Breaking News

පොහොට්ටුව දෙකඩ වෙයිද?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කිරීමත් සමඟ පොහොට්ටුවෙන් පිරිසක් කැඩී යාම ස්ථීර වී ඇතැයි මත පළවේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන නිසා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට පක්ෂය තීරණය කළ බවයි.

අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී සාගර කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියේ මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත්, මෙතෙක් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට නම් කිහිපයක් සාක්ච්ඡාවට ගෙන ඇති බවත් සාගර කාරියවසම් මෙහිදී සඳහන් කළා.

මෙම රැස්විමට සාමාජිකයින් 82 ගෙන් 79 ක් සහභාගි වි තිබු අතර ඡන්ද විමසීමක් පවත්වා තිබුණා.

එහිදි සාමාජිකයින් 11 දෙනෙක් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වි තිබෙනවා.

තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට 06 දෙනෙක් පමණක් විරුද්ධ වි තිබෙන බව පැවසෙනවා.

මේ අතර අද දිනයේ වාර්තා වූවේ තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

leave a reply