හයිකු කවිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක උනන්දුවක් සහ වැඩ කිරීමක් සහිතව වර්තමානයේ ඒ වෙනුවෙන් වෙහෙසෙන කෙනෙකු හැටියට අපට හඳුනගන්න පුළුවන් වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාව . ඔහු හයිකු කවිය සම්බන්ධ හැදෑරීමක මෙන්ම ලෝකයේ හයිකු කවිය ශ්‍රී ලාංකීය පාඨකයා වෙත යොමු කිරීම සඳහා පරිවර්තන මෙහෙයකද නිරත වී සිටිනවා . ඔහුගේ එම වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි “නොනිමි මිණි” හයිකු කවි පරිවර්තනය වන්නේ .
අපි මේ හයිකු කවිය සම්බන්ධ අදහස මුලින්ම ඔබ වෙත තියන්නේ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියා හයිකු කවියට පමණක් කොටුවූ පුද්ගලයෙකු ලෙස අර්ථකථනය කිරීමට නොව අප මේ සාකච්ඡාව මෙහෙයවන්නේ හයිකු කවිය සම්බන්ධ අදහසක් ඉස්මතු කරගන්නට උත්සාහ දැරීමක් ලෙසයි .
වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කියන්නේ වර්තමානයේ අපට හමුවන කවිය පිළිබඳ ඉමහත් ආදරයකින් භක්තියකින් සහ කවියේ ප්‍රවර්ධනය පිළිබඳ ව විශාල කැපකිරීමක් සහිතව වැඩ කරන කවියෙක් . කොරෝනා වසංගතය හේතුවෙන් සියලු දෙනා එක තැනට කොටුවෙලා ඉන්න මොහොතකත් ඔහු අපූරු වැඩක් කළා, ඒ තමයි සූම්ටු පොයම් සංවාද මාලාව ආරම්භ කිරීම හරහා කවියට ලොක්ඩවුන් වෙන්නට ඉඩ නොදී ජන මනස තුළ සක්‍රීයව තබා ගන්න ඔහු දැරූ වෙහෙස අප දන්නවා . මේ කෙටි හැඳින්වීම තුළ ඔබට ඔහු ගැන යම් හඳුනාගැනීමක් ඇති .
හයිකු කවිය සම්බන්ධයෙන් කතාබහේදී ඔහු අතින් පරිවර්තනය වූ “නොනිමි මිණි” පරිවර්තන කෘතිය අපට මඟ හරි ඉන්න බැහැ . . හයිකු කවිය හදාරන ඕනෑම කෙනෙකුට මේ මොහොතේ ් අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙන කෘතියක් බවට පත්වෙනවා .
ඉතින් අද අපේ වෙන් කිරීම හයිකු කවිය සම්බන්ධ කතාබහටයි. අපි දැන් ඔබගේ අවධානය යොමු කරනවා ඒ දෙසට ඉදිරි දවසක වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ සමස්ත කාව්‍ය ව්‍යාපෘතිය කෙරෙහිම අවධානය ඇතිව ඔහු සමග දොඩමළු වෙන්නට බලාපොරොත්තුව තියෙනවා .
- ඔබ සිංහල කවිය ප්‍රමාණික ගවේශනයක නියැලෙමින් ආලෝකය සපයන කෙනෙක් හැටියට අපි හිතුවා “හයිකු” කාව්‍ය හා ඊට අදාල සම්ප්‍රධාය ගැන කතා බහකට මග පාදා ගන්න. සමස්ථ කාව්‍යයෙන් “හයිකු කවිය ගැන ඔබට ඇති කියවීමෙන් මේ සංවාදයට පිවිසෙන්න කැමැතියි.
