Day: April 20, 2020

  • වගකීම් විරහිත බලයට කෑදර නායකයෝ

    වගකීම් විරහිත බලයට කෑදර නායකයෝ

    අද ජනාධිපතිවරයා සිය උපදේශක ලලිත් වීරතුංග සමග කළ සාකච්ඡාව ආණ්ඩුව මෑත කාලීනව ගත් තීන්දු තීරණ වල වගකීම් විරහිතභාවය පිළිබඳ අපගේ අනුමානයන් සහ නිගමනයන් නිවැරදි බව තහවුරු කළේය.

    ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියන්නේ එම තීරණය ගත්තේ මහ බැංකු නිලධාරීන්, ආර්ථික විශේෂඥයන් හා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවයි. එවන් තීරණයක් ගත යුතුව තිබෙන්නේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසුවය. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීරණය ව්‍යාපාරිකයන්ගේ හා ආර්ථික විශේෂඥයන්ගේ පීඩනයට අනුව ගත් තීරණයක් මිස ජන ජීවිත සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ විධිමත් සැලැස්මක ප්‍රතිඵලයක් නොවන බව ජනාධිපතිවරයාගේ කතාවෙන්ම පෙනේ. අප දන්නා ආකාරයට College of Epidemoligists හා GMOA විසින් Exit Plan දෙකක් රජයට භාරදී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින්ද තවත් Exit Plan එකක් සකස් කර තිබූ බව වාර්තා විය. ආණ්ඩුව තීරණ ගෙන තිබුණේ ඒ සියල්ල පසෙක දමා ආර්ථික ක්ෂේත්‍රය පමණක් ඒක පාර්ශවීය ලෙස සලකමිනි.

    ඉන් අනතුරුව දවසක් තුළ එම තීරණය වෙනස් කිරීම ගැන විමසූ විට ජනාධිපතිවරයා කළේ වගකීම් විරහිතව හැසිරීම ගැන ජනතාවට දොස් පැවරීමයි. ජනතාවට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී, වත්මන් ඉතා දුර්වල ප්‍රවාහන සේවය පවතින යථාර්ථයක් තුළ මීට වඩා වෙනස් දෙයක් අපේක්ෂා කළ හැකිද? මේ සැලසුම් නිර්මාණය කරන තැන්වල සිය ජීවිතයටම පොදු බස් රියක හෝ දුම්රියක ගිය කෙනෙක් සිට නැති බවනම් ඉතා පැහැදිලිය. විශේෂඥ උපදෙස් මත Exit Plan එකක් සකස් කර ක්‍රමානුකූලව සමාජ සංසරණ සීමා ලිහිල් නොකර දේශපාලකයන්ගේ හිතුමතේට මුග්ධ තීරණ ගෙන අවසානයේදී ජනතාවට දොස් පැවරීමේ තේරුමක් නැත.

    මැතිවරණය ගැන කළ සෑම විමසීමකදීම ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ ජන ජීවිත ගැන නොතකා හෝ මහ මැතිවරණය පැවැත්වීමේ උවමනාවක ආණ්ඩුව සිටින බවයි. මාර්තු 19වැනිදා මැතිවරණ දිනය කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ගැනද ඔහු කතා කළේ චෝදනා මුඛයෙනි. කවර ව්‍යසනකාරී තත්වයක් තුළ හෝ ජුනි 2වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ඔහු පෙනී සිටියේය.

    ජනාධිපතිවරයාගේ කතාව ඔප්පු කළේ කොරෝනා වසංගතය හමුවේ සමාජයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමස්ත සමාජයම දැඩි සුපරික්ෂාකාරීත්වයකින් සිටිය යුතු බවය. දේශපාලන තන්ත්‍රය සිය බල උවමනාවක් හමුවේ සමාජමය වගකීම ඕනෑම මොහොතක අත හැරීමේ අවදානමක් ඇති බවය. එනිසා ආරක්ෂාව උදෙසා සමාජය සංවිධානය විය යුතු බවය. නිහඬව හා නිවටව නොසිට හඬ නැගිය යුතු බවය. මෙතෙක් බලධාරීන් ගත් හානිකර තීරණ ආපසු හැරවූයේ එවන් එක්සත් හඬ නැගීම්, සමාජ මත ගොඩ නැගීම් හා අරගල හරහාය. ඉදිරියේදීත් ඒ හැර අන් විකල්පයක් නැත.

    පුබුදු ජයගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්
  • වකුගඩු මාෆියාවේ මීලඟ ඉළක්කය පොළොන්නරුව මහ රෝහලද ?

