මේ වනවිට වංචා, දූෂණ, රාජ්‍ය දේපළ හා බලය අවභාවිතය ආදි වශයෙන් මතුපිට තලයේ ප්‍රශ්න ඉස්මතු කරමින් අනුර දිසානායකගේ ජාතික ජනබලවේගය ගෙන ආ මැතිවරණ ව්‍යාපාරයට ජනතාව ආකර්ෂණය වී ඇත. මේ වනවිට එම දේශපාලන රළවේගයට විවිධ අර්ථකථන දෙනු ලබයි. මේ ප්‍රභූ පැලැන්තියට එරෙහිව නිර්ප්‍රභූ ජනයාගේ නැගී සිටීමක් බව කියන ඇතැමුන් එය එක්තරා ආකාරයකට 2022 මහජන නැගිටීමේ දිගුවක් ලෙසද අර්ථකතනය කරනු ලබයි. නමුත් එවන් දැවැන්ත සමාජ අරගලයක අවසානයේ දේශපාලන සිතීමක් ඇති සියලු දෙනාගේ ප්රමුඛ අවධානය යොමු විය යුතු වන්නේ ජනතාව ඉල්ලා සිටි, ‘ක්‍රම වෙනස’ වෙනුවෙන් පෙළගැසීම බව අපගේ අදහසයි. හාස්‍යජනක කාරණයක් ලෙස, ඇතැමුන් මාලිමාවේ රැල්ල ගැන කියන්නේද එවැන්නකි.
ජාතික ජන බලවේගය, එහි අනුගාමිකයන් සමග මහ හඬින් කියමින් සිටින්නේ තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවය. සාමාන්‍ය ජනයා විසින් මේ ආගමික ස්ථානවලදී කෙරෙන යාතුකර්ම පවා ජාතික ජනබලවේගයේ හිතවතුන් විසින් උත්කර්ෂයට නගනු දක්නට ලැබේ. කෙසේවෙතත්, සමාජයක් ලෙස එවැනි තත්වයක් දේශපාලන වශයෙන් ජයග්‍රහණයක් වේදැයි විමසා බැලිය යුතුව තිබේ.
මේ වනවිට මාලිමාවේ ජනප්‍රිය සටන් පාඨය ලෙස මැතිවරණ ව්‍යාපාරයේදී උත්කර්ෂයට නැගෙන්නේ ‘රට අනුරට!’ යන තේමාවය. දැන් ප්රචාරකවාදී ගීත කිහිපයක් සහ සමාජ මාධ්‍ය තුළ, අන්තර්ජාලය තුළ මුදල් ගෙවා ප්‍රවර්ධනය කෙරෙන දැන්වීම් විශාල වශයෙන් සංසරණය වේ. මෙයින් ගම්‍යවන අදහස, විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පැමිණියහොත් ‘රටම අනුර අතට’ පත්වන බවය. පුද්ගලවාදී අදහස්වලින් මේ දක්වා මේ රටේ දේශපාලන ගැලවුම්කරුවන් නිර්මාණය වූ වැරදි දේශපාලන සංස්කෘතිය තුළ දැන් ‘අනුර’ ප්රචාරකවාදී වෙළඳ සන්නාමයක් බවට පත්කර ඇත. එසේම ප්රමුඛව භාවිතයට ගැනෙන, මැතිවරණ ප්රචාරක ගීතයකින් කියැවෙන්නේ ‘සුබ නැකතට-රට අනුරට!’ යනුවෙනි. දේශපාලන ව්‍යාපාරයක් ප්රගතිශීලි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, සියලු පසුගාමිත්වය, පුද්ගලවාදය, මිත්‍යාව ඇතුළු විවිධ සමාජ අගතීන් භාවිත කරමින් මැතිවරණ ව්‍යාපාර කළ යුතු නැත. සමාජයීය වෙනස්කම් අපේක්ෂාවෙන් දේශපාලනය කරනවුන් පවා මේවා නොදැක මෙන් පුද්ගලවාදී දේශපාලන ප්‍රචාරයක කොටස්කරුවන් බවට පිරිහෙමින් සිටී. එපමණක්ද, ඔවුන් මෙවැනි දේ ප්‍රචාරය කරමින් සිටී. “මේක අන්තිම කෝච්චිය-ඊට පස්සෙ එන්නෙ හර්ස් එක!” දැන් මේ අවසන් අවස්ථාව සම්බන්ධ අන්තගාමී ආගමික අදහස වසර තිහ හතළිහක් ජනතාව මැතිවරණ දේශපාලනයේ ඇදහිලිවන්තයන් බවට පත්කර ඇත. මේ අතර, වර්ධනයවන මඩ ප්‍රචාරද සමගින් ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මහා ඝෝෂාව විසින් අත්‍යවශ්‍ය ප්‍රශ්න යටපත් කරමින් තිබේ.