හයිකු කියන්නේ ජපන් කාව්‍ය සම්ප්‍රදායක් බව අපි දන්නවා. හයිකු කවියට මාත්‍රා දාහතක් ඇති බව,ඉර්තු සූචක පදයක් ඇති බව වාගෙම කටින් වර්ඩ්( විරාමයක් දනවන බව ) ආදී ලක්ෂණ හයිකු තුළ හඳුන ගන්න පුළුවන්. මේ කියන ව්‍යුහමය ලක්ෂණ මත පදනම් වෙලා පමණක් හයිකු ගැන සංවාදයක් කරන්න බෑ. ඒ කවිය විඳින්න,විමසන්න ජපන් සංස්කෘතිය ගැන අවබෝධයක් ඕන. ඒ වාගෙම සෙන් බුදුදහම වැනි දේවල් ගැන අවබෝධය වැදගත් වෙනවා. හයිකු කවියට ව්‍යුහමය වශයෙන් පොදු බවක් තිබුණට තේමාත්මකව එය වෙනස් වෙන්න පුළුවන් කවියා අනුව. බෂෝ,බූසෝන් ශිකී,ඉසා වාගෙ ප්‍රකට කවියන්ගේ කවි නිදර්ශනාත්මකව අරගෙන ඒ ගැන වටහා ගන්න ඕන . හයිකු කවිය වචන ඉක්මවා අර්ථ උපදවන කවියක්. අපි ඉංග්‍රීසි,සිංහල භාෂා ඔස්සෙ මේ කවි හදාරන්නෙ. එ නිසා ඒ හැදෑරීම්වල සීමාසහිත කමක් තියෙන්නත් පුළුවන්. සමහර කරුණු තියුණු ලෙස භාවනාත්මක සිතීමකින් ස්පර්ශ කරන්න පුළුවන්. කොහොම වුණත් ලෝක පරිමාණ වශයෙන් අවධානය දිනා ගත් දෙයක් තමා ජපන් හයිකු කියන්නේ.
- කිසියම් නිර්මාණයක් ප්‍රවර්ගයක් වෙන්නේ, එහෙමත් නැත්තම් ශානරයක් බවට පත් වෙන්නේ ඒ අදාල නිර්මාණයට ඇති ආවේනික අනන්‍යතාවය නිසයි. එහෙම බලද්දී හයිකු කවියක් කියලා කියනවා නම්, ඊට අදාල අනන්‍යතා ලක්ෂණ අවම වශයෙන් හරි සැපිරෙන්න ඕන කියන එකට ඔබ එකඟ වෙනවා කියලා හිතමින් අපි මේ සංවාදයට ඇතුළු වෙනවා නම්, සිංහල හයිකු කියන්නේ කෙටි කවියට ද කියන ප්‍රශ්නය ඇහුවොත්.
“සිංහල හයිකු” කියන වචනය ටිකක් විවාදාපන්නයි. හයිකු ලියන්න හැකි ජපන් භාෂාවෙන් විතරයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන හයිකු ආභාසය ප්‍රකටවන කවි ‘ English Haiku ‘ කියලා හඳුන්වනවා. කෙනෙත් යසුඩාගේ ප්‍රකට පොතක් තියෙනවා ‘ Japanese Haiku ‘ කියලා ඒකේ එක පරිච්ඡේදයක් වෙන් කර තියනවා ‘ English Haiku’ කියලා. ඊට අමතරව ඇමරිකන් හයිකු, බ්‍ර්ටිෂ් හයිකු ආදී වශයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් අවධානයට ලක් වූ පොත් ලියවිලා තියනවා. ඒ අර්ථයෙන් කෙනෙක් ශ්‍රී ලංකා හයිකු,සිංහල හයිකු,දෙමළ හයිකු වාගේ යෙදුම් පාවිච්චි කරන්න පුළුවන්. නාමකරණය ගැන අනවශ්‍ය තරම් වද නොවී අපේ රටේ හයිකු අභාසය ප්‍රකට කරන කවි කෙතරම් අර්ථසම්පන්නද? සියුම්ද? වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරනවට තමා මං කැමති.
- ජපන් කාව්‍ය සම්ප්‍රධායක් වුණත් හයිකු කාව්‍ය ප්‍රචලිත වෙන්නේ ඉංග්‍රිසි භාෂාව තුළ යි. ඉංග්‍රිසි භාෂාව තුල හයිකු මූල ධර්ම ආරක්ෂා කර ගනිමින් හයිකු පරිවර්තනය මෙන්ම නිර්මාණකරණ සිදු වීම නිසා තමයි ලෝකය පුරා හයිකු ප්‍රචලිත වීමට බලපාන්නේ. සිංහල භාෂාව තුල හයිකු මූල ධර්ම මත පිහිටා කාව්‍ය පරිවර්තනයේ මෙන්ම නිර්මාණකරණයේ දී මේ මූල ධර්ම කෙරෙහි සැලකිල්ලක් දැක්වීම තිබෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා නේද?
