ඉන්ද්‍රා ලියනගේ කිවිදියගේ ප්‍රථම කාව්‍ය එකතුව “ස්නේහයේ කඳු හිස කරා” ජනගත කරලා තියෙනවා. ඇයව වඩාත් සමීපව අපට හමුවන්නේ සමාජ මාධ්‍ය ජාලය හරහායි . ඇයගේ කෙටි කවි ශෛලිය මුහුණු පොත තුල, ඇගේ ජනප්‍රියත්වය වර්ධනය කරන්නට ඉවහල් වෙනවා. එපමණක්ද නොව ඇගේ කෙටි කවි ත්‍රීවීල් වැකි ලෙස මුද්‍රණය වී ඇල වෙන්නටත් පටන් ගන්නවා. ඇගේ මේ කෙටි කවි ශෛලිය රසවත් මෙන්ම හරවත්. කෙටි කවියක් ලියන එක ලෙහෙසි පහසු කාර්යයක් නො වුව ද ඇය ඊට දක්ෂතා පෙන්වා ඇත්තියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ කෙටි පිළිසඳර ඇය සමග සහ ඇගේ නිර්මාණ දිවිය පිළිබඳවයි.
ඔබ කාව්‍ය ජීවිතයට පිවිසීම පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
කාව්‍ය ජීවිතයට පිවිසීමක් කියල තැනක් පෙන්නන්න බැහැ . ලමාවිය පසු කරන් එන කාලේ පටන් මං කවි හොය හොයා ශබ්ද නඟා තාලෙට කියවන්න හරියට පුරුදු වුණා. . ඉස්සෙල්ලම කියවපු කවි පොත සාගර පලන්සූරිය ශූරීන්ගේ සුදෝ සුදු…මං කුඩා කාලෙ සන්නිවේදන මාධ්‍යය විදියට තිබුනෙ පුවත්පත් හා ගුවන් විදුලිය විතරයි . එකල එකම ළමා පුවත්පත ලෙස තිබණෙ මිහිර පත්තරේ ….ඒකෙ ළමා කවි පිටුවක් තිබුණා.සතිය ඉවරවෙද්දි මට ඒකෙ කවි ටික කටපාඩම්..ඊළඟට ගුවන්විදුලියෙ තිබුණා “මධුමාධවී” කියල කවි ගායනා කරන වැඩසටහනක් …ඒක විකාශනය වෙන්නෙ සඳුදා හවස 4.30 ට . කරුණාරත්න අබේසේකර , ලලිත් එස් මෛත්‍රීපාල වැනි ප්‍රවීණ කවියන් ඒකෙ කවි ගායනා කලේ.ඒ මගේ ප්‍රියතම වැඩසටහනක් .ඒක මගෙ ඇබ්බැහියක් වුණා..
ඒ කාලෙ නිසඳැස් ලිවීමක් ගැන මට මතක නෑ..එලිවැට සහිත සිව්පද ආරෙ කවි තමයි මට පුංචි කාලෙ ඉඳලම ඇහුනෙ . ඒ ආභාෂය වෙන්න ඕනි මා අතින් ලියවෙන්නෙත් සිව්පද ආරයේ කවි…අසූව දශකයේ පමණ සිට පත්තරවල කවි පිටු එකතු කිරීමත් මං නොවරදවාම කල දෙයක්…ඒ වනවිට නිදහස් ආරෙ කවි තමයි වැඩිපුර කියවන්න ලැබෙන්නෙ..ඔය අතරෙ මාත් කවි ලියනවා..තරුණි පත්තරේ ඉස්සෙල්ලම මගෙ කවියක් පලවෙන්නෙ 1983 අවුරුද්දේ…පත්තරවලට දිගටම ලිව්වෙ නෑ…රැකියාවත් , විවාභයත් , නිසා කවි ලිවීම කාලයක් ම අත හැරුණ..
ඔබ ප්‍රකාශන මාධ්‍ය කවිය ලෙස තෝරා ගන්නට විශේෂ වූ හේතුවක් තියෙනවද?
කවියට ඇති ලැදියාව තමයි විශේෂ ම හේතුව … කවියට ඇති ලැදියාවත් යම් ප්‍රමාණයක හෝ හැකියාවත් හේතුවෙන්න ඇති. කවි කියවීමේ උමතුවකින් පෙළුණ හින්ද හැත්තෑව අසූව දශකවල කවි පිටු වල තිබුණු කවියන්ගේ නම් ලැයිස්තුවත් කට පාඩම්..