නිතරම බලය හුවමාරුවක් සිදුවන මැතිවරණවලදී ජනතාවට තීරණ ගැනීමට බලකරමින් ඉදිරිපත් කෙරෙන මූලික ප්‍රවාද තිබේ. 1994 ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්’ යැයි කියනු ලැබුවේ තමන් නවලිබරල් ආර්ථිකය ඉදිරියට ගෙන යන බව ජනතාවට නොකියා 1978 සිට 17 වසරක එ.ජා.ප. ශාපයේ අවසානය අපේක්ෂාවෙන් සිටි ඔවුන් වසඟයට ගන්නටය. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී රනිල්-මෛත්‍රී හවුලට අනියමින් බලය ගන්නට දායක වූ ජවිපෙ විසින් ‘වංචා, දූෂණ, මර්දනය නොමැති යහපාලනයක්’ පිළිබඳ මූලික ප්‍රවාදයක් මැදිහත්වීමෙන් ගොඩනගන ලදී. එසේම 2019 පාස්කු ප්‍රහාරය මුල් කරගෙන යහපාලනය ජනතාව අතර අප්‍රසාදයට ලක් කරමින් එම වසරේ ජනාධිපතිවරණයේදී ‘ජාතික ආරක්ෂාව’ නමැති ප්‍රවාදය ගෙන එමින් ගෝඨාභය රාජපක්ෂ හා 2020 පොදුජන පෙරමුණ නැවත බලයට කැඳවන ලදී. මෙවර ජනාධිපතිවරණය තුළ ඉදිරියට ගත යුතු දේශපාලන ප්‍රමුඛතා කිසිවක් එවැනි මූලික ප්‍රවාදයක් සැලකිල්ලට ගෙන නැත.
සත්‍ය කරණය නම්, ජනතාව මේ ආකාරයට සාම්ප්‍රදායික පාලක කණ්ඩායම්වලට එරෙහිව අනුර දිසානායක හා මාලිමාව වටා පෙල ගැසී ඇත්තේ සමාජ-දේශපාලන අවබෝධයක අර්ථයකින් නොවන බවයි. පසුගිය දසකයක් තිස්සේ රාජ්‍ය පාලනය හා ආර්ථික අර්බුදය සම්බන්ධ ජනතාව ලබා ඇති අවබෝධය තුළ පාලක පැලැන්තිය කෙරෙහි ජනතාවගේ කෝපය වර්ධනය වී ඇත. මාලිමාවේ නායකත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළද මේ ජනතා විරෝධය ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ භාවිතයක් ලෙස ජනාධිපතිවරණයේදී පාවිච්චි කෙරෙනු ඇත. එය මහමැතිවරණයකදී වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගෙන විපක්ෂයට එන්නට දරන ව්‍යායාමයකි.
එහෙත් දේශපාලන අවබෝධයක් ඇති විශ්ලේෂකයන් විසින් මේ ජනතා රැල්ල සම්බන්ධ අධිනිශ්චයක් ඇති කරන්නට ‘මතවාදී බොරු වලවල්’ නිර්මාණය කරමින් විවිධ න්‍යායාත්මක වාක්‍ය රචනා ලියමින් සිටී. ඔවුන් මේ මත දැක්වීම්, විශ්ලේෂන ගෙන හැර පාන්නේ තමන් කරන වරද ගැන දැනුවත්වද නොදැනුවත්වද යන්න පසුව සලකා බැලිය යුතු කාරණයකි. නමුත් බොහෝ දෙනාගේ ඉදිරිපත් කිරීම් අනුව සලකන විට, 2022 මහජන නැගිටීමේදී ප්‍රකාශයට පත් වූ පොදු සටන් පාඨ නිවැරදිව කියවා ගැනීමට නොහැකි වීමෙන් මේ අලකලංචිය සිදුව ඇත. ඒ මහජන අරගලයේ ප්‍රධාන සටන්පාඨ වූයේ රාජ්‍ය පාලනය සම්බන්ධ අසමත්භාවය පෙන්වූ පාලක පැලැන්තියට පිටව යනු යන්නය. ඔවුන් කීවේ ගෝටා සහ 225ම ගෙදර යන ලෙසයි.
