාම අත්‍යවශ්‍යයෙන් ම සිදුවිය යුතුව තිබිණි. දරුවන් බාහිරට පෙන්වන ගති ලක්ෂණ හඳුනා ගැනීමට හැකි තරමට දරුවන්ගේ චිත්තවේගීය සංකූලතා පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් හෝ ඒ පිළිබඳව විශේෂ හැදෑරීම් කරන ලද ගුරුවර, හෝ මනෝවිද්‍යා චිකිත්සක ප්‍රතිකාර පිළිබඳව දැනුමැති අයවලුන්ගේ සහයෝගය මේ දරුවන්ට ලැබිය යුතුව තිබිණි.

යුද්ධය අවසන්ව පසලොස් වසරක ට වඩා ගෙවී ඇති මේ මොහොතේත් ඒ අවධියේ ඉපදුන කුඩාම දරුවාගේ වයසත් අද වන විට අවුරුදු 15-16 අතර වේ. හිරිමල් යෞවනෝදයේ සිටින මෙම දරුවන් කෙරෙහි විශේෂ වු අවධානය ක් යොමු කිරීම අද හෝ සිදුවිය යුතුව ඇත. අද වන විට වයස අවුරුදු 16-25 අතර සිටින දරුවන් හෙට දින මේ ලෝකය භාර ගැනීමට මේ වන විටත් පා තබා ඇත. ප්‍රමාණවත් ආදරය, රැකවරණය, අවධානය ලැබූ හෝ නොලැබූ දරුවන් අතරින් නිසි මග පෙන්වීම, පුහුණුව හා උපදේශන ලද දරුවන් මනසින් ශක්තිමත් නිරෝගී දරුවන් ලෙස හඳුනා ගැනීමට ත්, එසේ නොවන දරුවන් හඳුනාගෙන නිසි උපදේශනය, පුහුණුව හා මගපෙන්වීම යටතේ මානසික ශක්තියෙන් හෙබි නිරෝගී දරුවන් ලෙස සමාජගත කිරීමට ත් කටයුතු කලයුතු වෙමු.

හෙට ලොව දිනනා දරුවන් බිහිවීම උදෙසා ඔබේ මගේ අවධානය යොමු කලයුතු , එහෙත් ප්‍රමාණවත් අවධානයක් යොමුව නොමැති කාරණයක් සිහිපත් කිරීම උදෙසා මේ ලියන්නට යෙදුනි.

 

leave a reply