ඉංග්‍රීසි භාෂාවෙන් වුණත් බොහෝ විට මාත්‍රා 17 රීතිය අනුගමනය වෙන්නෙ නෑ. ඊට අමතරව ඉර්තුසූචක පදය වුණත් නැති ඉංග්‍රීසි හයිකු තියනවා. ‘ කටින් වර්ඩ්’ කියන එක නම් ජපන් හයිකුවලටම අනන්‍යයි. සාමාන්‍යයෙන් ජපන් හයිකු අනෙක් භාෂාවකට පරිවර්තනය කරන විට වුණත් මාත්‍රා 17 කියන රීතිය ආරක්ෂා කරන්න අමාරුයි. වෙන බසකින් ලියවෙන හයිකු අභාසය ප්‍රකට කරන කවියකදි වැදගත් වෙන්නෙ හයිකු ආත්මය ස්පර්ශ කරන්න හැකි ද කියන එක. විශේෂයෙන් චිත්තරූප එකිනෙක සම්මුඛ කිරීමෙන් සියුම් අරුත්මාලාවක් කවියෙන් හසු කර ගන්නවද ? කියන එක.
- අපි දන්නා පරිදි, කෙටි කවිය සහ හයිකු කාව්‍ය පිළිබඳ ආරියවංශ රණවීර අනූ ගණන්වල මැදිහත් වීමක් කරනවා. ඔහු විසින් පරිවර්තනය කරන “අතු ඉති” (මතකය නිවැරදි නම්) කාව්‍ය කෘතිය වැදගත් කොට ගන්න පුලවන් වෙන්නේ හයිකු සම්ප්‍රධාය ඉදිරියට ගන්න ගත්ත උත්සාහයක් හැටියටයි. ඉතිං ආරියවංශ රණවීර හා හයිකු සම්බන්ධයෙන් ඔට කියවීමක් තියෙනවද?
රණවීරගෙ මුල්ම හයිකු පරිවර්තනය විසිරි මිණි දෙවැන්න මිණි පැමිණි . පළමු කෘතියට කෙටි හැඳින්වීමකුත් දෙවන කෘතියට දීර්ඝ හැඳින්වීමකුත් ඔහු ලියා තිබෙනවා. හයිකු පිළිබඳ ගැඹුරු අධ්‍යන කළ ආර්.එච්. බ්ලිත්,කෙනෙත් යසුඩා, වාගෙ විචරකයින්ගෙ කෘති ගැඹුරින් අධ්‍යනය කරලා තමයි රණවීර හයිකු පරිවර්තනයට සහ විචාරයට බැහැලා තියෙන්නෙ. ඒ සම්ප්‍රදානය ඉතා ඉහළ දෙයක් ලෙසයි මං දකින්නෙ.
- රණවීරගෙන් පස්සේ රණවීර සම්ප්‍රධාය ඉදිරියට අරං ගිය ඊ ලඟ කවියා නන්දන වීරසිංහ. ඔහුත් හයිකු කාව්‍යයේ ඇති දාර්ශනික මානයන් ලංකාවට ආවේනිකව ස්පර්ශ කරන්න ගත්ත බව පෙනෙනවා. නමුත් ඔහුගේ නිර්මාණකරණය තුල හයිකු සටහන් වී තිබේ ද?
නන්දන වීරසිංහ ජපන් හයිකු කවිය ගැන සියුම් අවබෝධයක් ලබා ගත් කවියෙක්. ඊට අමතරව ඔහු උතුරු ඇමරිකානු හයිකු කවි තුන්සීයක් සිංහල බසට පරිවර්තනය කොට ‘ දිසි අදිසි’ නමින් කෘතියක් පළ කළා. නන්දන සහ රණවීර එක්ව පළ කළ තුන්පෙති හතර පස් පෙති නම් කෘතියෙන් පේනවා නන්දන හයිකු ආත්මය හොඳින් අවබෝධ කරගත් කවියකු බව.