එහිදී ආසන්නම හේතුව වූයේ ගෝඨාභය පෙන්වූ අත්තනෝමතික අමනෝඥභාවය වුවද 225ම ගෙදර යනු යැයි සටන්පාඨයක් නිර්මාණය වූයේ 2019 ‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්’ පසුවය. මුලු මහත් පාලක පන්තියම ජනතාවගේ කෝපයට ලක්වූයේ අප්‍රේල් 21 සිදුවූ ප්රහාරයන් ගැන ආරක්ෂක ඔත්තු සේවා තොරතුරු ඇසුරින් අප්‍රේල් මාසය මුලදීම කළ අනතුරු ඇඟවීම් නොසළකා හැරීමය. පාර්ලිමේන්තුවත් මෙම ප්‍රහාරය සම්බන්ධ දැන සිටි බවට කරුණු අනාවරණය වූ පසුව 225ම එපා යැයි ජනප්‍රිය සටන්පාඨයක් ජනසමාජයට එකතු විය. එහිදී පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන් මෙම ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටියාද නැද්ද යන්න වෙනම කාරණයකි. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දූෂිතයන්ද අපරාධකරුවන්ද යන්න වෙනම කාරණයකි. නමුත් ජනතා විරෝධය සමස්ත ආණ්ඩු ක්රමයේ අසාර්ථකත්වය පිළිබඳ බුර බුරා නැගෙන විට එය තේරුම් කරගන්නට නොහැකි නම්, දේශපාලනයේ විශ්ලේෂන හා නිගමන වරදිනු ඇත.
2022 අප්‍රේල් මස පැන නැගි මහජන අරගලයේදී ‘ගෝඨාභය මෙන්ම රාජපක්ෂ පවුලටමත්, 225ටත් ගෙදර යනු!’ යැයි කියනවිට ජාතික ජන බලවේගයේ ඇතැමුන් කලබලවූයේ සමස්ත පාලක පන්තියේ චෝදනාවෙන් තමන් නිදහස් බව කියන්නටය. නමුත් තේරුම් ගත යුතුව තිබුණේ ජනතාවගේ දේශපාලන අත්දැකීම් මත සමස්ත ක්රමයේ අසමත්කම එයින් ප්‍රකාශයට පත් වූ බවය. නමුත් පාලකයන්ට එරෙහි ජන සමාජය දේශපාලන වෙනස්කම් වෙනුවෙන් පෙලගැස්වීම වෙනුවට ජාතික ජනබලවේගය විසින් සිදු කළේ අරගලකාරී පෙළගැසීමක සිටි ජනතාව මැතිවරණවලින් බෙදා වෙන්කිරීමට පාලක රැලට උදව් කිරීමය. අරගලය අවසන් කිරීමට නම් මැතිවරණ කැඳවන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් පාලකයන්ට උපදෙස් දුන්නේ ඔවුන්ය.
මේ වනවිට ජනාධිපතිවරණයේදී අනුර දිසානායකගේ ජයග්‍රහණයක් පිළිබඳ ජාතික ජනබලවේගයේ බොහෝ දෙනා අපේක්ෂා ඇතිව සිටිති. ඒ වෙනුවෙන් විවිධ සමීක්ෂණ වාර්තා යොදාගෙන ප්රචාරක කටයුතුවලද යෙදී සිටින්නේ අපගේ මිතුරන්ය. එයිනුත් ඔබ්බට ගොසින් සිය දේශපාලන සංයමය බිඳගෙන අවර ගනයේ අවලාද නැගීමේ තරගයක්ද දක්නට ලැබේ. ජාතික ජනබලවේගය ජනතාව අතර බියක් ඇති කරවන්නට පාලක පක්ෂය මෙන්ම ජාතික ජනබලවේගය හා තරග කරන සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයේ අවලාද හා මඩ ප්‍රචාර දියුණු තියුණු කරමින් තිබේ.