    වකුගඩු මාෆියාවේ මීලඟ ඉළක්කය පොළොන්නරුව මහ රෝහලද ?

    පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු වකුගඩු රෝගය නිසා බැටකෑ දිස්ත්‍රික්කයකි. හඳුනාගත් වකුගඩු රෝගීන් වැඩිම සිටින දිස්ත්‍රික්කය අනුරාධපුර වන අතර දෙවැනි දිස්ත්‍රික්කය පොලොන්නරුවයි. වකුගඩු රෝගීන්ට සෙත සාදන පොළොන්නරුව මහ රෝහල මේ නිසා ජාතික සම්පතක් ලෙස සැලකිය හැකිය.

    පසුගිය වසර කීපය තුලදී පොළොන්නරුව මහ රෝහල විශාල ප්‍රගතියක් ලැබුවේය. මේ සඳහා පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර , පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඡේ. ඒ. එස්‌. ජයසිංහ , පොළොන්නරුව දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරන වෛද්‍ය බී. ඒ. එම්. නන්දන මෙත්තසුරිය යන මහතුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ කැපවීම නිසාය. මේ සා ප්‍රගතියක් ලැබූ පොළොන්නරුව මහ රෝහල වකුගඩු මාෆියාවේ ගොදුරක් බවට පත්වීමේ අවධානමකට පත්වී තිබේ.

    2016 දී ඉන්දීය පොලිසිය ආචාර්ය එල්. එච් හිරනන්දනී රෝහලේ අවයම ජාවාරම් කිරීම නිසා වෛද්‍යවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එවකට එම රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් මිනිස් අවයව / ඉන්ද්‍රිය ජාවාරම් වංචාවකට සම්බන්ධ වූ බව වාර්තා විය. වකුගඩු ජාවාරමට ඉන්දියාවේ වැට බැඳීමත් සමගම ජාවාරම්කරුවෝ ලංකාව දෙසට යොමු වූහ. ශ්‍රී ලංකා නීතියේ අඩුලුහුඬුකම් නිසා වකුගඩු වැනි මිනිස් අවයව ජාවාරම් ලංකාවේ කිරීම ඔවුන්ට පහසු විය.

    ජාත්‍යන්තර වකුගඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හවුල් බව මුලින්ම හෙළි කරන ලද්දේ ඉන්දියානු පොලිසිය විසිනි. රහස් පොලිසිය විසින් කළ පරීක්‍ෂණ අනුව ලංකාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහල් හතරක සහ වෛද්‍යවරුන් කීප දෙනෙකුගේ නම් හෙළි කර ගන්නා ලදි. ඔවුන් අතර නවලෝක රෝහලේ මොනික් මාධව, සධානා යන අයද, හේමාස් රෝහලේ වෛද්‍ය චමිලා ද, ලංකා හොස්පිට්ල්ස්හි වෛද්‍ය නිරෝෂිණී ද, වෙස්ටර්න් රෝහලේ හබීබා සහීෆ් , යාපනය රෝහලේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යන වෛද්‍යවරුන්ගේ නම් ‌හෙළි වී තිබිණ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී වකුගඩු ජාවාරම පිලිබඳව කමිටුවක් පත් කරන ලදි. එහි මූලිකත්වය දැරුවේ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාය. එහෙත් එම කමිටුව විසින් සොයා ගත් කිසිවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙළි කෙරුවේ නැත. තවද නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳව 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සේවා අධ්‍යක්‍ෂ කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කොට තිබුණි. නමුත් චෝදනා ලද වෛද්‍යවරු කිසිවෙකුට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වූයේ නැත.

    ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව ඉතා ප්‍රබලය. රුපියල් මිලියන ගනනින් ආදායම් ලබන නීති විරෝධී වකුගඩු ජාවාරමේ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ද මිළට ගෙන තිබේ. වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයෙකු ගේ සහායද මෙම වකුගඩු මාෆියාවට ලැබෙයි. එම නිසා මෙම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම නිරුපද්‍රිතව සිදු වෙයි.

    නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 5ක මුදලක් දෙනු ලැබේ, ඉතිරි ලක්‍ෂ 25 ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. ලංකාවේ 1987 අංක 48 දරන ශරීර අවයව බද්ධ කිරීමේ පනත ලිහිල් නිසා ඉන්දියාව, මලයාසියාව , තායිලන්තය යන රට වල රෝගීන් වකුගඩු බද්ධ කර ගැනීම සඳහා ලංකාවට පැමිනෙති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු කොට තිබෙන බව වාර්තා වෙයි.

    නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් සමඟ ශ්‍රී ලංකාවේ සමහරක් වෛද්‍යවරුන් මෙම මාෆියාවට සම්බන්ධ බව ඉන්දීය පොලිසිය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. ප්‍රවෘත්ති වාර්තාකරු මිරැන්ඩා ප්‍රින්න් පවසන පරිදි වකුගඩු බද්ධ කිරීම් බලාපොරොත්තුවෙන් සිටින බ්‍රිතාන්‍ය රෝගීන් ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල්වල නීතිවිරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් වලට භාජනය වී ඇත. වෙනත් විදේශ රෝගීන් ලංකාවේ දායකයන් ගෙන් වකුගඩු තැරැව්කරුවන් හරහා මිලදී ගෙන තිබේ. ඉන්දීය මාධ්‍යවේදී නිෂ්තා චුග් පවසන පරිදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් ඩොලර් 53,000 සිට ඩොලර් 122,000 දක්වා විදේශීය වකුගඩු ගැණුම්කරුවන් සඳහා පැකේජ ලබා දෙයි.

    යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සත්‍යමූර්ති මහතා පවසන අන්දමට යාපනයේ දුගී ද්‍රවිඩ තරුණයන් ඉළක්ක කොට පවත්වා ගෙන ගිය වකුගඩු ජාවාරම නිසා යාපනය රෝහලේ කීර්තියට බලවත් ලෙසින් හාණි සිදු වී තිබේ . තැරැව්කරුවන් හරහා ක්‍රියාත්මක වූ වකුගඩු ජාවාරමට හසුවූ උතුරේ තරුණයන් බොහෝ දෙනෙකු තම වකුගඩු විකුණා ඇත. ශ්‍රී ලංකා සරණාගත නීති නීතීඥ සැමුවෙල් චන්ද්‍රහාසන් පවසන පරිදි ශ්‍රී ලංකා සරණාගතයින් 500 ක් පමණ පසුගිය වසර තුන තුළ සිය වකුගඩු විකුණා තිබේ. ඔවුන්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වය තක්සේරු කරන ලද්දේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වන අතර මේ වන විට වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිව යාපනය රෝහලේ සිට පොළොන්නරුව රෝහල දක්වා මාරු කොට ඇත. නමුත් ඔහු විසින් කාලයක් පුරා සිදු කල වකුගඩු ජාවාරම පිලිබඳව කිසිදු පරීක්‍ෂණයක් මෙතෙක් සිදු කොට නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (- හදිසි වැටලීම් ) ඩී.එම් .සී.කේ දිසානායක මහතා විසින් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පිලිබඳව විමර්ශණයක් කිරීමට ගියද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ප්‍රබලයෙකුගේ මැදිහත්වීමෙන් එම විමර්ශණය යට ගොස් ඇත.

    වර්තමානයේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු පිලිබඳව විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරයි. වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ වෛද්‍යවරයෙකු පොළොන්නරුව මහ රෝහලට පත් කොට එවීම පිලිබඳව පොළොන්නරුව ජනතාව තම අප්‍රසාදය පළ කරති. මේ අතර රෝහල් බලධාරීන් විසින් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගේ ක්‍රියා කලාපය පිලිබඳව සෝදිසියෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එහෙත් වකුගඩු මාෆියාව විසින් පොළොන්නරුව මහ රෝහල ගිල ගනීද යන සහේතුක බිය කිසිවෙකුට වසන් කල නොහැකි මට්ටමකට පත්වී තිබේ.

    නිලක්‍ෂි පෙරේරා


    සබැඳි පුවත් 

    වෛද්‍ය මාෆියාවේ අලුත්ම බිල්ල වකුගඩු රෝගීන්

    ඉන්දියාවේ වකුගඩු ජාවාරමේ ගොදුරු බවට පත් වුවන්
  • අර්බූදයෙන් ගැලවීමට OPEC නිෂ්පාදනය අඩු කරයි

    අර්බූදයෙන් ගැලවීමට OPEC නිෂ්පාදනය අඩු කරයි

    ඔපෙක් සාමාජික රටවල් මැයි සහ ජුනි මාසවල තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 9.7 කින් අඩු කිරීමේ එකඟතාවකට පැමිණ තිබේ. කොරෝනා වයිරස් වසංගතය නිසා ඇති වි තිබෙන තත්වය හමුවේ ඉල්ලුම පහත වැටීම සහ ලොව පුරා ඇති සීමිත ඉල්ලුම සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කිරීමෙන් ඇතිවී තිබෙන පාඩු අවම කර ගැනීමට මේ තීරණය ගත් බව පැවසේ . ඔපෙක් සංවිධානය ලෝකයේ තෙල් සංචිතවලින් දළ වශයෙන් 2/3 ක් සංචිතවලින් 78% ක් දරයි.

