අද ජනාධිපතිවරයා සිය උපදේශක ලලිත් වීරතුංග සමග කළ සාකච්ඡාව ආණ්ඩුව මෑත කාලීනව ගත් තීන්දු තීරණ වල වගකීම් විරහිතභාවය පිළිබඳ අපගේ අනුමානයන් සහ නිගමනයන් නිවැරදි බව තහවුරු කළේය.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියන්නේ එම තීරණය ගත්තේ මහ බැංකු නිලධාරීන්, ආර්ථික විශේෂඥයන් හා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවයි. එවන් තීරණයක් ගත යුතුව තිබෙන්නේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසුවය. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ තීරණය ව්‍යාපාරිකයන්ගේ හා ආර්ථික විශේෂඥයන්ගේ පීඩනයට අනුව ගත් තීරණයක් මිස ජන ජීවිත සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ විධිමත් සැලැස්මක ප්‍රතිඵලයක් නොවන බව ජනාධිපතිවරයාගේ කතාවෙන්ම පෙනේ. අප දන්නා ආකාරයට College of Epidemoligists හා GMOA විසින් Exit Plan දෙකක් රජයට භාරදී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින්ද තවත් Exit Plan එකක් සකස් කර තිබූ බව වාර්තා විය. ආණ්ඩුව තීරණ ගෙන තිබුණේ ඒ සියල්ල පසෙක දමා ආර්ථික ක්ෂේත්‍රය පමණක් ඒක පාර්ශවීය ලෙස සලකමිනි.
ඉන් අනතුරුව දවසක් තුළ එම තීරණය වෙනස් කිරීම ගැන විමසූ විට ජනාධිපතිවරයා කළේ වගකීම් විරහිතව හැසිරීම ගැන ජනතාවට දොස් පැවරීමයි. ජනතාවට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී, වත්මන් ඉතා දුර්වල ප්‍රවාහන සේවය පවතින යථාර්ථයක් තුළ මීට වඩා වෙනස් දෙයක් අපේක්ෂා කළ හැකිද? මේ සැලසුම් නිර්මාණය කරන තැන්වල සිය ජීවිතයටම පොදු බස් රියක හෝ දුම්රියක ගිය කෙනෙක් සිට නැති බවනම් ඉතා පැහැදිලිය. විශේෂඥ උපදෙස් මත Exit Plan එකක් සකස් කර ක්‍රමානුකූලව සමාජ සංසරණ සීමා ලිහිල් නොකර දේශපාලකයන්ගේ හිතුමතේට මුග්ධ තීරණ ගෙන අවසානයේදී ජනතාවට දොස් පැවරීමේ තේරුමක් නැත.
මැතිවරණය ගැන කළ සෑම විමසීමකදීම ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ ජන ජීවිත ගැන නොතකා හෝ මහ මැතිවරණය පැවැත්වීමේ උවමනාවක ආණ්ඩුව සිටින බවයි. මාර්තු 19වැනිදා මැතිවරණ දිනය කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ගැනද ඔහු කතා කළේ චෝදනා මුඛයෙනි. කවර ව්‍යසනකාරී තත්වයක් තුළ හෝ ජුනි 2වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ඔහු පෙනී සිටියේය.
ජනාධිපතිවරයාගේ කතාව ඔප්පු කළේ කොරෝනා වසංගතය හමුවේ සමාජයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමස්ත සමාජයම දැඩි සුපරික්ෂාකාරීත්වයකින් සිටිය යුතු බවය. දේශපාලන තන්ත්‍රය සිය බල උවමනාවක් හමුවේ සමාජමය වගකීම ඕනෑම මොහොතක අත හැරීමේ අවදානමක් ඇති බවය. එනිසා ආරක්ෂාව උදෙසා සමාජය සංවිධානය විය යුතු බවය. නිහඬව හා නිවටව නොසිට හඬ නැගිය යුතු බවය. මෙතෙක් බලධාරීන් ගත් හානිකර තීරණ ආපසු හැරවූයේ එවන් එක්සත් හඬ නැගීම්, සමාජ මත ගොඩ නැගීම් හා අරගල හරහාය. ඉදිරියේදීත් ඒ හැර අන් විකල්පයක් නැත.