මේ වනවිට ප්‍රතිපත්තිමය දේශපාලන සංවාදයක් නොමැතිව ඉතාම පහත් ප්රචාරක යුද්ධයක් වර්ධනය වී ඇත. එසේම වාම දේශපාලනයේ මැතිවරණවාදී පිරිහීම ප්‍රදර්ශනය කරමින් ඇතැම් වාමාංශික විශ්ලේෂකයන් බවා තමන්ගේ ඇත්ත ප්‍රතිවාදියා කවුරුන්දැයි ජනතාවට පහදා දෙනු වෙනුවට වෙනත් කරුණු හා අවලාද එතැනට ගෙන හැර දක්වති. අනුර ජනාධිපතිවරණය ජය ගත හොත් තමන්ගේ සාම්ප්‍රදායික බල ග්‍රහණය ගිලිහේ යැයි සිතන සාම්ප්‍රදායික පාලක පැලැන්තියේ භීතිකාව නිසා උපදින අවලාද මෙයින් ප්‍රධාන වේ. අනුර ජනාධිපති වුවහොත් ක්‍රියාත්මක කරනු ඇත්තේ සමාජවාදය යැයිද එය පොල්පොට් හෝ ස්ටාලින් පන්නයේ මර්දනකාරි පාලනයක් වනු ඇතැයිද පාලක පැලැන්තිය විසින් ප්‍රචාරයන් දියත්කර ඇත. මේ අතර ජාතික ජනබලවේගයේ ප්‍රතිචාර වන්නේ එවැනිම පැරණි පන්නයේ මඩ ප්‍රචාරයන් පාවිච්චි කිරීමය. සජිත් ප්‍රේමදාසගේ දුර්වලකම් පිළිබඳ උපහාසය හා ඇතැම්විට අවමානුෂිකකරණය වූ ප්‍රචාරයන් භාවිතයට ගනු දක්නට ලැබේ. එක් අවස්ථාවකදී ස්ත්රින් අවමානයට ලක් කෙරෙන පුද්ගල දුබලතා ප්‍රචාරයන් පවා විපක්ෂ කණ්ඩායම් වෙත දමා ගැසීම දක්නට ලැබේ. එක්තරා කාලයකදී රනිල් වික්‍රමසිංහ සම්බන්ධ මෙවැනි අවමානුශික ප්‍රචාර ගෙන යමින් එවකට ජවිපෙ ප්රචාරක ලේකම් විමල් වීරවංශ යොදාගත් දේශපාලන මාවතේ අවසානය වූයේ ජවිපෙ විනාශයක් වෙත ඇදගෙන යාමෙන් හා ඔහුගේම පුද්ගල පරිහානියෙනි.
ධනපති පාලක පන්තියේ උපක්‍රම පාවිච්චි කරමින් බලයට පත්වීමේ උත්සාහයක් දරන්නේ නම් එය වාම දේශපාලනය නම් නොවේ. එය ඉලක්කය හා ඉලක්කය වෙත යන ගමන සම්බන්ධ වමේ දේශපාලනයේ ගැඹුරු හා දීර්ඝ සංවාදයකි. කෙටියෙන් කිවහොත් ‘තල වපුරා මුං අස්වනු නෙලිය නොහැකිය’. තවත් ආකාරයකට කිවහොත්, ‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමගය’.
ඒ නිසා මේ මැතිවරණ ප්රචාරයට සම්බන්ධ කරුණු අවධානයට ගැනීමේදී ඔවුන්ගේ දේශපාලනය ගරා වැටී ඇති ආකාරයද දක්නට ලැබේ.
මේ වනවිට, ‘කුඩය’ ලකුණෙන් තරග කරන ජන අරගල සන්ධානය, ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට අකුල් හෙළන බවට ඇතැමුන් කියනු අසන්නට ලැබේ. ජාතික ජනබලවේගය උත්කර්ෂයෙන් පෙන්වන මහා ඡන්ද ප්‍රවාහය තුළ (2019දී එය ලක්ෂ 4ක්, මෙවර එය ලක්ෂ 70ක් වේ යැයි කියති) ජන අරගල සන්ධානය ඔවුන්ට කුමන අභියෝගයක් දැයි නොසිතා උමතුවෙන් ප්‍රහාර එල්ල කරමින් ද්‍රෝහීන් ලෙස දක්වනු පෙනී යන කරුණකි. අනෙක් අතට මාස කිහිපයකට පෙර බිහි වූ වමේ දේශපාලන පක්ෂවල සන්ධානය, එනම්, ‘කුඩය’ ලකුණ මාලිමාවට අභියෝගයක් යැයි සිතිය නොහැකිය. මාලිමාවේ දේශපාලනය ඔවුන් උත්කර්ෂයට නගන ආකාරයේ ශක්තිමත් එකක් නම් කෙටි දේශපාලන ක්‍රියාකාරිත්වයකින් එහි ඡන්ද වෙනත් පක්ෂයකට ආකර්ෂනය කරගත හැකි වේද? ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිමය විවේචන සම්බන්ධයෙන් මෙවැනි දුර්වල ප්‍රතිචාර වලංගු නොවේ.