- නව පරපුරේ කවියන් ලෙස කෙටි කවි ආකෘතියක් මත ලියන කවීන් අපිට දකින්න පුලුවන්. නිදසුන් වශයෙන් කිව්වොත්මාලන් බණ්ඩාර – අගුණ මල් සහ නටු , ලහිරු කරුණාරත්න – නොඉම් , මංජුල වෙඩිවර්ධන – නිමිති පොදු වේ මේ අය කෙටි කවි ලිව්වත්, ඔවුන් හයිකු කාව්‍ය සම්ප්‍රධාය මඟ අනුගමනය කිරීමක් ඇතිව කෙටි කවි නිර්මාණය කිරීම කරන බවක් හඳුනා ගන්න පුලුවන් ද?
අලුත් පරපුරේ කෙටිකවි ගැන කතා කරන විට ලක්ශාන්ත සහ පාලිත සේනාරත්න අමතක කරන්න බෑ . ඊට අනතරව මාලන්ගෙ ඔබ සඳහන් කරන කෘති ද්විතවය සහ ළහිරුගෙ නොනිම් කියන කෘතියෙ හොඳ කෙටිකවි තියනවා මාලන්ගෙ නවතම කෘතිය හයිකු කවියෙ සූක්ෂ්මාත්මතාව සිංහල කෙටි කවිය වෙත ගෙන එන්න ගත් ප්‍රබල උත්සහයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපරැක්කේ සිරි සුධම්ම හිමියනුත් මෙහි දි මට මතක් වෙනවා .
- ලාංකීය සන්දර්භයට අනුව ජපන් සම්ප්‍රධාය ආකෘතික වශයෙන් ගෙන අපට අවේනික විෂය ඔස්සේ හයිකු කවිය නිර්මාණය කරමින් සිංහල හියිකු සම්ප්‍රධායක් ගොඩ නැගීමට අවශ්‍ය සෑම සාධකයක්ම අපි සතුව තිබෙනවා කිව්වොත් එය කොයි තරම් දුරට යෝග්‍යය ද?
සිංහල බසින් ලියවෙන හයිකු ආකාර කවිය ව්‍යුහමය වශයෙන් ජපන් හයිකු කවියට සමාන වෙන්න අවශ්‍ය නෑ . හයිකු ආත්මය හඳුනාගත් දේශජ අනන්‍යතාවය ප්‍රකට කරන කෙටිකවි දැන් සිංහල බසින් ලියවෙනවා. හයිකු සම්ප්‍රදාය වෙන භාෂාවක් තුළ අත් හදා බලන විට ඒ භාෂාවට අනන්‍ය ලකුණු මතු වෙනවා.
- අන්තර් ජාලය, තාක්ෂණය, කාලය සහ සමාජ සංස්කාරණය හේතුවෙන් කෙටි කවිය වෙත නැඹුරු වීම වැදගත් ලක්ෂණයක් විදිහට පෙනෙන්න තිබුණත්, කෙටි කවිය වේවා, හයිකු සම්ප්‍රධාය වේවා, මේ තුල ඇති හිදැස වී තිබෙන්නේ, ජීවන දැක්ම සහ විශ්විය මානව දර්ශනයයි. මේ ප්‍රකාශය ඔබේ කියවීමට අනුව තේරුම් ගන්නේ කෙසේ ද?
ඔව්, ඕනම කාව්‍ය ශානරයක් තුළ මනුෂ්‍ය අත්දැකීම් විශ්වීය අරුතක් ප්‍රකට වන සේ නිර්මාණය කරන්න ගන්න උත්සහයක් දැක ගන්න පුළුවන්. දැන් බලන්න වෙඩිවර්ධන කෙටිකවිය තුළ වාගෙම අනෙක් කවි තුළත් කාලය තුළ යල් පැන නොයන විශිෂ්ට කවි ලියා තියනවනේ. කාව්‍යශානරය කුමක් වුණත් එය මනුෂ්‍ය වර්ගයාගේ වටිනා උරුමයක් බවට පත් කර ගැනීමට උත්සහ කිරීම තමා කවියන්ගෙ වගකීම.
ප්‍රශ්න සැකසුම උදය ආර් තෙන්නකෝන් | හිල්මි සුපුන්