Breaking News

වසන්තව බූස්සට යවන්න ආරක්ෂක ලේකම් TID ලොක්කා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය ක්‍රියාකරන ආකාරය අනුව ඔවුන් මේ තිරපිටපතේ අවසානය ලියා අවසන් බව පැහැදිලිවන බව නීතිඥ නුවන් බෝපගේ පවසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ එම තිරපිටපත සම්බන්ධ කරුණු දැන් අනාවරණය වෙමින් පවතින බවයි.

නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ,

“වසන්තව දින 90ක් රඳවා ගෙන සිටි කාලය තුළ ඔහුගෙන් නීතිඥාවරුන්ට ඔහුගෙන් පරීක්ෂණ ගැන විමසීම තහනම් කර තිබුණා. වසන්තට එරෙහිව සිදුවන විමර්ශන මොනවාද යන්න ඔවුන් සැඟවීමට උත්සාහ කළා. මේ තිරපිටපතේ අවසානය ගැන කරුණු දැන් අනාවරණය වෙලා තියෙනවා. වසන්තව ප්‍රශ්න කරන අවස්ථාවේදී තරස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් මතුකරන කරණා තුනක් තියෙනවා. පළවෙනි එක වසන්තව ත්‍රස්ත පනත යටතේ තිරගත කරන්න හෝ ත්‍රස්ත පනත යටතේ චෝදනා එල්ල කරන්න සාක්ෂි නැහැ. ඒ පිළිබඳ ඔවුන් දන්නවා. ඔවුන් කියන කාරණය තමයි වසන්ත කියන චරිතය ශිෂ්‍ය දේශපාලනයෙන් ඉවත්කිරීම ඔවුන්ගේ අරමුණ. දෙවැනි කාරණය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ දේශපාලන නායකත්වය ඉවත් කිරීම. අරගලයට පක්ෂපාතව සිටි අවංක දේශපාලන ව්‍යාපාර ඉන් ඉවත් කරන්න ඕනා කියන කාරණය. එතකොට පැහැදිලියි මේ තිරපිටපත ටිරාන් අලස් නැත්තම් රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන් මේ පිරිස එකතුවෙලා මේ තිරපිටපතේ අවසානය ගොනුකරලා තිබුනේ ඔන්න ඔය කාරණාවලට අදාළව. මේ සිදුවීමේදී තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එක් අයෙක් සම්පූර්ණයෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරා. සිරිධම්ම හාමුදුරුවෝ ඇප ලබාදී නිදහස් කරා. දැන් වසන්තව පමණක් එකම චෝදනාව යටතේ සිරගත කරගෙන ඉන්නවා. පසුගියදා අධිකරණයේදී විනිසුරුතුමිය විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ හර්දසාක්ෂිය පිළිබඳ ප්‍රශ්න කරා. මේ විමර්ශන හිතා මතා කල් දැමීම ගැන ප්‍රශ්න කරා. ඒ අනුව ඔවුන්ට අධිකරණයට මුහුණ දෙන්න බැරුව සැලසුම වෙනත් විදිහකට ක්‍රියාත්මක කරන්න යනවා. ඒ අනුව අපිට බොහොම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබෙනවා ආරක්ෂක ලේකම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා වසන්තව බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයට අරන් යන්න. බූස්ස කියලා කියන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ තියෙන වධකාගාරයක්. මත්ද්‍රවය චෝදනා තියෙන ආයුධ සම්බන්ධ චෝදනා තියෙන අයව දැඩි පීඩනයක් යටතේ රඳවාගෙන ඉන්න තැනක්. ඒ විතරක් නෙමෙයි ඒකෙ ඉන්න අයව ආයුධ හොයන්න කියලා අරන් ගිහින් ඝාතනය කිරීම් සැලසුම් සහගතව කරපු තැනක් බුස්ස කඳවුර. මේ පරීක්ෂණවලදී ත්‍රස්ත විමර්ශන ඒකකයට වසන්තගෙන් කට උත්තරයක් ගැනීමේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම පහසුවක්ව තිබියදී ඔහුව බූස්සට අරගෙන යන්නෙ වසන්තව දේශපාලනයෙන් සහ ශිෂ්‍ය දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය අනුව බව පැහැදිලිව සැක කරන්න පුළුවන්. මේ අනුව ඔහුව ඝාතනය කරන්න ඔහුගේ ජීවිතයට හානියක් කරන්න දැඩි උත්සාහයක් තියෙනවා කියන කාරණය අපිට අවධාරණයෙන් කියන්න පුළුවන්. “

leave a reply