ඇතැම් විශ්ලේෂකයන්ට අනුව, මෙවර ‘කුඩය’ ලකුණ යටතේ නුවන් බෝපගේ ‘ජනතාවගේ අපේක්ෂකයා’ ලෙස ඉදිරිපත්කරන, ජන අරගල සන්ධානයේ සිටින්නේ ‘අතිවාමාංශිකයන්ය’. සාමාන්‍යයෙන් වර්තමාන දේශපාලනය තුළ කෙරෙන සංවාදවලදී ‘අතිවාම’ යනු පාලක පන්තියේ මතවාදී අරමුණු මත, දක්ෂිනාංශික විශ්ලේෂකයන් ඉංග්‍රිසි බසින් නිතර උසුරුවන ultra left, far left ආදි වචන තුළින් ප්රචාරක තලයට පැමිණි වැරදි නාමකරණයකි. මේ වනවිට ජන අරගල සන්ධානය ගෙන එන වාම දේශපාලන සංවාදය හා ඔවුන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ අනුවද එය වැරදි විශ්ලේෂනයකි.
නමුත් මේ අකාරයට ජාතික ජනබලවේගයේ පාර්ශ්වකරුවන් හා ඔවුන්ගේ පිහිටෙන් ‘දේශපාලන බලය රස බැලීමට උනන්දුවන ඇතැමුන්’ තමන් ‘පරිභෝජනය කරන්න’ කැසපොට ගහන ජනාධිපතිවරණය වෙත එලඹෙන්නේම වැරදි පැත්තෙනි. මෙය දේශපාලනයේ වියහැකියාව සම්බන්ධ අනවබෝධයෙන් බාහිර නිරූපණයන් අධිතක්සේරු කරගැනීමක් බව පළමුව කිව යුතුය. ජනප්‍රිය රැල්ලක් සහිතව මැතිවරණයට පැමිණෙන අපට විවේචනාත්මක කරුණු ඉදිරිපත් කරන අවස්ථාවලදී අවශ්‍ය සංවාද තලයට නොපැමිණ, ජවිපෙ හෝ ජා.ජා.බ. අනෙකා කරගත් දේශපාලනයක් සම්බන්ධ අවලාද නගනු දක්නට ලැබේ. එහෙත්, මැතිවරණයක ජය පරාජය කුමක් වුවද විශාල සමාජ අවධානයක් හිමිකරගෙන සිටින දේශපාලන ව්‍යාපාරයකට සාධනීය විවේචනයක් ගොඩනගමින් ජනතාව දේශපාලන සංවාදයකට හා නිවැරදි දේශපාලන අවබෝධයකට කැඳවීම ප්රගතිශීලී සෑම පාර්ශ්වයකම වගකීමකි.
2022 මහජන අරගලය තුළද ඉන්පසුව ද යම් මට්ටමකින් එවැනි වගකීම් කරට ගත් පුද්ගලයන් හා කණ්ඩායම් දක්නට ලැබේ. එහෙත් ජාතික ජනබලවේගය විසින් දිගටම සිදු කළේ අරගලය සම්බන්ධ සාවද්‍ය මතයක් ගෙන හැර දක්වමින් ජනතාවට පරාජිතවාදයක් දෙසමින් මැතිවරණ ජයග්‍රහණයකින් සියල්ල කළ හැකිය යන මිත්‍යාව ස්ථාපිත කිරීමය. ඇතැම් බුද්ධිමය සංවාදයක සිටියවුන් පවා මාලිමාවේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමෙන් පසුව ආගමික භක්තියකට මෙන් අවිචාරවත් ලෙස හැසිරෙනු දක්නට ලැබේ.
මෙය, ජනප්‍රිය දේශපාලනයේ ස්වභාවයයි. වාමාංශික ව්‍යාපාරය ලෝකයේ කොතැනකදීත් ‘මැතිවරණවාදය’ නමැති මේ උගුලෙන් සිය ජයග්‍රහණ දුර්වලකරගත් ඉතිහාසයක් ඇත. ඒ නිසාම මේ ජනාධිපතිවරණය තුළ සමාජයක් ලෙස කිසිදු ජයග්‍රහණයක් නොලබා ඉතිහාසයේ වැරදි දේශපාලන අත්දැකීමක් ලබන්නට සිදුවන තත්වයක් පෙනෙමින් තිබේ.