ඇත්තටම මට එදිනදා දෙබස් පවා හිත ඇතුලෙ මොකද්දෝ තාලයකටයි කියවුණේ..ඒ තාලය තමයි කවියක් වෙන්නෙ පසුකාලීනව . මට කොයි වෙලාවකවත් ඕනි උනේ නෑ කවියෙන් සමාජයට පණිවිඩ දෙන්න.මං හිතට එන දේ කවියක් විදියට මුදා හරිනවා ඇරෙන්න කවියෙන් සමාජ ශෝධනයක් කරන අදහසින් කවි ලියන්නෙ නෑ..
කෙටි කවියක් ලියන එක ලෙහෙසි කාර්යයක් නෙවෙයි. ජීවත් වෙන වටපිටාව පිළිබඳවත්, සමාජය පිළිබඳවත්, එවගේම පුළුල් සාහිත්‍යය දැනුමකුත් තිබීම වැදගත් කියලා හිතෙනවා. ඔබේ කෙටි කවියට ඇබ්බැහි වුණු කෙනෙකු “ස්නේහයේ කඳු හිස කරා” අතට ගත් විට එහි හමුවෙන්නේ දිගු කවි ඇයි කෙටි කවීයෙන් පාඨක හිත් දිනාගෙන පොත තුල දීර්ඝ කවි ඉන්දුවේ.
මේක මගෙ පොත කියවූ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් . ප්‍රසිද්ධ මාධ්‍යයකට මං ලියන දේවල් මුදා හරින්න පටන් අරන් අවුරුදු හතරකට වඩා නැහැ.පත්තරවල දිගටම පළ වූ කවි පොතකට ගන්න කියන අදහස බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීමක් වුණා.ඒ අනුව තමයි කවි පොතක් කරන අදහස පවා ආවෙ..
නවක හෝ ප්‍රවීණ කියල බේදකින් තොරව හැමෝම කවි ලියන තැනක් නෙ මුහුණු පොත. ක්ෂණික ප්‍රතිචාර ලැබෙන නිසා එහි ලිවීම සතුට දනවන්නක්…හැබැයි අර නිස්කාන්සුවෙ යමක් කියවන්න අපි ලෑස්ති නෑ එය තුල . ඒකට අපි තෝර ගන්නෙ පොතක් පත්තරයක්.ඉක්මනින් ඉහල පහල දුවන අතරේ කියවන්න පහසුයි කියල හිතුන නිසා පද කීපයකින් මගේ අදහස ලියන්න උත්සාහ කිරීමක් හරහා වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වුණු කෙටි කවි කීපයක් ලියවුණා කියලයි මං හිතන්නෙ.
මා ලියූ කෙටි කවි විශාල සංඛ්‍යාවක් තියෙනවා.ඒවා මේ පොතට ඇතුලත් නොකළේ වෙනම පොතක් ලෙස පළ කරන අදහසින්.
මෙතැන් සිට මම ප්‍රශ්නවල ස්වභාවය චුට්ටක් වෙනස් කරනවා කවියෙක් ට සමාජය වෙනස් කරන්න හෝ සමාජයට පාර කියන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
ආකල්පමය වෙනසක් සඳහා කවියෙන් යම් බලපෑමක් කරන්න පුලුවනි කියල මං විශ්වාස කරනවා . උදාහරණයක් විදියට ලාංකික සමාජයේ අවතක්සේරුවට ලක් කරනු ලබන යම් යම් වෘත්තීන් සම්බන්ධයෙන් කෙරී ඇති නිර්මාණ හරහා පුද්ගලයකු සතු වටිනාකම ඉස්මතු කර දීමට වර්තමාන කවියා යම් මෙහෙවරක් කරමින් සිටිනවා කියල මං හිතනවා . ඇඟළුම් කම්හල්වල , රාත්‍රී සමාජ ශාලාවල , පෞද්ගලික ආරක්ෂක අංශවල , ආදී සේවයේ නියුතු කාන්තාවන් , යුවතියන් , දෙස සානුකම්පිත ඇසකින් ලියවුණු නිර්මාණ බොහොමයක් සමාජ ගතවීම නිසා ඒ ඒ වෘත්තීන් කෙරෙහි සුබවාදී ඇසකින් බැලීමට අද සමාජයේ යම් පෙළඹවීමක් තියෙනවා කියල මං හිතන්නෙ. එපමණක් නොවේ . වීදි ලඳුන් කෙරෙහි පවා කුඩා කළ අප තුල මවා තිබූ චිත්‍රය වර්තමානයේ සෝදා හැරීමට සාහිත්‍යය නිර්මාණ හේතු වූ බව මගේ හැඟීම..