    මේ වසරේ ජනවාරි මුල WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 63 ක් වූ අතර අප්‍රේල් 17 වන දින ඩොලර් 18 ක් විය. අනෙක් අතට Brent බැරලයක මිල ඩොලර් 28 ක් වුවද වසර ආරම්භයේදී එහි මිල ඩොලර් 70 කට ආසන්නය.

    1999 මාර්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට WTI බැරලයක මිල ඩොලර් 13.48 දක්වා පහත වැටී තිබේ .ඒ අතරම, වෙළඳ දත්ත වලට අනුව දහවල් 1: 25 ට (මොස්කව් වේලාවන් ), උතුරු මුහුදු Brent හී මිලද 3.6% කින් පහළ ගොස් ඩොලර් 27.09 ක් විය.

    තව දුරටත් බොරතෙල් මිල පහළ වැටෙමින් තිබෙන මුත් මිළ පහළ යෑමේ වාසිය බොහෝ රටවල ජනතාවට ලැබී නැහැ .

  • රාත්‍රියට විතරක් ඇඳිරි නීතිය පැනවීම මෝඩ උපක්‍රමයක් – වෛද්‍ය ගිෂාන්ත දසනායක

    රාත්‍රියට විතරක් ඇඳිරි නීතිය පැනවීම මෝඩ උපක්‍රමයක් – වෛද්‍ය ගිෂාන්ත දසනායක

    රාත්‍රියට පමණක් ඇඳිරි නීතිය පැනවීම මෝඩ උපක්‍රමයක් බව සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ගිෂාන්ත දසනායක පවසයි. ඔහු පවසන්නේ කොරෝනා යනු නිශාචර වෛරසයක් නොවන බවත් එය ඕනෑම වෙලාවක පැතිරීම සිදුවෙන බවයි. එසේම රාත්‍රී කාලයේ මිනිසුන් ගැවසීම ඉතා අඩු බව වෛද්‍ය ගිෂාන්ත දසනායක පෙන්වා දෙයි. ඔහු පවසන්නේ රාත්‍රී කාලයට විතරක් ඇඳිරි නිතිය දැමීමේ ක්‍රමය කිසිම සෞඛ්‍ය විශේෂඥවරයෙකුගේ උපදෙසක් අනුව ක්‍රියාත්මක වන්නක් නොවිය හැකි බවයි. එය ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කළාම එන දෝෂාරෝපණය වළක්වා ගන්න ගත්ත මෝඩ උපක්‍රමයක් බවද සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ගිෂාන්ත දසනායක වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ,
    “කොරෝනා අවසන් බවට අපට ඉඟියක් ලැබෙන්නෙ නැහැ. ආණ්ඩුව ධනාත්මක කරණා දෙකක් හුවා දැක්වූවා. එකක් අලුතින් වාර්තාවන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වෙනවා කියන එක. දෙවැනි එක රෝග ලක්ෂණ නැති රෝගීන් කියන එක. නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් රෝගීන් වාර්තා වීමට හේතුව PCR පරීක්ෂණයට ලක් කරන්නේ එම මධ්‍යස්ථානවල සිටින රෝගීන් විතරක් වීම නිසා. මේ වෛරසය සමාජයට ගිහින් නෑ කියන එක විද්‍යාත්මක දත්ත වැරදි ලෙස විග්‍රහ කිරීමක්. ඒ වගේම රෝග ලක්ෂණ නැති රෝගීන් වාර්තා වෙනවා කියන්නේ රෝගය බෝ කරන්නන් සමාජය තුළ ඉන්නවා කියන කාරණය.

    රෝගය පාලනය කරා කියලා තක්සේරු කරන්න තව සෑහෙන කාලයක් ගතවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන විදිහට රෝගය පාලනය කිරීමට තව මාස 06ක කාලයක්වත් යයි. ඇඳිරි නීති සිමා ලිහිල් කළ යුත්තේ ඒ සිමා පැනවීමේ හේතු අවසන් වුනාට පස්සේ. නැතිනම් එම සීමා පනවපු එක වැඩක් නැතුව යනවා. දේශපාලන වුවමනා මත ඇඳිරි නීති උපක්‍රම ලිහිල් කරලා කොරෝනා පැතිරීමේ ඉඩකඩ ඇති ඇති කරමින් ඉන්නවා. ”