කලක් ජ.වි.පෙ. කටයුතු කර ඉන්පසුව විවිධ දේශපාලන හා පෞද්ගලික ස්ථාවරයන් මත ඉවත්ව ගිය පැරණි ජ.වි.පෙ. ක්‍රියාකාරින් පවා දැන් මැතිවරණවාදී ප්රචාරක සංදර්ශන මවන ජාතික ජනබලවේගයේ අලංකාර වර්ණයන් නිසා සිය ඇස් ගිනිකන වැටී ඇති ආකාරය පෙන්නුම් කරයි. නිදසුනක් ලෙස ජාතික ප්රශ්නය සම්බන්ධ ජවිපෙ කියන්නේ පළාත් සභා ඇතිකළ ව්‍යවස්ථා සංශෝධනය පිලිගන්නා අතර එම සංශෝධනයේ ඇති බලතල සම්පූර්ණයෙන් පළාත් සභාවලට හිමිකර දෙන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකරන බවය. මේ දක්වාම පත්වූ සියලු ආණ්ඩු පලාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටියේ දකුණේ සිංහල ඡන්ද අහිමිවන අවදානම නිසාය. සත්‍ය කාරණය නම්, රට පුරාම ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ හා බලය බෙදාහැරීමේ ක්‍රම අවශ්‍ය බවය. ජාතික ප්රශ්නය විසඳීම වෙනුවෙන් ජන අරගල සන්ධානය විසින් නිශ්චිත විසඳුමක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කර ඇත. එය, ස්වයංපාලන ප්‍රදේශ, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකය ඇතුළත් නව ව්‍යවස්ථාවක් ලෙස පුළුල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ යෝජනා කරයි.
ජාතික ජනබලවේගය විසින් තවදුරටත් මැතිවරණ වේදිකාවේදී ජනතාව මුලාකරවන ආස්ථානයක් නම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ කාරණයයි. මැතිවරණ ප්‍රකාශයේ කාරණයක් ලෙස එය පැවතියද ජනතාව විධායක බලය අහෝසි කරමින් ප්රජාතන්ත්රවාදී ජනතා ව්‍යාවස්ථාවක් වෙනුවෙන් පෙළගැස්වීමක් සිදුවන්නේ නැත. ‘කුඩය ලකුණෙන්’ නුවන් බෝපගේ ඉදිරිපත් කරන ජන අරගල සන්ධානය, මේ දක්වා සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කරුණු ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ජන සහභාගි ප්රජාතන්ත්රවාදයක් සම්බන්ධ ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇත. එහෙත් එම ප්‍රතිපත්තිමය දේශපාලන සංවාදය ජාතික ජන බලවේගය විසින් මගහැර ගොස් ඇත.
මේ කරුණු මත ජාතික ජනබලවේගය කිසිදු ආකාරයකට අපේක්ෂිත සමාජ ජයග්‍රහණයක පෙරගමන්කරුවක් යැයි ඇතැමුන් කරන සහතික පිළිගත නොහැකිය. ප්රගතිශිලී සමාජ ක්රියාකාරිකයන්, ජ්‍යේෂ්ඨ කලාකරුවන් ඇතුළු මත නිෂ්පාදකයන් රංචු පිටින්, ආකර්ෂනය වී ඇති බව ඇත්තය. නමුත් ඔවුන් කළ කී දේ ගැන විචාරයක් ඇති නිසා අපට කළ හැක්කේ ඔවුන් විසින් රැල්ලේ පාවී යාම ගැන උපේක්ෂාවෙන් බලා සිටීම පමණි. තමන් සම්බන්ධ නිසි ඇගයීමකින් යුතුව, වඩා සුදුසු කාර්ය තමන්ගේ සුපුරුදු වෘත්තියද නැතිනම් දේශපාලනයදැයි තීරණය කිරීමට ඔවුන්ට ඉක්මනින්ම කාලය ලැබෙනු ඇත.
(ප.ලි- ජාතික ජනබලවේගය, ජයග්‍රහණය අභියස යැයි කියමින් අප විසින් මෙවැනි විවේචන සටහන් කරන්නේ මාලිමාවේ ඡන්ද කැඩීමට යැයි කියන මිතුරන්ට කිව යුතු වන්නේ ධනපති පක්ෂ විවේචනය කිරීම පමණක් දේශපාලනය නොවන බවය. ක්‍රම විරෝධී ජනතා අරමුණක් වෙනුවෙන් ජනාධිපතිවරණයකින් පසුව වැඩිදුර කතා කරමු)