හැබැයි කවි ලියන කියවන රස විඳින සංඛ්‍යාව ප්‍රතිශතයක් විදියට ගත්තම අඩුයි කියල මං හිතන්නෙ . එනිසා කවිය ඇසුරු කරන පිරිස යම් දිශානතියකට අනුගත කල හැකි වුනත් සමස්ත ප්‍රජාවටම පෙර ගමන් කරුවකු වීම ලෙහෙසි පහසු කාර්‍යයක් නොවෙන්න පුලුවණි.
පසුගිය දශකය පිළිබඳව අපි කල්පනා කලොත් කවිය ඉහළින් ඔසවා තබන්නට කවියන්ට හැකිවුණා. එපමණක්ද නොව සමාජය කවිය වැළඳ ගන්නත් පෙළඹුණා. නමුත් වර්තමානය තුළ හොඳම තැන සිට නරක තැනට කවිය පල්ලම් බසින කියලා විවේචනයක් තියෙනවා. ඒ පිළිබඳව අදහසක් තියෙනවද?
මං දශක හතරක් තිස්සේ කවි කියවමින් සිටිනවා . කවි ලිවීමට වඩා කියවීම තමයි මගේ විනෝදාංශය වුණේ . එදාට වඩා අද ප්‍රමාණාත්මක වැඩි වීමක් පැහැදිලිව පේනවා . ගුණාත්මක බවෙහි අඩුවීමක් ඇතැයි මැසිවිලි නැඟෙනවා නම් ඒ අර ප්‍රමාණාත්මක වැඩිවීම තුල දක්නට ලැබෙන අනුපාතයේ වෙනස වෙන්න පුලුවනි . එදා පමණටම අද ද විශිෂ්ඨ කාව්‍ය නිර්මාණ බිහිවෙනවා..
එදා කවිය සමාජ ගත වුණේ පුවත්පත හරහා. ස්වල්ප වශයෙන් ගුවන් විදුලියේ දායකත්වය ලැබුණා.පුවත්පතක කවි පල කරන්නේ තෝරා බේරා ගත් ඒවා..ඒ නිසා හර බර කවි අපිට කියවන්න ලැබුණෙ..අද ඕනෑම දෙයක් ලියා සමාජ මාධ්‍යයට එක් කරන්න පුලුවන් . නවකයින්ට ලොකු හදිස්සියක් තියෙනව වගෙ මට පේන්නෙ . තාක්ෂණයේ මැදිහත්වීම් නිසා පොතපත කියවීම බෙහෙවින්ම දුර්වල තැනක තියෙන්නෙ..සාහිත්‍යය පරිශීලනය අඩු වීමත් ඔබ නඟන ඔය චෝදනාවට හේතුවෙනවා වෙන්න පුලුවනි
හැබැයි එදාට වඩා බොහොම නිර්භය ලෙස කවිය හසුරුවන තරුණ කවි කිවිඳියන් බොහෝ පිරිසක් සිටිනවා.බොහෝ කවිපොත් මුද්‍රණය වෙනවා.කවිය කෙරෙහි ලොකු පිබිදීමක් තමයි මට නම් පේන්නෙ .
අවසාන වශයෙන් අපට කියන්න ඔබගේ කෙටි කවි පොත අපිට හමුවෙන්නේ කොයි කාලේ වගේද කියලා ?
මේ වසර ඇතුළත ඔබ අතට පත් කරන්න බලාපොරොත්තුවක් තියෙනව.
ඉහත ප්‍රශ්නවලට අමතරව යමක් කියන්න තියෙනවනම් ?
මේ අප බොහෝම කටුක සමයක් පසු කරමින් ඉන්න අවස්ථාවක්..දැඩි ලෙස හෙම්බත්වීමක් සමස්ත ලාංකීය සමාජයේම දකින්නට ලැබෙනවා.දරුවන් ඒ අතර වඩාත් අවධානයට ලක්විය යුතු පිරිසක්..අපේ බොහෝ කවියන් මූලික වෙමින් දරුවන්ගේ ආතතිය ලිහිල් කරන කවිය ගීතය මුහු කල වැඩ සටහන් ක්‍රියාත්මක කරනව දැක්කා..පසුගිය වසරක පමණ කාලය තුල..ඒ ඔවුන්ගේ ස්වකීය කැපවීමෙන්…
යම් ප්‍රබල මැදිහත්වීමකට අනුව සියලුම පාසැල් දරුවන් සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් එවන් දේ සංවිධානය විය හැකි නම් සංවේදී ඉදිරි පරපුරක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එය මහඟු අත්වැලක් වනු ඇති…කවියේ හැබෑ මඟ පෙන්වීම ද එය වනු ඇති .
මෙවන් සාකච්ඡාවක් සඳහා ඇරයුම් කිරීම පිලිබඳව බෙහෙවින්ම ස්තූතියි .